History

Sunday, 13 November 2022

රනිල් හා පැස්කුවල්

 රනිල් හා පැස්කුවල්

 

මෙය දේශපාලනඥයන් දෙදෙනකු ගැන සටහනක් නො වෙයි. ඇතැම් විට එහි අදාළ භාවයක්  තියෙන්නත් පුළුවන්. එහෙත් මෙය සංගීත ක්‍ෂෙත්‍රයේ නියුතු වූ පුද්ගලයන් දෙදෙනකු ගැන. සංගීත ක්‍ෂෙත්‍රය කිවුවත් සිංහල සංගීත ක්‍ෂෙත්‍රය. ඔවුන්ගේ වෘත්තීන් කුමක් වුවත් ජීවත්වන රට කුමක් වුවත් ආගම කුමක් වුවත් ඔවුන් සිංහල සංගීත ක්‍ෂෙත්‍රයට සම්බන්ධයි. මට සංගීතය පිළිබඳ මළපොතේ අකුරක්වත් (ස්වරයක්වත්) බැහැ. මා මෙහි කතා කරන්නේ සංගීතය ගැන නො වෙයි.

 

මා සම්බන්ධ උනන්දුවක් දක්වන බොහෝ දෙනා දන්නවා මා දැනට ජීවත්වන්නේ ඇමරිකා එක්සත් ජනපදවල සියැටල් ප්‍රදේශයේ කියා. එහි උච්චාරණය සියාටල් හරි සියෑටල් හරි වෙන්න ඇති. ඒත් අපිට සියැටල්. ග්‍රෙගරි ගිරිගෝරිස් වෙනවා වගේ. පසුගිය දා (එකොළොස්වැනි දා) අල්ලපු රටේ වැන්කුවර් ප්‍රදේශයේ සංගීත සංදර්ශනයක් තිබුණා. අපත් එය නැරඹීමට ගියා. පැය දෙකහාමාරක පමණ ගමනක්. එය ඒ ප්‍රදේශයේ වෙසෙන සිංහලයන් පිරිසක් විසින් සංවිධානය කෙරී තිබුණේ. පළමුවෙන් ම ඔවුන්ට පින් දෙන්න ඕන.

 

සංගීත  සංදර්ශනයට සහභාගි වූයේ රනිල් හා පැස්කුවල්. රනිල් මල්ලවාරච්චි හා කීර්ති පැස්කුවල්. ආරම්භයේ දී ප්‍රශ්නයක් වුණේ නැහැ. විශාල පිරිසක් සහභාගි වී හිටියා. දොරටුපාල දෙදෙනා හැරෙන්න මා හිතන්නෙ අනෙක් සියලු දෙනා ම සිංහල කියා. මා වැරදි වෙන්න පුළුවන්. භික්‍ෂුන් වහන්සේ තෙනමක් ද වැඩම කර සිටියා. ප්‍රශ්නය ඇති වුණේ විරාමයට ටික වෙලාවකට පෙර.

 

රනිල් ගීතයක් අවසානයේ ඊළඟ ගීයට යෑමට පෙර තම පෞද්ගලික අදහස් කිහිපයක් ප්‍රකාශ කළා. ඔහු කියා සිටියේ අප වඳින එකෙන් අපේ කොඳු කැඩෙන බවත් තම දියණිය තමාට නොවැඳීම පිළිබඳ සතුටු වන බවත්. කොඳු කැඩීම යනුවෙන් ඔහු අදහස් කෙළේ ශාරීරික කොඳු කැඩීමක් නොවන බව පැහැදිලියි. ඔහු ඉන්පසු වැඩම කර සිටි භික්‍ෂූන් වහන්සේ ඉලක්ක කර කියා සිටියේ කුමන ආගමක වුවත් වැදගත් වන්නේ ආතල් ගැනීම බවත් තම සංගීත දිවියේ දී තමා සහභාගි වූ සංදර්ශනවල දී මින් පෙර හාමුදුරුවරුන් දැක්කේ ජර්මනියේ පැවැත්වූ සංදර්ශනයක දී පමණක් බවත් හාමුදුුරුවරුන් ද ජීවිතය විඳිය යුතු බවත් ආතල් ගත යුතු බවත්. ඔහුගේ පංතියේ සිටි මිතුරන් තිදෙනකු මහණ වී ඇති බවත් ඒ අයට කතා කළ යුත්තේ මචං කියා ද වෙනත් අයුරකින් ද කියා තමන් නොදන්නා බවත්. මා ඒ කතාවට අසුනේ සිට ම විරුද්ධත්වය පා කීරති පැස්කුවල් හමුවීමට වේදිකාව පිටුපසට ගොස් ඔහුටත් සංවිධායකයන්ටත් මගේ විරෝධය පළ කර සිටියා. මා සංවිධායකයන් දැන ගෙන සිටියේ නැහැ. කීර්ති පැස්කුවල් නම් දැන හිටියා.

