History

Tuesday, 18 October 2022

නොබෙල් තෑග්ගේ කතාව

 

නොබෙල් තෑග්ගේ කතාව

 

ගිය සෙනසුරාදා හා ඉරිදා සති අග අරුණ පුවත්පතට වරුණ අබේසේකර නොබෙල් තෑග්ග නලින් ද සිල්වාගේ මගේ ලෝකයට මැයෙන් ලිපියක් ලියා ඇති බව මට පසුව දැන ගන්න ලැබුණා. මා වරුණ අබේසේකර හඳුනන්නේ නැහැ. එහෙත් ඔහුට ක්වොන්ටම් භෞතිකය හා දර්ශනය පිළිබඳ දැනුමක් ඇති බව පෙනී යනවා. ඒ ලිපිය පළ කිරීම ගැන මා ඔහුට පින් දෙන්නේ සාමාන්‍යයෙන් ජනමාධ්‍ය මා සම්බන්ධ දෙයකට ඉඩක් නොදෙන බැවින්.

 

මේ ලිපියේ මාතෘකාවෙන් ඇතැමුන් කලබලයට පත් වෙලා. වරුණ අබේසේකර කිසි විටෙක කිසිම අයුරකින් කියා නැහැ මගේ ලෝකයට නොබෙල් තෑග්ග හිමි වී ඇති බව හරි හිමි විය යුතු බව හරි. විද්‍යාඥයකු නොවන මට නොබෙල් තෑග්ග නොලැබෙන බව  ඔහුට තේරෙනවා ඇති. මා සසෙක්ස් විශ්ව විද්‍යාලයෙන් ආපසු හැරී ආවේ මට නොබෙල් මට්ටමට තියා දෙවැනි ගණයේ මට්ටමටවත් යා නොහැකි බව වැටහුණු නිසා.

 

කෙසේ වෙතත් මගේ ලෝකයට ලෝකයේ තබා ලංකාවේවත් සම්මානයක් ත්‍යාගයක් ලැබී නැහැ. එය පළ වී අවුරුදු තිස්හයක් ගත වී ඇති නමුත් ඒ ගැන ලියැවී ඇත්තේ එක් විචාරයක් පමණයි. එයත් කොළඹ විශ්වවිද්‍යාලයේ සුවාදීන ශිෂ්‍ය සංගමයේ ප්‍රකාශනයක. ඒ විචාරය ලියූ අයට මගේ ලෝකය තේරී නැහැ. ඔහු ක්වොන්ටම් භෞතිකයේ අයන්න ආයන්නවත් නො දන්නා බව පැහැදිලියි. මගේ ලෝකය දෙවැනි මුද්‍රණයේ ඒ විචාරයත් විචාරයට පිළිතුරකුත් පළ කෙරුණා.

 

මගේ ලෝකයේ ඇත්තේ මගේ බුදුදහම. එකල මා බටහිර විද්‍යාව පට්ටපල් බොරු කියන කතාව කියා තිබුණේ නැහැ. එහෙත් සියලු දැනුම් සංස්කරණ යන්න හා දැනුම් සාපේක්‍ෂ බව එහි කියැවෙනවා. ඒ එදා කී විධියට නිර්මාණාත්මක සාපේක්‍ෂතාවාදයේ නැත්නම් අද කියන විධියට සංස්කරණාත්මක සාපේක්‍ෂතාවාදය ගැන ලියැවුණු පොතක්. මගේ ලෝකයට සම්මානයක් නොලැබුණා කියන්නත් බැහැ. පොත පළ වී අවුරුදු හයක් ගිය තැන කොළඹ විශ්වවිද්‍යාලයෙන් මා නෙරපනු ලැබුවා.

