History

Sunday, 16 October 2022

 පසුවිපරමක්

 

අපේ තාත්තා ලිපියට හා කොල්ලෑව සම්බන්ධයෙන් වූ ලිපියට ට්‍රොට්ස්කිවාදියකු හැරෙන්නට අනෙක් අය යහපත් ප්‍රතිචාර දක්වා තිබුණා. ඒ ප්‍රතිචාරවලට අමතර ව තවත් ප්‍රතිචාර දෙකක් ලැබුණා. මා හිතනවා එය සඳහන් කළ යුතුය කියා. එක් ප්‍රතිචාරයක් වූයේ මවට හා පියාට වඳින ගාථා ගැනයි. ඉන් කියැවුණේ දැනට වසර පනහකට පමණ පෙරත් භාවිතා වූ ගාථා දෙකක් පටන් ගත්තේ  ඔකාස වන්දාමි තාත, ඔකාස වන්දාමි අම්ම කියල යන්නයි. එය නුවර යුගයේ සිට එන බවත් කියා තිබුණා. නුවර යුගයේ තෙළිඟු ආභාසයත් සමග ගෙතුණු ගාථා දෙකක් වෙන්න පුළුවන්.

 

අනෙක් ප්‍රතිචාරයෙන් කියැවුණෙ දිවෙහි භාෂාවෙ අම්මට මම්ම කියාත් තාත්තාට බාප්පා කියාත් කියන බව. සමහර පවුල්වල මම්ම කියනවා පුංචි අම්මට. දිවෙහි බසෙහි පුංචි අම්මට කියන නම හා බාප්පට කියන නම අම්මා සහ තාත්තා වෙනුවෙන් භාවිතා කිරීමත් තෙළිඟු භාෂාවේ සීයට කියන නම සිංහලයේ තාත්තාට කියන නම ලෙස භාවිතා වීමත් කිසිවක් අප කියා දෙනවා ද?

 

මාලදිවයිනට ගිය අය මෙරට බෙහෙවින් ඉන්නවා. ඔවුන් බොහෝ දේ දන්නවා ඇති. එහි තිබී ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියක්. ඔවුන් මෑතක් වන තුරු (අප කුඩා කාලයේත්) දොඩන්දුවට ආවෙ නැගම්  කියා හිතෙනවා. ඔවුන් සමහර දෙනකුට තවමත් සිංහල පුළුවන් නම් පුදුම වෙන්න දෙයක් නැහැ. ඔවුන්ගේ සංඛ්‍යා ක්‍රමය ද්වාදශම ක්‍රමය කියා හඳුන්වන්න පුළුවන්. මහාචාර්ය ජේ බී දිසානායක කියනවා ඔවුන් ගණන් කරන්නෙ නවය දහය එකොළහ දොළහ හා ඉන්පසුව දොළොස් එක දොළොස් දෙක ආදී වශයෙන් කියා. අපටත් ඒ ක්‍රමය තිබුණා. අප දොළහෙ ගුණාකාරවලටත් ඉන් භාගයක් එකතු කිරීමෙන් ලැබෙන සංඛ්‍යාවලටත් ප්‍රිය බව මා කලින් කියා ඇති. තුන්දොළොස් හරි තුන්තිස් පැය හරි අටළොස් රියන් හරි සුවිසි විවරණ හරි ඒ අනුව ලැබෙන සංඛ්‍යා. දෙතිස් කියන්නෙ තිස්දෙක ද හැට ද? අපට අපේ ඉලක්කම් තිබුණ නමුත් ද්වාදශම ඉලක්කම් පද්ධතියක් තිබුණ ද කියා දැනගන්න නැහැ.

