History

Friday, 7 October 2022

සාම්ප්‍රදායික කුල හා පාසල් කුල

 

සාම්ප්‍රදායික කුල හා පාසල් කුල

 

මා මේ ලිපි ලියන්නේ මගේ දැනුම (බොරු වුවත්) සඳහා මිස කිසිවකුටවත් ඉගැන්වීමට නොවේ. විශ්වවිද්‍යාලවල ඉන්නේත් ගුරුවරු. මහාචාර්ය කියන පදවිය ප්‍රොෆෙසර් කියන වචනයේ පරිවර්තනය ලෙසයි යෙදෙන්නේ. ප්‍රොෆෙසර් කියන වචනය බිඳී එන්නේ ප්‍රංශ භාෂාවෙන්. එහි තේරුම යම් ක්‍ෂෙත්‍රයක ගුරුවරයා යන්නයි. මා ද කලක් මහාචාර්යවරයකු ව සිටියා.  කැලණිය විශ්වවිද්‍යාලය ගත් වැරදි තීරණයක් පසුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අනුමත කළ බැවිනුයි මා මහාචාර්යවරයකු වුණේ. ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය පසුව මා මහාචාර්ය පුටුවේ (Chair Professor) වාඩිකරන්න සූදානම් වුණා. ඒ කැලණියේ මහාචාර්ය තනතුරකට පත් කිරීමෙන් පසුව. ඒත් මා ජයවර්ධනපුරට ගියේ නැහැ. මේ සියල්ල විස්තරාත්මක ව පසුව ආගිය තොරතුරුවලින්.

 

1967 සිට 2011 දක්වා මා විශ්වවිද්‍යාලවල නොකඩවා නැති වුවත් ගුරු පදවි දරා තියෙනවා. මා පේරාදෙණියේ දී නම් උගන්වන්න උත්සාහ කළා. කොළඹදීත් ටික කලක් යන තුරු ඉගැන්වීමට කටයුතු කළා. ඒත් ඉන්පසුව නම් මා උගන්වා නැහැ. ගුරුවරු වැඩි පුර උගන්වන්නේ වෙනත් අය කියා ඇති දේ. එය පාසලටත් විශ්වවිද්‍යාලයටත් පොදුයි. විශ්වවිද්‍යාලයක නම් ඉඳහිට තමන් සංස්කරණය කළ දැනුමක් උගන්වනවාත් වෙන්න පුළුවන්. දැනුම යම් ක්‍ෂෙත්‍රයක මධ්‍යයේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පරිධියේ වෙන්න පුළුවන්. ලංකාවේ ගම්මුලාදෑනි ක්‍රමය ගැන හැදෑරීම පරිධියේ කරුණු තොරතුරු එකතු කිරීමක්. මධ්‍යයේ දැනුම් සංස්කරණයක් ලංකාවේ කෙරෙන්නේ නැහැ.

 

