History

Friday, 30 September 2022

රජකමින් ගුරුකමට

 

රජකමින් ගුරුකමට

 

ඨකුර් අර්ථදේව ආදිත්‍ය කියන්නෙ රජ පෙළපත්වලට සම්බන්ධ වූ සමහර විට මාණ්ඩලික රජවරුන් ලෙස හිටි අය. ගාර්දියවසම් හෙවත් රජුගේ ආරක්‍ෂක හමුදාවේ ප්‍රධානියා කියන නිලයත් සමහරු දරා තියෙනවා. ආදිත්‍ය ලිඳකුත් කපලා තම දියණියට නෑමට. ආදිත්‍යගේ පුතකු පේදුරු ද සිල්වා නමින් බෞතීස්ම ලබා දොන් ජුවන් ධර්මපාලට සේවය කරලා. ආදිත්‍යගේ අනෙක් පුතුන් මායාදුන්නෙට සේවය කරලා. ඒ ඉතිහාසය. වර්තමානයේ ඨකුර් අර්ථදේව ආදිත්‍ය ගාර්දියවසම් ලිඳමුලගේ දනියෙල් ද සිල්වා හෙවත් ථකුරාර්ථ දේවාදිත්‍ය ගාර්දියවසම් ලිඳමුලගේ දනියෙල් ද සිල්වා සිංහල ගුරුවරයකු වුණා. සිංහල ගුරුවරුන්ට ඉංගිරිසි ගුරුවරුන්ට තරම් වැටුපක් ලැබුණෙත් නැහැ.

 

අපේ තාත්තා ගැන කීමට පෙර ගාර්දියවසම් නිලය ගැන යමක් කියන්න ඕන. පද්මාවතී හෙවත් පද්මිනි රානි (රැජන) ගැන ඉන්දියාවේ චිත්‍රපට කිහිපයක් ම නිර්මාණය කර තියෙනවා. පද්මාවති  නමින් බොලිවුඩ් චිත්‍රපටයක් තියෙනවා. එය දහසයවැනි සියවසේ සිටි මලික් මොහොමඩ් ජයසි නම් කවියකුගේ කෘතියක් මත පදනම් වෙනවා. එහි ථකුර්ගේ දියණිය ගැනයි කියැවෙන්නේ. ඇය පතා පැමිණි චතෝර් රාජ්‍යයෙහි රතන් සිං නම් රාජ්පුත් වාංශික රජකුට ඇය විවාහ කර දීල. ඇගේ පියා ගැන චිත්‍රපටයෙ කියන්නේ සිංහල් රාජ්‍යයේ ගන්ධාර්වසන් රජු කියා. ජයසි කවියා පද්මාවතීගේ මව චම්පාවතී කියා සඳහන් කර තියෙනවා. 

 

මෙහි සඳහන් ගන්ධාර්වසන්  යන්න ගාර්දියවසම් යන්නට සමීපයි. කුරුණෑගලට පැමිණි රාජ්පුත් ඨකුර් ද රජුගේ ආරක්‍ෂක හමුදාවේ හා දළදා වහන්සේගේ ආරක්‍ෂක හමුදාවේ ප්‍රධානිය වෙලා තියෙනවා. ඔහුත් ඇතැම් ඨකුර්ලා මෙන් ම මාණ්ඩලික රජකෙනකු වී ද? ඔහුට ගාර්දියවසම් නිලය ද තිබුණි ද? ඉන්දීය කෘතිවල ඔහු රජකු ලෙස හැඳින්වෙන්නේ මාණ්ඩලික රජකු ලෙස සිටි නිසා ද? මේ සම්බන්ධයෙන් නිශ්චිත ව යමක් කීමට බැහැ.

 

ඒ කෙසේ වෙතත් අපේ තාත්තා සිංහල ඉස්කෝලෙ මහත්තයෙක්. අවශ්‍ය ම නම් ලොකු ඉස්කොලෙ මහත්තයෙක්. තාත්තාගෙ තාත්තා ජිනෝරිස් ද සිල්වා. අපේ සීයා.  වඩුවෙක්. එහෙත් එතරම් වැඩක් කර නැහැ. ජිනෝරිස් ද සිල්වාගේ පියා කොරනේරිස්  සිල්වා. එතුමාගේ පියා ලුවිස් ද සිල්වා. එතුමාගෙ පියා දාවිත්  සිල්වා. ඒ තොරතුරු මට කිවුවෙ අපේ තාත්තා. දිගින් දිගට ගියොත් පේදුරු ද සිල්වා ළඟ නවතීවි. තවත් එහාට ගියොත් ඨකුර් ළඟට යන්න පුළුවන්. මා මේ නම් සඳහන් කෙළේ අපේ  රටේ ඉතිහාසය බලපා ඇති ආකාරය ගැන ද කියන්න. ඒ නම් අපට පෘතුගීසි, ලන්දේසි, ඉංගිරිසි පාලන සිහි කරනවා. මගේ නම කුමාරයකු නොවුණත් නලින් කුමාර්. නලින් කියන එකේ තේරුම නෙළුම් කියන එක. නලින් කුමාර් නෙළුම් පොහොට්ටුව කියන්නත් බැරි නැහැ. පඬි නැට්ටන් කලබල වෙන්න ඕන නැහැ. ඒ කාලෙ නෙළුම් කුළුණවත් නෙළුම් මාවතවත් පොහොට්ටුවවත් තිබුණෙ නැහැ. බැසිල් තියා මහින්දවත් ඉපදිල නැහැ. මගේ දරුවන් තාරක, ලහිරු, සඳමලී. ඉර හඳ තාරකා. ඒ තමයි තාරකා විද්‍යාවට මගේ ප්‍රදානය.

