History

Tuesday, 25 October 2022

නවක වදකයන්ට මුදල්

 

නවක වදකයන්ට මුදල්

 

මට නවක වදය ගැන ලියන්න වුවමනාවක් තිබුණෙ නැහැ. එය ලංකාවෙ කතා කරන එහෙත් විසඳුමක් නැති තවත් ප්‍රශ්නයක් පමණයි. ඒත් පේරාදෙණිය සරසවියෙ ශාස්ත්‍ර පීඨාධිපතිතුමා දක්වල තියෙන ගණන් හිලවු ගැන දැන ගත්තට පස්සෙ ඒ ගැන ලියන්න ඕන කියල හිතුවා. මාත් ඔය නවක වදය විඳපු අයෙක්. දැනට අවුරුදු හැටකට කිට්ටු වෙන්න 1963 ජූලි මාසෙ ඔය පේරාදෙණියෙ ම ජයතිලක ශාලවෙ මටත් ඒ අවුරුද්දෙ අනෙක් නවකයන්ටත් ඒ අත්දැකීමට මුහුණ දෙන්න සිද්ධ වුණා.

 

ඇතැමුන් කියනවා ඒ දවස්වල නවක වදය මානුෂිකයි ඔය ගෑණු ළමයකුට මලක් දෙන්න සිංදුවක් කියන්න වගේ දේ තමයි තිබුණෙ කියල. මට නම් කවුරුන්වත් එහෙම කරන්න කිවුවෙ නැහැ. අපට කරන්න කී සමහර දේ ලියන්න බැහැ. කියන්න පුළුවන් එකක් තමයි වැසිකිළියෙ නිරුවතින් බඩ ගෑම. අපි සෝබනේට කියමු බාත්රූම් එකේ බඩ ගාන්න වුණා කියල. මා නම් කිසි දිනෙක කිසිවකුට නවක වදයක් කරල නැහැ. මා අතරින් පතර විශ්වවිද්‍යාලෙ හිටපු කාලෙ ආචාර්යවරයකු අංශ ප්‍රධානියකු හා පීඨාධිපතිවරයකු ලෙසත් වැඩ බලන උපකුලපතිවරයකු ලෙසත් කටයුතු කරල තියෙනවා. මා නවක වදයට විරුද්ධව කළ කී දෑ මා කියන්න යන්නෙ නැහැ. නවක වදය තනි පුද්ගලයකුට නවත්තන්න පුළුවන් දෙයක් නො වෙයි.

 

ඉස්සර නවක වදය කියල ව්‍යවහාරයක් තිබුණෙ නැහැ. කිවුවෙ රැග් එක කියල. පේරාදෙණියෙ ඒ දවස්වල රැග් ලීඩර්ස්ලත් හිටිය. ඔවුන්ට රඝුපති කියල ඇතැමුන් කිවුවා. ඔය රැග් එක අපට අපේ සංස්කෘතියෙන් ලැබුණු එකක් නො වෙයි. පඬි නැට්ටකු කියන්න පුළුවන් මෙරට විශ්වවිද්‍යාල තිබුණෙ නැහැ කියල. ඒ පඬි නැට්ටන්ගෙ තරම. මෙරට තමයි පළමු විශ්වවිිද්‍යාලය තිබුණෙ. ඒ මහා විහාරය. නාලන්දා විශ්වවිද්‍යාලයත් ඊට පස්සෙ. අපට අභයගිරියත් තිබුණා. අභයගිරියට ගිය වෙලාවක පංචාවාස නැත්නම් නේවාසික ඉගෙනීමේ කුටි බලා ගන්න. නාලන්දාවෙ සිංහල භික්‍ෂූන් වහන්සේ සඳහා අද කියන විධියට නම් නේවාසිකාගාර තිබුණා. ඒත් බටහිරයන් ඒ විශ්වවිද්‍යාල ලෙස සලකන්නෙ නැහැ. ඒ නිසා අපත් ඒ විශ්වවිිද්‍යාල ලෙස සලකන්නෙ නැහැ.