 

ඒ කුමක් වුවත් කොල්ලෑව ගැන යමක් කියැවී නැහැ. පොලිනීසියන්වරු යාත්‍රිකයන් බව සැබැයි. ඔවුන් තම යාත්‍රාවලට කී නම කුමක් ද කියා මා දන්නේ නැහැ. ඔවුන් යාත්‍රා දෙකක් එකට යා කර එකක් ලෙස යොදා ගත්තා කියනවා. එය කොල්ලෑවක් නො වෙයි. කොල්ලෑව වැඩි දියුණු කර එවැනි යාත්‍රා තනා ගත්තා ද? මා දන්නේ නැහැ. පොලිනීසියාවෙත් පොල් තියෙනවා. එහෙත් ඉන්දියන් සාගරය වටා ඇති රටවල වැවෙන පොල් දිගටි හැඩයක් ගන්නවා. ශාන්තිකර සාගරයේ දුපත්වල වැවෙන පොල් රවුම් ආකාරයක් ගන්නවා. ඒ නිසා පොලිනීසියාවෙන් පොල් ලැබුණා කියා හිතන්න බැහැ.

 

අපේ තැඹිලි නම් රවුම් හැඩයක් ගන්නවා. තැඹිලි තියෙන්නෙ ලංකාවෙ පමණක් යැයි කියනවා. එය එසේ වූයේ කෙසේ ද? මා පොල් පර්යේෂණ ආයතනයෙන් පිළිතුරු බලාපොරොත්තු වන්නේ නැහැ. පිළිතුරූ නැතත් අප ප්‍රශ්න අහන්න පුරුදු වෙන්න ඕන. අප ළමයින් ලෙස දෙමවුපියන්ගෙන් වැඩිහිටියන්ගෙන් නොයෙකුත් ප්‍රශ්න අහනවා. එහෙත් වැඩෙන විට ප්‍රශ්න ඇසීම නවත්තල වෙනත් අය දීපු උත්තර හොයන්න පටන් ගන්නවා. ඒකට අධ්‍යාපනය කියනවා.

 

ඒ අධ්‍යාපනය අපට දීපු බටහිරයන් යම් පිරිසක් ප්‍රශ්න අහන එක නැති කර ගන්නේ නැහැ. ඒ තමයි ඔවුන්ගෙ විශ්වවිද්‍යාලවල ප්‍රධාන කාර්යය කිවුවත් වැරැද්දක් නැහැ. මා කලින් දවසක සසෙක්ස් විශ්වවිිද්‍යාලයෙ මා සමග තාරකා විද්‍යාව හැදෑරු  ජෝන් වීලන් ගැන කිවුවා. ඔහු දිනක්  අපේ ඉතිහාසය ගැන කතා කරමින් සිටිය දී මගෙන් ඇහුවා ලංකාවට දකුණු ඉන්දියාව  වඩා ළඟ වෙලත් උතුරු ඉන්දියාවෙන් ජනයා අපේ රටට කලින් පැමිණියේ කොහොම ද කියා. එකල මට එයට පිළිතුරක් තිබුණෙ නැහැ.

 

අපට යක්‍ෂ නාග දේව රාක්‍ෂස පිරිස මග හැර ඒ ප්‍රශ්නයට පිළිතුරක් දීමට බැහැ. එය මට තේරුණේ ටික කලකට පෙර. මගේ පිළිතුර ජෝන්ට යවන්න ක්‍රමයක් තිබුණේ නැහැ. ඔහු අකාලයේ මිය ගොස් සිටි බැවින්. අපේ රට දිවයිනක් බව අමුතුවෙන් කියන්න ඕන නැහැ. ලක්දිව කියන්නෙත් ලංකාදීප කියන එක. මාල දිවයින කියන්නෙත් දිවයින් සමූහයක්. එය දිවෙහි රාජ්‍යය ලෙස හඳුන්වනවා. බස දිවෙහි බස ලෙස හඳුන්වනවා. අපේ දිවයිනට ඈත අතීතයේ සිට විවිධ රටවලින් මිනිසුන් ඇවිත් තියෙන බව පැහැදිලියි. දකුණු ඉන්දියාවෙන් (භාරතයෙන් කියමු) නිසැකයෙන් ම එන්න ඇති. තපස්සු භල්ලුක පැමිණ ඇත්තෙ උතුරු ඉන්දියාවෙ තොටුපොළකින්. ඒ විජය කතාවට පෙර. එහෙත් ඔවුන් බුරුම වැසියන්. එකල විවිධ අය මුහුදු තරණයේ යෙදී තියෙනවා. තපස්සු භල්ලුුක පැමිණියා නම් විජයට පෙර උත්තර භාරතයෙ වැසියන් ද ලංකාවට පැමිණෙන්න ඇති.

