History

Monday 5 September 2022

උත්තර නැති උත්තර සභාගය

 

උත්තර නැති උත්තර සභාගය

 

අදත් ආගිය තොරතුරු ලියන්නේ නැහැ. දැන් ගෝඨාභය රාජපක්‍ෂත් ඇවිත් ඉන්නවා. පරංගි පරගලය කිවුවෙ ඔහුට ගෙදර යන්න නේ. ඔහු දැන් රජයෙන් ලැබුණු ගෙදරක කොළඹ හතේ මලලසේකර මාවතේ පදිංචි වෙලා කියලයි ආරංචිය. ඔය පැත්ත රගර් ක්‍රීඩාවට ප්‍රසිද්ධයි. දැන් රගර් ක්‍රීඩාවටත් ප්‍රසිද්ධියක් ජාතික රූපවහිනියෙන් ලැබෙනවා . වැඩිකල් යන්න ඉස්සර රගර් ක්‍රීඩාව ජාතික ක්‍රීඩාවක් බවට පත්වේවි. ගෝඨාභයට කොහොමත් මිරිහානෙන් කොළඹට එන්න පරගලය නිසා ඉඩ ලැබිලා. ඒ අතර ලංකා වසන්තය බාගෙට උදාවෙලා රනිල් ජනාධිපතිවෙලා. කාට ද ආඩම්බරේ?

 

ජාමුලෙ ඩොලර් බිලියන තුනක් විතර දෙන්න යනවලු. ඒත් කොන්දේසි සහිත ව. අර චීනයට හා අනෙක් රටවලට තියෙන ණය ගෙවන එක කල්දාගන්නලු. ඒකත් ඇත්ත.  ජාමුල ණය වෙනත් ණය ගෙවන්න යොදාගන්න එපා කියලයි කියන්නෙ. ඒ ණයත් මෙ ණයත් ඇරුණහම තව ණය තියෙනවා ද? ජාමූලෙ තවත් කොන්දේසි තියෙනවා. ඒව වාසු සහෝදරයගෙන් අහගන්න.

 

වාසු සහෝදරයල ඊයෙ විමල් වීරවංශ සහෝදරයගෙ නායකත්වයෙන් උත්තර ලංකා සභාගය පිහිටුවා ගත්තා. ඒ නිමිත්තෙන් පැවැත් වූ රැස්වීමක දි රතන හාමුදුරුවන් පවසල මෙච්චර උගතුන් ඉන්න රටක මෙහෙම වෙන්නෙ මොක ද කියල වගේ දෙයක්. ප්‍රශ්නය මේ රටේ ඉන්නෙ කොයි රටේ උගතුන් ද කියන එක. ඒකත් බාග උගතුන් ද කියන එක. ඒකට කමක් නැහැ. ඔය ජාතික හෙළ උරුමයෙ මෙන තරම් උගතුන් හිටිය ද?

 

ගෝඨාභයට යන්න වුණෙ ඔහු ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය රකින්න ගිය හින්ද? මා නම් හිතන්නෙ ඒ දරුවන් සන්දා කියලයි. රනිල්ට දරුවන් නැහැ. රනිල් කිසි දා ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් රැක්කෙ නැහැ. ඒක ඇතැම් ලිබරලුන් දන්නෙ නැති වුණාට අපි ධවල පත්‍රිකා කාලෙ ඉඳන් දන්නවා.  දැන් කොච්චර කල් ද?

 

මැයි නවවැනි දා සිද්ධිවලට මුල් වුණෙ කුමක් ද කියන එක හරීියට ම කියන්න බැහැ. ඒත් ඒ වෙන කොට පරගලය පටන් අරන් මාසයක් විතර වුණා. ඒකට ඔය උත්තර ලංකා සභාගයත් උත්තර බඳින්න ඕන. ඔවුන් සුවාදීන වෙලා ටිකක් කල්. පරගලයට දේශපාලන මුහුණුවරකින් එන්න පුළුවන් වුණෙ සුවාදීනයන් බැසිල් විරෝධය ආණ්ඩු විරෝධයක් බවට පත් කරල තිබුණු නිසා.  

 

බටහිරයන්ගෙ අනුග්‍රහයෙන් ඇති වුණු පරගලය පටන් අරන් දිනකින් දෙකකින් ගෝඨාභය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදය පැත්තකින් තියල ප්‍රජාතන්ත්‍රවාදයට අනුව කටයුතු කළා නම් මැයි නවය සිද්ධි ඇති වෙන්නෙ නැහැ. ගෝඨාභයට මලලසේකර මාවතට එන්න වෙන්නෙත් නැහැ. මහින්දට අගමැති කමෙන් යන්න වෙන්නෙත් නැහැ. ඒත් බටහිර තානාපතිවරුන් තානාපතිවරියන් කිවුවෙ පරගලය සුපිරි ප්‍රජාතන්ත්‍රවාදී කියල. ඔවුන් තම අභිලාෂය ගෝඨාභය ගෙදර ඇරල රනිල් බලයට පත් කිරීම කියල කිවුවෙ නැහැ.