 

බටහිරයන් කියන විධියට ලෝකයෙ මුල් ම විශ්වවිද්‍යාලය ඉතාලියෙ බොලොඤ්ඤා විශ්වවිද්‍යාලය. ඒ දොළොස්වැනි සියවසේ පටන් ගත්ත එකක්. තවත් මතයක් තියෙනවා පළමු විශ්වවිද්‍යාලය අප්‍රිකාවෙ අද මාලි රට කියන ප්‍රදේශයේ ටිම්බක්ටු නගරයෙ පටන් ගත් Sankore විශ්වවිද්‍යාලය කියල. එය මුස්ලිම් විශ්වවිද්‍යාලයක්. ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය 1200 දිත් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය 1209 දිත් පටන් අරන් තියෙන්නෙ. ඒවා ක්‍රිස්තියානි විශ්වවිද්‍යාල. ඒවට ගියාම පේනවා ක්‍රිස්තියානි සංස්කෘතිය.  ගලහ පාරෙ යනකොට පේරාදෙණියෙ බෞද්ධ ගතියක් පේන්නෙ නැහැ. හැටගණන්වල අරුණාශලම් ශාලාව අසළ හදපු චෛත්‍යයත් ගලවල පස්සෙ පාරට නොපෙණෙන තැනකට අරන් ගියා.

 

ඔය සියලු විශ්වවිද්‍යාලවල සංස්කෘතිය ක්‍රිස්තියානි. උගන්වන්නෙ බටහිර යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙ. මෙරට ඊනියා බෞද්ධ දර්ශනයක් උගන්වන්නෙත් ක්‍රිස්තියානි චින්තනයෙ. විශ්වවිද්‍යාල තියෙනකන් බටහිර සංස්කෘතික ආධිපත්‍යයෙන් මිදෙන එක අමාරු වැඩක්. නවක වදය නැත්නම් රැග් එක කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලෙත් තියෙනවා. ඒත් එහිදී කෙරෙන්නෙ ජ්‍යෙෂ්ඨයන් නවකයන් එක්ක කල්ගිය රෙදි වැරළි (rag) අරගෙන අසළ නගරයට ගිහින් පින් කටයුතු සඳහා මුදල් එකතු කරන එක. මා කේම්බ්‍රිජ් ගිහින් තියෙන්නෙ බලන්න විතරයි. මේ මා අහපු දේවල්.

 

එමෙන් ම එංගලන්තයෙ පෞද්ගලික නේවාසික පාසල් (Public Schools) වලත් වදයක් තියෙනව කියනව. ඒ යටත්විජිතවල ජනතාව මර්දනය කරන හැටි උගන්වන්න කියලත් කියනවා. ඒ කොයි හැටි වෙතත් ලංකාවෙ විශ්වවිද්‍යාලවල තියෙන්නෙ කේම්බ්‍රිජ් හා පෞද්ගලික පාසල්වල සම්ප්‍රදායෙ එකතුවක් කියල හිතන්න පුළුවන්. ලංකාවෙත් වදයක් තියෙනවා. සල්ලිත් එකතු කෙරනවා. එකල ඇඟ බද්ද කියා සල්ලි එකතු කෙරුණා. අද විප්ලවය සඳහා සල්ලි එකතු කෙරෙනවා. අර පීඨාධිපතිතුමා කියන විධියට නවකවදයට හරි මොහොකට හරි මාස හතරක් ඇතුළත රුපියල් ලක්‍ෂ හත අටක් එකතු කරලා. මට ප්‍රශ්නය තියෙන්නෙ ඒවා ලැබුණෙ කොහොමද කාගෙන් ද කියන එක. ඔය කැට හොල්ලල නම් වෙන්න බැහැ. සිසුන් සල්ලි දුන්න වෙන්නත් බැහැ. ලංකාවෙ පීඨ කොපමණ තියෙනවා ද? මොන තරම් රුපියල් කන්දරාචක් නවක වදකයන් අතට පත්ච වෙනවා ද?

