History

Monday, 24 October 2022

තාත්තා හා ලක්‍ෂමන්

 

තාත්තා හා ලක්‍ෂමන්

 

ගමේ ප්‍රධාන ප්‍රභූවරයා වූයේ වෝල්ටර් සල්ගාදු මහතා. ඔහු තාත්තා කලක් ඉගැන්වූ මහවිල ඉස්කෝලෙ කළමණාකරු වූවා මෙන් ම ලක්‍ෂමන්ගේ හෙවත් ජී එල් පීරිස්ගේ සීයා. වෝල්ටර් සල්ගාදු ගමේ ප්‍රධාන ප්‍රභූවරයා වූ නමුත් ගමේ අය සමග සම්බන්ධකමක් පැවැත්වූයේ නැහැ. මට මතක නැහැ ඔහු කිසි දිනෙක වෑකඩ පන්සලේ පිංකමකට සහභාගි වූ බවක්. එහෙත් ඔහු අසරණයන්ට මුදලින් අධාර කළ බව නම් තාත්තා අපට කියා තිබුණා. සමහර විට ඔහු පාණදුරේ රංකොත් විහාරයට යන්න එන්න ඇති.

 

පාණදුරේ ප්‍රධාන පන්සල ලෙස සැලකුණේ රංකොත් විහාරය. එය පිහිටියේ පාණදුරා නගරයේ. පාණදුරා වාදය සමගත් එහි සම්බන්ධයක් තිබුණා. එකල රංකොත් විහාරයේ ලොකු හාමුදුරුවන් වූයේ මොරටුවේ සාසනරතන හාමුදුරුවන්. උන්වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයේ මහචාර්යවරයකු ලෙස ද කටයුතු කළා. උන්වහන්සේ ලියූ පොත් අතර ලක්දිව මහායාන අදහස් නම් පොත ද වෙනවා. ආච්චි අම්මලා වැඩිය ගිහින් තිබුණෙ රංකොත් විහාරයට හා වැලිපිටියෙ පන්සලට. ඒ ආච්චි අම්මලා දැන් කියන විධියට වෑකඩ බටහිර පදිංචී වී සිටි  නිසා. 

 

අප කුඩා කළ බෙහෙවින් ආශා කළ දෙයක් වූයේ පාණදුරේ වෙරළට ගොස් රැළ පෑගීම. රැළ පෑගීමට යෑමට පෙර අම්මා ඇතැම් දිනෙක අප කැටුව රංකොත් විහාරයට ද ගියා. රංකොත් විහාර පරිශ්‍රයේ තමයි පාණදුරේ ශ්‍රී සුමංගල විදුහල ආරම්භ කරල තියෙන්නෙ. පසුව එය පාණදුරේ ප්‍රභූන්ගේ ඉඩම් පරිත්‍යාගයෙන් නල්ලූරුවට ගෙන ගොස් තියෙනවා. එහෙත් ප්‍රාථමික අංශය තිබුණේ රංකොත් විහාර පරිශ්‍රයේ. එය හැඳින්චූයේ විදුහලේ නගර ශාඛාව කියා. මගේ මල්ලිලා සමහරකු එහි ඉගෙන ගත්තා. එහෙත් මට එහි ඉගෙන ගැනීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ මාත් ලොකු මල්ලිත් කුඩා කල ම තර්ස්ටන් විදුහලට ඇතුළත් කෙරුණු බැවින්. මා ශ්‍රී සුමංගල විදුහලට ගොස් ඇත්තේ දේශන සඳහා පමණයි. සුනාමියෙන් පසු ශ්‍රී සුමංගල විදුහල වෑකඩට ගෙනි යන්න සිදු වුණා.