 

අපේ රටට භාරතයේ නැගෙනහිරින් හා අග්නිදිග ආසියාවෙන් පැමිණි අය එන්න ඇත්තෙ දඹකොළපටුනට, ගෝකණ්ණයට ආදී උතුරු හා නැගෙනහිර වරායවලටත් හම්බන්තොටටත්. භාරතයේ බටහිරින් හා බටහිර රටවලින් පැමිණි අය මාංතොට, ගිංතොට, හම්බන්තොට ආදී  වරායවලටත් එන්න ඇති. හම්බන්තොට පොදු වරායක්. එය දියුණු කරනවා නම් හොඳයි. ඒ කොහොම වෙතත් විජය ඇවිත් තියෙන්න බටහිර වරායකට. විජය වංගයෙන් හරි කාලිංගයෙන් හරි ආවත් ලංකාව එන්න කලින් භාරතයේ බටහිර වෙරළට ගිහින් සුප්පරකින් නැවු නැග තියෙනවා. ඒ මහාවංසයට අනුව. ඒ කතාව ප්‍රශ්න කරන්න පුළුවන්. එතන කතා දෙකක් තියෙනවා ද?

 

ඒ විවිධ ප්‍රදේශවලින් පැමිණි පිරිස් තම සංස්කෘතීන් ද මෙරටට ගේන්න ඇති. ඔවුන් මෙරට යක්‍ෂ නාග දේව රාක්‍ෂස සංස්කෘතීන්ට අවශෝෂණය වන්නත් ඇති. අප සිංහල වී ඇත්තේ කලක් යෑමෙන් පසු. එසේ සිංහල වීමෙන් පසු අර ලංකාව කියන නම අත්හැරි සිංහලේ සිංහල දේශය ආදී නම් ව්‍යවහාර වෙලා තියෙනවා. සිලෝන් කියන්නෙත් සිංහලේ සෙයිලාන් සිලෝන් වීමෙන් හැදුණු වචනයක්. ගම්පෙරළියේ ජිනදාස වෙළෙඳාමට යන්නෙ සිංහලේට.

 

ඒ කුමක් වුවත් අපට කියන්න පුළුවන් උත්තර භාරතීය ආභාසය අපට අනෙක් ආභාසවලට වඩා බෙහෙවින් වැඩියෙන් ලැබී තිබෙන බව. ජෝන් ඇසු ප්‍රශ්නයට පිළිතුර එයයි. සිංහල භාෂාවේ සිරුරේ  අවයවවලට අප තවමත් භාවිතා කරන්නෙ යක්‍ෂ වචන. බෙල්ල, කට, බඩ එයට උදාහරණ. ඇතැම් යක්‍ෂ නාම පද හා ක්‍රියා පද  අද අප අසභ්‍ය කරල. මා උදාහරණ සපයන්නෙ නැහැ.

 

අවශෝෂණය යන්නෙන් අපට බොහෝ දේ තේරුම් ගන්න පුළුවන්. ඔබ සමහරුන් එකඟ නොවන දෙයක් කියන්නම්. ඉසුරුමුණිය වෙස්සගිරිය ආදී තැන් අප බෞද්ධයන් වීමට පෙර අපේ පැරණි සංස්කෘතිය පිළිබිඹු කරනවා. ඉස්සර සමණ යන්න ඊශ්වර ශ්‍රමණ යන්න කියා මට හිතෙනවා. වෙස්සමුණිය මතක් කරන්නේ වෛශ්‍රවමුණි. ඒ බුදුදහමට පෙර අපට ලැබී ඇති වෛදික සංස්කෘතිය. සමහරුන් කියන්නෙ ඒ අපෙන් භාරතයට ගිය කතා කියා. අප අපේ අතීතයට බිය විය යුතු නැහැ. ඨකුර්ලාත් උත්තර භාරතයෙන් යමක් ගේන්න ඇති.

 

තව ටිකෙන් මට අමතක වෙනවා. ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ අපේ ඥාතියෙක් ඉන්නවා ඨකුර් කියල. ඒත් ලංකාව දිනුව නම් තමයි හොඳ.