History

Saturday, 3 September 2022

වැඩවසම් රෙද්ද

 

වැඩවසම් රෙද්ද

 

සසෙක්ස් විශ්වවිද්‍යාලයට යන විට මා සමසමාජ පක්‍ෂයේ සාමාජිකයෙක්. එනම් මාක්ස් ට්‍රොට්ස්කිවාදියෙක්. ඒ විශ්වවිද්‍යාලය රැඩිකල් විශ්වවිද්‍යාලයක් ලෙස නමක් දරා තිබුණා. 1967 දී යුරෝපය පුරා පැතුරුණු ශිෂ්‍ය අරගලවල දී එහි සිසුන් ක්‍රියාකාරීව සහභාගි වී තිබුණා. මා සමග තාරකා විද්‍යා මධ්‍යස්ථානයේ ආචාර්ය උපාධි සඳහා වැඩ කළ සිසුන් එතරම් දේශපාලනයක් ගැන උනන්දුවක් දැක්වූයේ නැහැ. එහෙත් ඔවුන් වැඩි දෙනා ලේබර් පක්‍ෂයේ හිතවතුන් බව තේරුම් ගියා. එහි දී කැපී පෙනෙන සිසුන් දෙදෙනකු  හිටියා.

 

එක් අයකු ඉංගිරිසි ජාතිකයකු වූ ජෝන් වීලන්. ඔහු ඉතා කරුණාවන්ත මෙන් ම කතාවට ලැදි අයකු වූවා. ඔහු ඉංගිරිසි ජිවිතය පිළිබඳ මට ඇතැම් දේ කියා දුන්නා. ඔහු ලේබර් පක්‍ෂයේ හිතවතෙක්. අවාසනාවකට ඔහු කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ පශ්චාත් ආචාර්ය අධිසාමාජිත්වයක (Postdoctoral Fellowship) නිරත වීමෙන් පසුව මිය ගියා. කැලිෆෝනියා ප්‍රාන්තයේ කම්‍යුනිකේෂන්ස් හිල්ස් නම් ප්‍රදේශයක කඳු වැටියක් තියෙනවා. එය සමහරවිට ආදිවාසීන් සංනිවේදන කටයුතු සඳහා යොදාගත් කඳු වැටියක් වෙන්න පුළුවන්. මට එසේ කියන්න සිතුණේ ජෝන් එංගලන්තයේ බ්‍රයිටන් ප්‍රදේශයේ ඇති බිකන්ස්ෆීල්ඩ් පාර ගැන කී කතාවක් නිසා. අප ජ වි පෙ හා එ ජා ප භීෂණයෙන් මිදීමට 1988 සසෙක්ස් ගිය අවස්ථාවේ එ පාරේ  පදිංචි වී සිටියා. ජෝන් මට කියා තිබුණේ එය බිකන්ස්ෆීල්ඩ් වුණෙ කලකට පෙර ඉංගිරිසින් සංනිවේදන කටයුතු සඳහා ඒ පෙදෙසේ පන්දම් යොදාගත් නිසා බව.

 

අනෙක් කැපී පෙනෙන සිසුවා වූයේ දකුණු අප්‍රිකානු සම්භවයක් තිබූ ටොම් පීටරසන්. ඔහුත් මහාචාර්ය මැක්‍රේගේ සිසුවෙක්. මහාචාර්ය මැක්‍රේට තවත් සිසුවෙක් හිටියා ජෝන් බේලිස් කියා. ජෝන් බේලිස් නිහඬ සිසුවෙක්. ඔහු තම වැඩ කටයුතු කර කියා ගෙන හිටියා. එහෙත් ටොම් එසේ නො වෙයි. ඔහු කතාවට රුසියෙක්. ඔහු එංගලන්තයේ සමස්ත දේශපාලනයට ම බෑණ වැදුණා. ඔහුට කුඩා මෝටර් රියක් තිබුණා. ඔහු අර විශාල ට්‍රක් රියදුරන්ටත් බැණ වදින්න අමතක කෙළේ නැහැ. ඒ දෙදෙනා ම මට වඩා ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යයන්.

 

බොබ් කාස්වෙල් කියන ශිෂ්‍යයා පසු කලෙක (1979 දී පමණ)  ගුරුත්වජ කාචවලින් සෑදෙන බහුප්‍රතිබිම්බ නිරීක්‍ෂණය කළ ඇමරිකානු කණ්ඩායමේ සාමාජිකයකු ව සිටියා. ඒ කණ්ඩායමෙ සිටි මහාචාර්ය වයිමන් මා සසෙක්ස්හි සිටි කාලයේ එහි සප්තවාර්ෂික නිවාඩුව ගත කළා. මට ඔහුගෙන් ද උපදෙස් ලැබුණු බව සඳහන් කරන්න ඕන.      

 

සසෙක්ස් විශ්වවිිද්‍යාලයේ ගණිතමය හා භෞතික පාසලේ ගොඩනැගිල්ලේ ෆ්‍රෑන්ක් ප්‍රනාන්දු නම් ලංකාවෙන් ගිය අයකු කාර්මිකයකු ලෙස කටයුතු කළා. ඔහු අවුරුදු ගණනකට පෙර එංගලන්තයට ගිය අයෙක්. ඔහු මට බොහෝ උපකාර කළා. ඔහු සසෙක්ස් විශ්වවිද්‍යාලය ආරම්භයේ පටන් ම එහි සේවය කර තිබුණා. ඔහුත් දැනට වසර කිහිපයකට පෙර මිය ගියා. මා හිතන්නේ ඔහුගේ භාර්යාව ඔහු මිය යෑමෙන් පසු ලංකාවට පැමිණියා කියා. ඔවුන්ට දරුවන් හිටියේ නැහැ.