මේ නොබෙල් වාරයයි. දැනටමත් ක්‍ෂෙත්‍ර ගණනාවක ම 2022 ත්‍යාගලාභීන් නම් කරල. තව තියෙන්නෙ ආර්ථික විද්‍යා හා සාම ත්‍යාග පමණයි. දැනට එක තෑග්ගක්වත් ලංකාවේ හරි පිටරට හරි ඉන්න සිංහලයකුට ලැබිල නැහැ. ආර්ථික විද්‍යාඥයන් මෙතරම් සිටින රටේ කාට හරි මෙවර ආර්ථික විිද්‍යා ත්‍යාගය ලැබෙන්න පුළුවන්. ඒත් මෙතරම් සාහිත්‍යධරයන් විද්‍යාඥයන් වෛද්‍ය විශේෂඥයන් ඉඳලත් කිසිවකුටවත් තෑග්ගක් ලැබුණේ නැහැ. සාම ත්‍යාගය චන්ද්‍රිකාට ලැබෙන්න තිබුණා කියා සමහරු කිවුවා. මෙරට ඇති සාම මණ්ඩලයකට තෑග්ග ලැබෙන්න පුළුවන්. ඒත් ඒ මධ්‍යයේ නව දැනුමක් සඳහා ලැබෙන්නක් නො වෙයි. අද සවස්වන විට සාම ත්‍යාගය ගැන දැනගන්න පුළුවන් වේවි. දහවැනිදාට ආර්ථික විද්‍යා තැග්ග ලැබෙන්නේ මොන විශ්වවිද්‍යාලයට ද මහා බැංකුවටද යන්න දැනගන්න පුළුවන්.   පඬි නැට්ටකු කියන්න බැරි නැහැ නලින් සිල්වාට නොබෙල් තෑග්ග ලොකු වුණාට තමන්ට ලොකු නැහැ කියල. ලොකු වුණත් නැතත් එක් තෑග්ගක් පදක්මකට අමතර ව ඩොලර් මිලියන 1.1ක් පමණ වෙනවා. ආර්ථික විද්‍යාඥයකුට අඩුම තරමින් ඩොලර් අර්බුදයට පොඩියට හරි දායක වෙන්න පුළුවන්.

 

මේ ලිපි ඉගැන්වීම සඳහා නොවෙයි. මා නිරවුල් වීම සඳහායි. කිසිම අවුලක් නැති පඬි නැට්ටන්ට මෙන් නොව මට නිරවුල් වීමට අවශ්‍යයි. කුලය කියන එක ලංකාවේ අඩුම තරමින් සංඝමිත්තා මෙහෙණින් දවස දක්වා දිව යනවා. එහෙත් එකල කුලභේදයක් තිබුණේ නැහැ. බෞද්ධයන් අතර කුලභේදයක් තියෙන්න විධියක් නැහැ. එහෙත් පොළොන්නරු යුගයේ හින්දු බලපෑම් උඩ කුල ක්‍රමයට යම් භේදයක් මුසු වී තියෙනවා. මට තේරෙණ විධියට කුරුණෑගල යුගයේ උම්මග්ග ජාතකය ලියා ඇත්තේ බමුණු කුලයට විරුද්ධව.

 

ලංකාවට ඉතා ඈත අතීතයේ සිට ලෝකයේ විවිධ රටවලින් මිනිසුන් ඇවිත් තියෙනවා. ඇමරිකන් එක්සත් ජනපදය කියන්නෙ සාංක්‍රමණිකයන්ගේ රාජ්‍යයක් කියා ඔවුන් කියනවා. එංගලන්තයටත් යුරෝපයේ විවිධ දේශවලින් සාංක්‍රමණිකයන් ඇවිත් තියෙනවා. ප්‍රංශයෙන් ජර්මනියෙන් ස්කැන්ඩිනේවියානු රටවලින් විවිධ කාලවල විවිධ පුද්ගලයන් එංගලන්තයට ඇවත් තියෙනවා. එංගලන්ත රජ මාළිගාවේ තවමත් ප්‍රංශ නෂ්ඨාවශේෂ තියෙනවා. ඔවුන් ඒ සියල්ලෙන් ඉංගිරිසි (ඇංග්ලිකන්) සංස්කෘතියක් ගොඩ නගාගෙන ලෝකය ම පාලනය කළා. පහළොස්වැනි සියවසේ ඇති වු චින්තන විප්ලවය වර්ධනය වුණේ එංගලන්තයේ. එංගලන්තය පසු කලෙක විදේශවලින් බුද්ධිමතුන් ආකර්ෂණය කර ගත්තා. රදර්ෆර්ඩ්ගේ සිට විට්ගන්ස්ටයින් දක්වා බොහෝ දෙනකු එසේ පිටින් පැමිණි අය, අද ඇමරිකා එක්සත් ජනපදය වඩාත් කාර්යක්‍ෂම ව ඒ කාර්යය කරනවා.