 

මොරටුවේ අපේ නෑදෑයන් නම් අර රජවරු සමග තිබූ සම්බන්ධය ඉංගිරිසි පාලකයන් සමග ද පවත්වාගෙන ගියා. එහෙත් අපේ තාත්තාගේ මුත්තන්ට එතරම් සරුවක් වෙලා නැහැ. අපේ සීයා ජිනෝරිස් ද සිල්වා වඩුවකු කිවුවට මා දන්න තරමින් හරිහමන් රස්සාවක් කර නැහැ. එහෙත් සීයා හැන්නැදිගේ සොයිසා පවුලෙන් විවාහයක් කරගෙන. ඒ අය මූලික වශයෙන් පාණදුරේ පිංවල පදිංචි වෙලා හිටියෙ. ඒ එක් අයකු හැන්නැදිගේ ජෝර්ලිස් ද සොයිසා මීගමුවේ සොයිසා බේකරියේ අයිතිකාරයා. ඒ සීයා විවාහ වුණේ නැහැ. සහෝදර සහෝදරියන්ට උදවු කළා. අප ඒ දවස්වල මීගමු යන්න කැමති වුණා. සොයිසා බේකරියෙ ලොකු කකුළුවො, ඉස්සො, බැදපු තෝර මාලු පෙති කන්න ලැබුණා. ආපහු එන වට ඇඳුම් මහන්න රෙදි ද ලැබුණා. අලුත් අවුරුද්දට නොවැරදීම රුලන් විස්කෝතු, ඉඟුරු ඇඟිලි හා වෙනත් කේක් වර්ග අපට සොයිසා බේකරියෙන් ලැබුණා.

 

ඒ සීයා ගැන මගේ හිතේ ලොකු බයක් මෙන් ම ගෞරවයක් ද තිබුණා. කොණ්ඩය බැඳි තේජස් පුද්ගලයෙක්. තාත්තා පමණක් නොව ඒ බේකරියේ වැඩ කළ මහප්පා ද ඒ සීයා කෙරෙහි දැක්වූයේ ගෞරවයක්. සීයාට හොඳ කල්පනාවක් තිබුණා. රටේ වෙන්නෙ මොනව ද කියන එක දැන හිටියා. තාත්තා සීයාට කිවුවෙ හොඳ මාමා කියල. ඒ අපේ ව්‍යවහාරය. ලොකු මාමා, සුදු මාමා, හොඳ මාමා, පොඩි මාමා යනුවෙන් තමයි තාත්තලා මාමල හැඳින්වූණෙ. තාත්තලාට පුංචි අම්මා කෙනකුත් හිටියා. ඇයට කිවුවෙ මම්මා කියා. අපේ අම්මාත් තම ලොකු පුංචි අම්මාට කිවුවෙ මම්මා කියා. එය කරාවෙ අය තම ලොකු පුංචි අම්මා හරි එක ම පුංචි අම්මා හරි හැඳින්වූ විධිය වෙන්න ඇති. ශාසනය පිළිබඳ ප්‍රශ්නයක් මතු වූ විට අපේ තාත්තා කිවුවෙ ඕක නෙ හොඳ මාමා කියන්නෙ ඉස්සෙල්ලා හාමුදුරුවරු බුද්ධාගමට ගන්න ඕන කියලා. ඒ අවුරුදු හැත්තෑවකට පෙර.

 

තාත්තාගේ තාත්තා පමණක් නොව මහප්පා ද කොණ්ඩය බැන්දා. සොයිසා බේකරියෙ කොණ්ඩෙ බැඳපු පිරිමි කිහිප දෙනෙක් හිටියා. තාත්තාගේ තාත්තා ඉතාමත් සරල අහිංසක ගැමියෙක්. සීයා පිංවල සිට අප සිටි වෑකඩට හැතැප්ම එකහමාරකට වැඩි දුරක් මහළු වියේදිත්  ආවෙ ගියෙ පයින්. සීයා ඒ ආවිට දින කිහිපයක් අපේ ගෙදර නවතිනවා. මා කුඩා කල සීයාට තුරුළු වෙලා කතන්දර ඇහුවා. සීයා නෙදැනුවත් ව මගේ ජීවිතය හැඩ ගස්සන්න ඇති. මගේ ළමා අවධියේ මට ළඟින් ම සිටි අය වූයේ සීයා, අපේ අම්මාගේ අම්මා, මම්මා හා සුදු අම්මා.