 

තාරකා විද්‍යා මධ්‍යස්ථානයේ එවකට හිටි ගුරුවරුන් දක්‍ෂයන්. මධ්‍යස්ථානයේ අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කෙළේ මහාචාර්ය රොජර් ටේලර්. ඔහු මධ්‍යස්ථානය ආරම්භ කිරීමට කේම්බ්‍රිජ විශ්වවිද්‍යාලයේ සිට පැමිණි අයෙක්. තවත් අයකු වූයේ ආචාර්ය රොබට් ස්මිත්. ඔහුත් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් පැමිණි අයෙක්. ඔවුන් දෙදෙනා ම මට උගන්වා තියෙනවා. ටේලර් කලකට පෙර මිය ගියා. රොබට් ස්මිත් විශ්‍රාම ගැනීමෙන් පසු නැවත කේම්බ්‍රිජ්ෂයර් හි පදිංචියට ගියා. මා තවමත් ඔහු සමග ලිපි ගණුදෙනු කරනවා. මහාචාර්ය රොජර් ටේලර් ගැන කතා දෙකක් කියන්න තියෙනවා. දිනක් ඔහුත් මාත් ෆාමර් දුම්රියපොළේ (විශ්වවිද්‍යාලයේ දුම්රියපොළ)  හිටියා බ්‍රයිටන් යෑමට දුම්රියක් එන තුරු. ඔහු මගෙන් ඇහුවා ලංකාවේ දුම්රිය තියෙනවා ද කියා. මා කියන්න ගියේ නැහැ ඉංගිරිසින් ලංකාවට දුම්රිය හඳුන්වා දී තිබූ බව. මෙයින් පැහැදිලි වන්නේ අප මොන තරම් අප ගැන හිතුවත් ලෝකයා අප ගැන එකල හිතූ ආකාරය. මා හිතන්නෙ නැහැ දැන් කියා ලොකු වෙනසක් තියෙනවා  කියා. වෙනසක් ඇත්නම් ඒ හොඳ අතට වෙන්න බැහැ.

 

කෙසේ වෙතත් ඔහු මට සැලකුවා. මා 1970 දී ලංකාවට පැමිණ කලකට පසුව මහාචාර්ය මැක්‍රේ විශ්‍රාම ගත්තා. ඔහු වෙනුවට පැමිණියේත් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් මහාචාර්යවරයෙක්. ඒ මහාචාර්ය මාටීන් රීස්. ඔහුත් විශ්වවේදියෙක්. මහාචාර්ය ටේලර් මට කියා එවුවා මහාචාර්ය රීස් සමග පර්යේෂක අධිසාමාජිකයකු (Research Fellow) ලෙස කටයුතු කරන්න එන්න කියා. මට විද්‍යාඥයකු වීමට නොහැකි බව මා තේරුම් ගෙන සිටි බවින් මා ඒ ආරාධනය ගෞරවයෙන් ප්‍රතික්‍ෂෙප කළා. මාටින් රීස් පසු කලෙක ලන්ඩනයේ රාජකීය සංගමයේ (Royal Society, London) සභාපති වුණා. ඔහු 1995 සිට රාජකීය තාරකා විද්‍යාඥයා (Astronomer Royal). ඔහු අද හඳුන්වනු ලබන්නේ ශ්‍රීමත් මාටින් ජෝන් රීස්, ලඩ්ලෝහි බැරන් රීස් කියා. බැරන් කියන්නේ සාමිවරයෙක් (Lord) එංගලන්තයේ බැරන් පදවියේ සිට ඩියුක් පදවිය දක්වා විවිධ සාමි පදවි තියෙනවා. වයිකවුන්ට් කියන්නෙත් සාමි පදවියක්. මෙරට හිටපු අග්‍රාණ්ඩුකාර සෝල්බරි සාමි වයිකවුන්ට් කෙනෙක්. ඩියුක් කියන නම සිංහලට ආදිපාද ලෙස පරිවර්තනය වී තියෙනවා.

 

මා කියන්න හදන්නේ මට තාරකා විද්‍යාවේ ඉහළ තැනකට යෑමට අවස්ථාවක් තිබූ බව නො වෙයි. අප නොහිතුවාට එංගලන්තයේ වැඩවසම් ක්‍රමය යම් පමණකට තවමත් ක්‍රියාත්මක වෙනවා. ඉංගිරිසින් තම ඉතිහාසය අමතක කරන්නේ නැහැ. බටහිර ක්‍රිස්තියානි නූතනත්වය ඉතිහාසයස සම්පූර්ණයෙන් ඉවත දමා නැහැ. ඉවත දමන්නෙත් නැහැ. ඔවුන් එයට වුැඩවසම් රෙද්ද කියන්නෙත් නැහැ. රාජකීය සංගමයත් 1660 දී පිහිටුවන ලද වැඩවසම් ආයතනයක්. ඉංගිරිසින් බකිංහම් මාළිගාවෙ නිදාගන්න යන්නෙත් නැහැ. පඬි නැට්ටන්ට වුවමනා අප අපේ ඉතිහාසයෙන් වෙන් කරලා අපේ ඉතිහාසය පුරාවිද්‍යාවක් බවට පත්කරන්න.