 

තාත්තා  මහවිල ඉස්කෝලෙ වැඩ කටයුතුවලට එහි කළමනාකාර වෝල්ටර් සල්ගාදු මහතා හමුවීමේ පුරුද්දක් තිබුණා. එහි ගිය වෙලාවක සල්ගාදු මහතා තාත්තාට කියා තියෙනවා ඩැනියෙල් මෙන්න මේ ලක්‍ෂමන්ට හවසට ඇවිත් ටිකක් උගන්නන්න කියා. ගමේ මිනිසුන් තාත්තාට දනියෙල් සිල්වා මහත්තයා කිවුවත් සල්ගාදු මහතා කිවුවෙ ඩැනියෙල් කියලා. ලක්‍ෂමන් හෙවත් ජී එල් පීරිස් එවකට ඉගෙන ගත්තෙ ශාන්ත තෝමස් විදුහලේ.

 

තාත්තා ඒ අනුව ඇතැම් දිනවල සවසට ලක්‍ෂමන්ට උගන්නන්න ගියා. තාත්තා ඉගැන්නුවේ මුදල් අය කර නොවෙයි. එකල ගුරුවරු මූදලට ඉගැන්නුවේ නැහැ. වැටුපෙන් සෑහීමකට පත් වුණා.  තාත්තා ලක්‍ෂමන්ගේ මතක ශක්තිය ගැන අපට කිවුවා. තාත්තා කිවුවෙ ඉගෙන ගන්න දක්‍ෂයා කියා. එහෙත් ඔහුට ගණිතය නම් අමාරු විෂයක් වී තිබුණා. ඔහුට ගණිතය අමාරු වුවත් වියුක්තය බැරි වුණත් ඔහු දක්‍ෂ ශිෂ්‍යයකු වුණා. පසු කලෙක ඔහු විශ්වවිිද්‍යාලයේ නීතිය  ඉගන ගත්තා. එකල නීති උපාධියට ගත වූයේ වසර තුනයි. ඔහුට පළමු පංතියේ උපාධියක් ලැබී රෝඩ්ස් ශිෂ්‍යත්වයක් මත ආචාර්ය උපාධිය සඳහා ඔක්ස්ෆර්ඩ් විශ්වවිිිද්‍යාලයට බැඳුණා. රෝඩ්ස් ශිෂ්‍යත්වයක් ඔහුට ලැබුණේ කෙසේ ද යන්න එදා ප්‍රශ්නයක් වුණා. රෝඩ්ස් ශිෂ්‍යත්වයක් ලැබෙන්නේ ක්‍රීඩාවෙහි ද දක්‍ෂ සිසුන්ට. ලක්‍ෂමන් ක්‍රීඩා කරන්න පටන් ගත්තේ දේශපාලනයට ඒමෙන් පසුව.

 

ලක්‍ෂමන්ට රෝඩ්ස් ශිෂ්‍යත්වයෙන් ලැබුණු මුදල් ප්‍රමාණවත් වුණේ නැහැ. ඒ ශිෂ්‍යත්ව මුදල මදි නිසා නො වෙයි. සල්ගාදු මහතාට මුදල් තිබුණ නමුත් එකලත් විදේශීය මුදල් හිඟයක් තිබූ නිසා මුණුබුරාට මුදල් යවන්න අමාරු වුණා. ඒ දිනවල මුදල් යැවීමට එක්තරා සහතිකයක් ගන්න ඕන. එය විදේශ විනිමය උපයාගැනීමේ සහතිකය (Foreign Exchange Earning Certificate) ලෙස හැඳින්නුවා. විදේශවල ඉගෙන ගත් සිසුන්ටත් ඒ සහතිකය ලබා ගැනීමට පුළුවන් වුණා. ලක්‍ෂමන්ටත් ඒ සහතිකය ලැබුණා. ඒත් ඔහුට ඒ මුදලුත් මදි වෙන්න ඇති. එහි දී සල්ගාදු මහතා තාත්තාට මුදල් දී මගේ සහතිකය යොදා ගනිමින් මට මුදල් එවුවා. මා ඒ මුදල් ලක්‍ෂමන්ට යැවුවා. මට රජයේ ශිෂ්‍යත්වයෙන් ලැබුණූ මුදල් ඕනවටත් වැඩි වුණා. සල්ගාදු මහතා තාත්තාට රුපියල් වැඩියෙන් දුන් බවත් කියන්න ඕන.