 

නවක වදය අපේ කාලෙ දේශපාලනයක් සමග සම්බන්ධ වුණෙ නැහැ. එකල තිබුණෙ සති කිහිපයකට හරි ලොක්කන් වීමේ මානසිකත්වය. සමහරුන්ට ජීවිත කාලෙට ම ලෙඩේ සුව කර ගන්න බැරි වුණා. ඒත් හැත්තැවෙ දශකයෙ දේශපාලනය නවක වදයටත් රිංගුවා. විශ්වවිද්‍යාලවලට එන බොහෝ සිසුන් දුගී දුප්පත් ගෙවල්වලින් එන්නෙ. ඔවුන් සමහර දෙනකුට කුල ප්‍රශ්නත් තියෙනවා. ඒ සිසුන්ට සමාජ අසාධාරණයක් ඇති බව අමුතුවෙන් කියා දෙන්න ඕන නැහැ. අමුතුවෙන් කියා දෙන දෙය තමයි සමාජ අසාධාරණය නැති කරන්න පුළුවන් බවත් එය තම පක්‍ෂයට පමණක් කළ හැකි දෙයක් බවත්. ඔය සිසුන් බොහොමයක්, අති විශාල බහුතරය විශ්වවිද්‍යාලයට එන්නෙ දැනුම් පිපාසයෙන් නො වෙයි. අලුතෙන් යමක් කියන්න බලන අය අතේ ඇඟිලි ගණනටත් අඩුයි. ඔවුන් එන්නෙ තම දෙමවුපියන් විඳින දුකෙන් ගොඩ ඒම සඳහා උපාධියක් ගන්න.  ඒ සිසුන්ට සමාජ අසාධාරණ නැති කරන තෙල බෙදුව ම රැවටෙනවා.

 

ඒ සිසුන් දන්නෙ නැහැ ඔය තෙල හරියන්නෙ නැහැ කියන බවවත් ඒක මාක්ස්ගෙ වැඩ නොකරණ හිතළුවක් බවවත්. රුසියාවෙවත් චීනයේවත් කියුබාවෙවත් ඇති සමාජවාදයක් නැහැ. ඒත් කවුද ඒ බව පිළිගන්නෙ. තෙල බෙහෙවින් පතල වෙනවා.  ඒ සිසුන් විප්ලවය වෙනුවෙන් පෙළපාලිවලට ගෙන යනවා. එහි දී පොලීසියෙන් පහර දුන්න ම ඔන්න පාලකයන් ප්‍රශ්න විසඳන හැටි කියනවා. අර සිසුන් තමන් ම තෙල බෙදන්න පටන් ගන්නවා. චක්‍රීය චින්තනය නොවුණත් වැඩේ චක්‍රීය ව සිද්ධ වෙනවා.

 

ඒත් නවක වදකයන්ට මුදල් එන්නෙ කොහෙන් ද? ඔය නවක වදකයන් කාල්ටන් ගියෙ මොකට ද? මේ සියල්ල පිටුපස ඇති ඊනියා සිස්ටම් චේන්ජ් කෙරෙන්නෙ කාගෙ වුවමනාවට ද? ඊනියා භූදේශපාලන යථාර්ථයක් ගැන කියන පඬියන් පඬි නැට්ටන් මේ සියල්ල ලංකාවෙ පමණක් සිදු වෙන දෙයක් ලෙස සලකන්නෙ මොන ප්‍රවාදයකට (කතන්දරයකට) අනුව ද? මෙරට ඊනියා විප්ලවය සිංහල බෞද්ධකම නැති කිරීම සඳහා කෙරෙන්නක් පමණයි. ඒක තමයි සිස්ටම් චේන්ජ්. මෙරට සිංහල බෞද්ධකම නැති කරන්න ඕන අය ඒ සඳහා මුදල් එවනවා ඇති. රුපියල් ලක්‍ෂ හත අටක් කියන්නෙ පවුම්වලින් ඒ තරම් මුදලක් නො වෙයි.