 

රනිල් අගමැති/ජනාධිපති වෙලා දැන් මාස හතරකට කිට්ටුයි. මොකක් ද රටට වෙලා තියෙන්නෙ. කාංචන විජේසේකර තෙල් පරිභෝජනය අඩු කරගෙන තියෙනවා. භාණ්ඩ රාශියක් ආනයන කරන එක නවත්තල. හොඳයි. ඒ එකක්වත් රනිල්ගෙ සුවිශේෂ බුද්ධියක් නිසා ගත් පියවර නො වෙයි. ගෝඨාභය හිටිය නම් ඔහුටත් ඔය ටික කරන්න තිබුණා. එදා හිටපු කාංචනමයි අදත් ඉන්නෙ. එදා හිටපු නන්දලාල් වීරසිංහමයි අදත් ඉන්නෙ.

 

එතනින් එහාට මොකුත් කරල නැහැ. යැපුම් ආර්ථිකයකින් නිෂ්පාදන ආර්ථිකයකට යන්න තවම හිතලවත් නැහැ. ඩොලර්වලින් ඩොලර් උපයන්නෙ කොහොමද කියල කිසිවකු දන්නෙ නැහැ. කාංචන විජේසේකරගෙ හා නන්දලාල් වීරසිංහගෙ කළමනාකරීත්වය නිසා අර කියන්න වගේ ටිකක් අල්ලගෙන ඉන්නවා. ඒත් අතට මේත් අතට ආර්ථික විද්‍යාවට විසඳුම් නැහැ. වෙනත් ආර්ථිකයක් ගැන හිතන්නෙවත් නැහැ. බංග්ලාදේශ අගමැතිනිය කියා තිබුණෙ ලංකාව ණයට ගිතෙල් කාල අමාරුවෙ වැටිල කියල. ඇය කිවුවෙ නැහැ රාජපක්‍ෂලා හොරකම් කරපු නිසා අර්බුදයක් ඇති වෙලා කියල. කවුද කියල තිබුණු විධියට හොරා කැවත් ඒක 10%කට වැඩි විපතක් කරන්නෙ නැහැ.

 

ඔය උත්තර ලංකා සභාගයටවත් සුවාදීන වෙලා ගෝඨාභයට යන්න සලස්සපු ජී එල් ඩලස් නඩයටවත් මේ අර්බුදයට උත්තර නැහැ. ඔවුන්ට තිබුණෙ බැසිල් විරෝධයක්. ඒ විරෝධය ආණ්ඩු විරෝධයක් බවට පත්කිරීමට මුල් වුණෙ සුවාදීනයන්. ඒ අතින් ගත්ත ම ගෝඨාභය හා මහින්ද යැවීමට බැසිලුත් මුල් වෙලා තියෙනවා. ඇතැමුන් කියනව ඔහු අනෙක් අයට ඇහුම්කන් දෙනවා කියල. ඒත් බොහෝ දෙනාට අනුව ඔහු උද්ධච්ඡ ගති පැවතුම් ඇත්තෙක්. ඔහු අපටත් චෝදනා කළා ප්‍රීමා සමාගමෙන් මුදල් අරගෙන හාල්වල ආසනික් තියෙනව කිවුව කියල. ඔහුට කිසිම ජාතික ප්‍රතිපත්තියක් තියා වෙනත් ප්‍රතිපත්තියක්වත් නැහැ. ඔහු දන්නෙ ඩීල් පමණයි. මෙරට ඩීල්ලන්තය වුණෙ ඔහු නිසා. අද ඔහුටත් එතරම් බලයක් නැහැ. බටහිරයන් හා විවිධ පල්ලි ඔහු එලවීමටත් කටයුතු කරනවා.

 

අද මෙරටට අවශ්‍ය බුදුදහම මත පදනම් වූ ආර්ථිකයක්. නිවන අරමුණු කරගත් ආර්ථිකයක්. ඩලස්ට ජී එල්ට එය කොහොමටවත් තේරෙන්නෙ නැහැ. විමල්ල තවමත් මාක්ස්වාදය මිශ්‍ර කරගත් ඊනියා ජාතිකවාදීන්. මාක්ස්වාදයටයි ලිබරල්වාදයටයි බුදුදහම සමග පෑහීමක් නැහැ. පඬි නැට්ටන් දන්නෙ ස්වර්ගය අරමුණු කරගත් අර්ථිකයක්.. අප ඔය ව්‍යාජ ජාතිකවාදයෙන් මිදෙන්න ඕන. ඔය සුවාදීන කණ්ඩායම් දෙකට ම එය කරන්න බැහැ. ඔවුන් සමහරු මාක්ස්වාදය සමග මිශ්‍ර වෙලා. තවත් සමහරු ලිබරල්වදය සමග මිශ්‍ර වෙලා. ඒ මදිවට සන්ධීය රාජ්‍ය යෝජනා කරන්නවුනුත් ඒ කණ්ඩායම් දෙකේ ම ඉන්නවා. ඔවුන්ට මොන උත්තර ද?