 

කීර්ති පැස්කුවල් හා සංවිධායක දෙදෙනා ම තම කණගාටුව පළ කර සමාව අයැද සිටියා. කීර්ති පැස්කුවල් ඉතා නිහතමානීච වේදිකාවට ගොස් යම් සිත්තැවුලක් වී නම් ප්‍රේක්‍ෂකයන්ගෙන් සමාව අයැද සිටියා. රනිල් තරමක් වෙනස් අයුරින් සමාව ගැනීම හෑල්ලුවට ලක් කර තමා සමාව ගන්නා බවත් එහෙත් කිවුවේ ඇත්ත බවත් කියා හිටියා. ඒ සමග ම මෙන් විරාමය දුන් බැවින් මා වේදිකාව පිටුපසට නැවත ගොස් රනිල් මල්ලවාරච්චිට මගේ විරෝධය පළ කර සිටියා. මා ඔහුට කියා සිටියේ කුඩා කල සිට මා දෙමවුපියන්ට හාමුදරුවරුන්ට වඳින නමුත් මගේ කොන්දට කිසිම ප්‍රශ්නයක් වී නැති බවත් මා ලංකාවේ හොඳ කෙලින් කොන්දක් ඇති පුද්ගලයකු බවත්. සපුමල්ලා නාමලකුට වැඳීමක් ගෑන ව්‍යාජ  ඡයාරුපයක් හදා ඇති නමුත් එහි බැනියමේ අත්වල බොත්තම් පියවා ඇත්තේ සපුමල්ලා පියවන ආකාරයෙන් මිස මා පියවන ආකාරයෙන් නො වෙයි. මගේ කොන්ද ගැන යමකුට ප්‍රශ්න ඇත්නම් සිසුවකු ලෙස මා රාජකීය විදුහලේ ක්‍රියා කර ඇති ආකාරයත් ඉන්පසු විශ්වවිද්‍යාලවල ක්‍රියා කර ඇති ආකාරයත් ජී එල් පීරිස්ගෙන් හා තවත් අයගෙන් දැන ගන්න පුළුවන්. මගේ විරෝධය පෑමෙන් පසු අප දෙවැනි අඩට නොසිට ආපසු සියැටල් ආවා.

 

කීර්ති පැස්කුවල්ට මගේ ප්‍රණාමය පිරිනමන්න ඕන. රනිල් මල්ලවාරච්චි ගැන මගේ ඇත්තේ කණගාටුවක් හා අනුකම්පාවක්. සමහර විට ඔහු බෞද්ධ සංස්කෘතිය නොදන්නවා වෙන්න පුළුවන්. යමකුගේ පුතකු පැවිදී වීමෙන් පසු බුද්ධපුත්‍රයකු වනවා මිස වෙනත් පුතකු හරි මචං කෙනකු හරි වෙන්නේ නැහැ. හාමුදුරුවරුන් ආතල් ගන්නේ නැහැ. හාමුදුරුවරුන් සංගීතයට සවන් දුන්නත් එහි ඇලෙන්නේ නැහැ. බුදහාමුදුරුවන් පංචශිඛගේ වාදනයට සවන් දී ඇති නමුත් එහි ඇලුනේ නැහැ.