 

පොතෙහි කියැවෙන්නේ නිරීක්‍ෂණ හා ඒ නිරීක්‍ෂණ තේරුම් ගැනීම පිළිබඳවයි. අප නිරීක්‍ෂණ කරන්නෙත් යම් සංස්කෘතියක. සංස්කෘතිය කියන්නේ හැදියාව. හැදියාවක් නැති අයකු නැහැ. අපට යම් යම් දේ ඒ ඒ අයුරින් නිරීක්‍ෂණය කරන්න දෙමවුපියන් වැඩිහිටියන් කියනවා. එහෙමත් නැත්තන් වෙනත් අයකු කියා දෙනවා. මගේ ලෝකයෙහි උඩැක්කිය පිළිබඳ කතාවක් මගින් ද එය පැහැදිලි කරනවා. හැදියාවෙ ආරම්භය අහන්නෙ රේඛීය චින්තනයක. මට තේරෙන විධියට චක්‍රීය චින්තනයේ ඒ ප්‍රශ්නය පැන නගින්නේ නැහැ. මා හිතනවා සොක්‍රටීස් චක්‍රීය (cyclic) චින්තනයක් මතයි පදනම් වුණෙ කියා. එහෙත් ඔහුගේ ගෝලයාගේ ගෝලයා වූ ඇරිස්ටෝටල් රේඛීය චින්තනයට ගිහින් එහි වියුක්ත (abstract) න්‍යායක් (logic) ගොඩ නැගුවා.

 

බටහිර දැනුම පදනම් වෙන්නෙ රේඛීය චින්තනයෙහි හා ඇරිස්ටෝටලීය න්‍යායෙහි. බටහිර විද්‍යාවෙ නිරීක්‍ෂකයා නිරීක්‍ෂකයාගෙන් තොරව පවතින ඊනියා වාස්තවික ලෝකයක් දකින බව උපකල්පනය (assume) කළා. පසු කලෙක ඩෙකාටේ (දෙකාර්තෙ) කාටීසිය තාප්පය මගින් ඒ නිරීක්‍ෂකයා හා නිරීක්‍ෂණ තාප්පයකින් වෙන් කෙරුවා. එදිනෙදා අහන දකින පංචෙන්ද්‍ර්‍රය ගෝචර සංසිද්ධි (sensory perceptible phenomena)  සඳහා එය වැඩ කරනවා. එහෙත් ඉන්ද්‍රිය ගෝචර නොවන සංසිද්ධිවල දී ඒ ක්‍රමය හරියන්නෙ නැහැ. ක්වොන්ටම් භෞතිකය සංස්කරණය කෙරෙන්නේ එවැනි ඉන්ද්‍රිය ගෝචර නොවන සංසිද්ධි සඳහා. තව දුරටත් කියනවා නම් යම් යම් සීමාවලට යටත් වූ වස්තු සඳහා. 

 

මගේ ලෝකයේ කියන්නේ  නිරීක්‍ෂකයාගෙන් තොර ලෝකයක් නැහැ කියා. ඇතැම් පෙම්වතකු පෙම්වතියට කියන්නේ ඔබෙන් තොර ලෝකයක් නැහැ කියා. මගේ ලෝකයේ කියන්නේ මගෙන් තොර ලෝකයක් නැහැ කියා. එය කිසිම ආකාරයක විඥානවාදයක් නොවෙයි. සංස්කරණාත්මක සාපේක්‍ෂතාවාදය විඥානවාදීත් නැහැ භෞතිකවාදීත් නැහැ. ඊනියා ලෝකය ඇත්තේ මනසෙහි නොවෙයි. එහෙත් මනසෙන් තොර ලෝකයකුත් නැහැ. ඇරිස්ටෝටලීය න්‍යායෙන් එය තේරුම් ගන්න බැහැ. ඇරිස්ටෝටලීය න්‍යායෙහි තමයි විරුද්ධාභාස (paradoxes) තියෙන්නෙ. විරුද්ධාභාස කියන එකෙන් පැහැදිලි වන්නෙ ඇරිස්ටෝටලීය න්‍යායෙහි ඇති බංකොළොත් බව.