 

එංගලන්තයත් ලංකාවත් කුඩා රටවල්. එංගලන්තය දුපතක කොටසක්. අප රටට පැමිණි අයත් එක් පොදු සංස්කෘතියකට අවශෝෂණය වුණා. ඒ අතර ඔවුන් කුලවලට ද අවශෝෂණය වී තියෙනවා. ඒ ඒ කුල අතර අනුරාධපුර යුගයේ ප්‍රශ්නයක් නොතිබූ නමුත් පොළොන්නරූ යුගයේ සිට ප්‍රශ්න ක්‍රමයෙන් ඇති වෙන්න පටන් අරන්. නුවර යුගය වන විට ප්‍රශ්නය තරමක් පැතිරිලා. ලන්දේසීන් කර ඇත්තේ එය  වර්ධනය කිරීමක්.

 

ලන්දෙිසින් මට තේරෙන විධියට පාසල් ඇති කර තියෙන්නෙත් කුල අනුව. ඔවුන් තම රෙපරමාදු ආගම ප්‍රචාරය කළා මදිවට හින්දු කුල භේදයක් මෙරට වර්ධනය කිරීමටත් කටයුතු කර තියෙනවා. රිච්මන්ඩ් විදුහලේ ඉතිහාසය පිළිබඳ අනගි කෘතියක් සම්පාදනය කළ අභාවප්‍රාප්ත ආනන්ද ඩයස් ජයසිංහ මහතා එකී කෘතියෙහි සඳහන් කරන්නේ මෙරටට පැමිණි මෙතෝදිස්ත මිෂනාරින්ට කුල අනුව පාසල් ඇති කිරීමට මුල දී සිදු වූ බවයි. එය ලන්දේසින්ගෙන් ලැබුණු සම්ප්‍රදායක් වෙන්න ඕන. ගාල්ල ප්‍රදේශයේ එසේ කුල වශයෙන් පවත්වාගෙන ගිය පාසල් පිළිබඳ ව ඒ මහතා සඳහන් කර තියෙනවා.

 

එමෙන් ම රාජකීය විදුහල පිහිටුවීමෙන් පසුව  විවිධ කුලවල සිසුන් පාසලට ඇතුළත් කිරීමට විරුද්ධ ව ඇතැම් දෙමවුපියන් උද්ඝෝෂණ පැවැත් වූ බව ද ජයසිංහ මහතා සඳහන් කරනවා. ඉංගිරිසින් ඒ කුල පාසල් අහෝසි කර ඒ වෙනුවට පාසල් කුල නිර්මාණය කර තියෙනවා. අද රෝයලිස්ට් තෝමියන් ට්‍රිනිටියන් ආනන්දියන් නාලන්දියන් රිච්මන්ඩයිට් මහින්දියන් රාජන් බිෂොපියන් විසාකියන් බ්‍රිජටියන් දේවියන් අදී වශයෙන් කුල ඇති වී තියෙනවා. සාම්ප්‍රදායික කුලවල අය එයා අපේ කෙනෙක් යනුවෙන් කියන පරිදි අද එයා අහවල් යන් හරි ඉස්ට් හරි අයිට් හරි කියන ක්‍රමයක් තියෙනවා.

 

බටහිර රටවල තමන් ඉගෙන ගත්තේ කොහේ ද කියා ඇසුවොත් විශ්වවිද්‍යාලයේ නම කියන නමුත් ලංකාවේ කියන්නේ අහවල් පාසල බව වරක් ලලිත් ඇතුළත්මුදලි කොළඹ විශ්වවිද්‍යාලයට පැමිණි අවස්ථාවක කිවුවා. එයින් ලොකු කතාවක් පාසල් ගැන මෙන් ම විශ්වවිද්‍යාල ගැන ද කියැවෙනවා.  කුල පාසල් ක්‍රමය තිබුණ නම් කරාව දුරාව ආදී බිග් මැච් බලන්න තිබුණා.