 

මෙහි වරද රනිල් පිට පැටවීමට මා සූදානම් නැහැ. මා ඔහුට මගේ විරෝධය පළ කළා. එහෙත්  ඔහු සමාජ ක්‍රියදාමයක ඉත්තකු පමණයි. අද රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය හෙළා දැකීමට එයට අපහාස උපහාස කිරීමට එය නැති කිරීමට සංවිධානාත්මක ක්‍රියා දාමයක් පවතිනවා. පසුගිය දා ආතල්ගම දී පැවැත්වුණු පරගලය ද ඉන් එකක් පමණයි. මිල්ටන් මල්ලවාරච්චි බෞද්ධ ගීත ගයා ඇත්තේ දෙකක් පමණක් යැයි පැවසු රනිල් ඉන් එක ගීයක කොටසක් සංගීතය නැතිව ගායනා කළා.

 

එහෙත් අප දන්නා වෙනත් කරුණු තිබෙනවා. නන්දා මාලිනීගේ ගීත සජ්ඣායනාවක් ගැන කියා තව ම වැඩි කාලයක් නැහැ. සජ්ඣායනා යන්න බෞද්ධ සමාජයේ පිරිත් සඳහා වෙන් වූ වචනයක්. අමරදේව කතෝලික පිලිපීනයෙන් පිරිනැමෙන මැග්සේසේ ත්‍යාගය පිළිගත් කාලයේ මහ සඟ ගණ කර ඇත්තේ කුමක් ද කියා ප්‍රශ්න කළා. මා ඒ ඒ අවස්ථාවල මගේ විරෝධය පෑවා.ඔවුන් දක්‍ෂයන් වෙන්න ඇති. බෞද්ධ යැයි කියන ගීත අපමණ ගයා ඇති. එහෙත් ඒ සවිඥානික ව අද කියන විධියට වෙළෙඳපොල බලා ගැයූ ගිත ද?

 

කාලයක් තිස්සේ අප ජීවත්වන්නේ බටහිර දැනුම් ආධිපත්‍යයක් ඇති රටක. බටහිර සංගීතයත් නිකම් තියෙන්නේ නැහැ. උත්තර භාරතීය සංගීතය අපට බලපාන්නේ බලපා ඇත්තේ ආධිපත්‍යයිකව. අද ක්‍රමයෙන් බටහිර සංගීතය එතැනට පත්වෙමින් තියෙනවා. මකුලොළුව, සී ද එස් කුලතිලක, රන්වල, බැද්දගේ සම්ප්‍රදායක් ගොඩ නගන එක පහසු නැහැ. මා කලින් කීවක් මෙන් සංගීතය දන්නේ නැහැ. ඒත් මා ටිකක් දන්න බටහිර විද්‍යාවේ ආධිපත්‍යය ගැන මා හොඳීන් දන්නවා. එපා පුතේ ඒ කතා අහන්න කියන ඇදුරන් තමන් හරියට දන්නෙ නැති බටහිර කතා කියනවා. අපේ කතා මිථ්‍යාලු. ගුරුත්වාකර්ෂණ බලය තරම් බොරුවක් මා අහලා නැහැ. අද මෙරට උගතුන්ගෙන් අති විශාල බහුතරය බටහිර දැනුමට යටයි. ඒ ආධිපත්‍යය පිළිගන්නවා. මට කොන්දක් තියෙනවා ඒ නොපිළිගැනීමට. ගුණදාස අමරසේකරත් ඒ ආධිපත්‍යය පිළිගන්නවා. මෙරට උගතුන් බුද්ධිමතුන් කලාකරුවන් සංගීතඥයන්  සාහිත්‍යධරයන් සරසවි ඇදුරන් අති විශාල බහුතරය මට කැමති නැහැ. රනිල් මට අකමැති වේවි. කවුරු අකමැති වුණත් මට කොන්දක් තියෙනවා. ඒක මට ලැබුණේ දෙමවුපියන්ට හා හාමුදුරුවරුන්ට වැඳීමෙන්.