 

වරුණ අබේසේකර මෙවර භෞතික විද්‍යා නොබෙල් තෑග්ග හිමි වු තිදෙනාගෙන් අයකු වූ ප්‍රංශ ජාතික ඇස්පෙගෙ ක්වොන්ටම් පැටලීම (entanglement) පරීක්‍ෂණ ගැන කියනවා. එනයින් පෙන්නුම් කරන්නේ ස්ථානීය යථාර්ථය (local realism) පිළිබඳ සංකල්පය බිඳ වැටෙන බවයි. මගේ ලෝකයට එය වැදගත් වුණෙ  වාස්තවික යථාර්ථය බිඳ වැටීම පිළිබඳ කරුණෙහි දී. අද බටහිර දර්ශනය බටහිර භෞතික විද්‍යාව මතත් පදනම් වෙනවා. මගේ ලෝකයේ කියන අදහස් ම නොවුණත් කාලෝ රොවෙල්ලි වැන්නන් යථාර්ථය ගැන කියා ඇති දැන ගැනීම භෞතිකවාදී යථාර්ථවාදීන්ට වැදගත් වේවි. මේ සම්බන්ධයෙන් පසුගිය ඔක්තෝබර් 15 දාතම සහිත නිව් සයන්ටිස්ට් සඟරාවෙ සම්බන්ධීය (relational) ක්වොන්ටම් යාන්ත්‍රිකයක් ගැන රොවෙල්ලි කියන අදහස් වැදගත්.

 

ක්වොන්ටම් භෞතිකයෙහි මිනිසුන් සංස්කරණය කරගෙන ඇත්තේ වෙනත් සත්භාවයක් (ontology). එහි එකවිට අංශුවක් දෙතැනක තියෙන්න පුළුවන්. අප අංශු කියන වචනය යොදා ගත්තත් මේ අංශු නො වෙයි. ඒ කුමක් වුවත් සම්භාව්‍ය (classical) එහෙමත් නැත්නම් ක්වොන්ටම් නොවන භෞතික විිද්‍යාවෙහි  සත්භාවය ක්වොන්ටම් සත්භාවයෙන් වෙනස්. ක්වොන්ටම් කතා තේරුම් ගැනීමට වඩා පහසු බෞද්ධ චින්තනයක.

 

කොළඹින් නෙරපනු ලැබූ මා අවුරුදු දහයක් නඩු කීමෙන් පසු කැලණියට ගියා. මට එහි දී අවස්ථාව ලැබුණා සිංහල බෞද්ධ චින්තනයක න්‍යාය, ක්වොන්ටම් භෞතිකය, සාපේක්‍ෂතාවාදය, විශ්වවේදය, ගණිතමය න්‍යාය (mathematical logic) වැනි විෂයවල පශ්චාත් උපාධි නිබන්ධන සඳහා උපදෙස් දීමට. මා එහි දී පදනම් වුණේ සිංහල බෞද්ධ චින්තනයක. දැනටත් මා කලිනුත් කියා ඇති පරිදි ආකාශ ධාතුව ද එක් කරමින් විශ්වය පිළිබඳ කතාවක් ගොතනවා. ඒ කතාවේ මූලික කරුණු කැලණිය විශ්වවිද්‍යාලයේ  වසන්ත කටුගම්පොළ හා කුමුදුමලී ජයකොඩිගෙන් දැනගන්න පුළුවන්.

 

ඒ්ත් මේ සියල්ල බොරු. ඒ බුදුවදනට අනුව. බොරු අත්හැරීමෙන් අපට නිවෙන්න පුළුවන්. ඒ නිවන් දැකීමක් නො වෙයි. දකින්න නිවනක් නැහැ. මම යනුවෙන් අප ගන්නා බොරුව ද ඇතුළු සියලු බොරු අත්හැරි විට නිවෙන්න පුළුවන්. නිවීමක් මිස දකින්න පුළුවන් නිවනක් නැහැ. 

 

වරුණ අබේසේකර ලියා ඇති ලිපියේ සබැඳිය පහත  දැක්වෙනවා. 


https://m.facebook.com/story.php?story_fbid=pfbid026ZkMLiyFiZcAA1mMqMsFpsQo7YehFBFRp1hjJAaa25G3HjL7ppHQ4yrahCM5W2NPl&id=100063752631631