 

එංගලන්තයේ සිටිය දී මා යුරෝපයේ සංචාරයක ද යෙදුණා. ස්විට්සර්ලන්තයේ දී මා තාත්තාට ඔරලෝසුවක් මිල දී ගත්තා. ඒ ඔරලෝසුව මා තාත්තාට එවුවේ ලක්‍ෂමන් මගින්. මා ඒ සඳහා ඔක්ස්ෆර්ඩ් හි ඔහු නැවති සිටි නිව් කොලේජ් නම් විදුහලට හොස් ඔහු හමුවුණා.

 

ලක්‍ෂමන් කොළඹ විශ්වවිිද්‍යාලයේ උපකුලපති පදවියට පත්වූණේ ස්ටැන්ලි විජේසුන්දර මහතා ජ වි පෙ ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කරනු ලැබීමෙන් පසු. ඒ තමයි ලක්‍ෂමන්ගෙ දේශපාලනයේ ආරම්භය. එකල ජනාධිපති ආර් ප්‍රේමදාස. ලක්‍ෂමන්ගේ දේශපාලනය ආරම්භ වුණේ එ ජා පක්‍ෂයෙන්. අවසන් වන්නේ කොහෙන් ද කියා ඔහුවත් දන්නෙ නැහැ. ඒත් මා නම් හිතන්නේ ඔහුගේ දේශපාලනය දැන් අවසන් කියා.

 

මා ජාතික චින්තනයක් ගැන කතා කිරීම එකල බොහෝ අයට ප්‍රශ්නයක් වෙලා තිබුණා. ඒ ගැන වෙන ම ලියන්න ඕන. ප්‍රේමදාස  ඊනියා ප්‍රාදේශීය විශ්වවිද්‍යාල පිහිටෙවුවෙත් ඒ දිනවල. එහි දී මා ප්‍රේමදාසට විරුද්ධ වුණා. ප්‍රාදේශීය විශ්වවිිද්‍යාල ගැන මා උපකුලපතිවරුන් සමග පමණක් නොව විශ්වවිිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති අර්ජුන අළුවිහාරෙ සමගත් වාද කළා. කොළඹ විශ්වවිිද්‍යාලයේ නව කලාගාරයේ අප දෙදෙනා අතර වාදයක් පැවැත්වුණා. ප්‍රේමදාසට වගේ ම කොළඹ විශ්වවිද්‍යාලයේ බොහෝ ඇදුරන්ටත් මා හිසරදයක් වුණා. එහෙත් අර්ජුන අළුවිහාරෙ කෙදිනකවත් මා හිසරදයක් ලෙස සැලකුවේ නැති බව කියන්න ඕන.

 

මා විශ්වවිද්‍යාලයෙන් අස්කෙරුණා. ලක්‍ෂමන් එවකට ජී එල් පීරිස් වෙලා. ඔහු ඊනියා නීතියට අනුව වැඩ කළේ තාත්තා ගැනත් අමතක කරමින්. ජී එල් පීරිස් සම්බන්ධකම්වලට වඩා නීතියට ගරු කරන්න ඇති. ඒත් තාත්තාට එය තරමක ප්‍රශ්නයක් වුණා. තම ගෝලයකු තම ලොකු පුතා අස් කිරීම තාත්තාට ප්‍රශ්නයක් වුණා. මා අස් කර ලබන මාසයට අවුරුදු තිහක් වෙනවා. එවකට මගේ වයස හතළිස් අටයි, මගේ ලෝකයට වයස අවුරුදු හයයි. ලංකාවෙ හිටිය නම් උත්සවයක් පවත්වන්න තිබුණා.  මා උත්සවයට ආරාධනා කරන්නෙ මහින්දට හා ගෝඨාභයට. නැතුව රනිල්ට හා සජිත්ට ආරාධනා කරන්නැයි.