History

Monday, 14 November 2022

කුල්ටො හා හරාලා

 කුල්ටො හා හරාලා

 

බටහිර අධ්‍යාපනය විසින් කෙරුණූ ප්‍රධාන දෙයක් වුණෙ බටහිර විද්‍යාව හා තාක්‍ෂණය අනෙක් දැනුම්වලින් වෙන් කිරීම. මෙරට බටහිර තාක්‍ෂණය හා විිද්‍යාව හඳුන්වා දීමට පෙර බටහිර අනෙක් දැනුම් භික්‍ෂූන් වහන්සේටත් විවෘත වුණා. බටහිර දර්ශනය හා ආගම් හැදෑරීම භික්‍ෂූන් වහන්සේට අපහසුවක් වුණේ නැහැ. පංච මහා වාද ඇති වුණේ බටහිර අනෙක් දැනුම් ද හැදෑරූ භික්‍ෂූන් වහන්සේගේ නායකත්වයෙන්.

 

එහෙත් දහනවවැනි සියවසේ අග දශක දෙකක පමණ කාලයෙහි මේ තත්වය වෙනස් වුණා. එක් පැත්තකින් ඕල්කට්තුමා භික්‍ෂූන් වහන්සේගේ නායකත්වය නැති කිරීමට කටයුතු කළා. අනෙක් පැත්තෙන් ඉංගිරිසින් මෙරට වෛද්‍ය විද්‍යාලයක්, නීති විද්‍යාලයක් හා කාර්මික විද්‍යාලයක් ඇති කළා. එහෙත් ඉංගිරිසින් මෙරට විශ්වවිද්‍යාලයක් ඇති කෙළේ නැහැ. ඒ ඉන්දියාවේ පමණක් නොව බුරුමයේ (මියන්මාරයේ) ද විශ්වවිද්‍යාල ඇති කර තිබිය දී.

 

අපේ ථෙරවාද සම්ප්‍රදායේ බුද්ධිමය සාකච්ඡා තිබුණු නමුත් (පොළොන්නරු යුගයේත් කෝට්ටෙ යුගයේත් එවැනි සාකචඡා තිබී තියෙනවා) නිර්මාණශීලිත්වයට එතරම් තැනක් ලැබුණේ නැහැ. නුවර යුගය වන විට බුද්ධිමය සාකච්ඡා ද විරල වී ඇති බව පැහැදිලියි. බුදුදහමෙහි නිර්මාණශීලීත්වයක් ඇත්තේ මහායානයෙහි බව පිළිගන්න වෙනවා. අප ඒ මත සමග එකඟ නූණත් ඒ බ්‍රාහ්මණ සම්ප්‍රදාය බුදු සසුනෙහි ක්‍රියාත්මක වීමක්. අප බෞද්ධ දාර්ශනිකයන් දකින්නේ මහායානයෙහි. අපට ථෙරවාදයෙහි දාර්ශනිකයන් හමුවන්නේ නැහැ.

 

එයට හේතුව කුමක් ද කියා හරිහැටි පැහැදිලි නැහැ. ථෙරවාදය නිර්මල බුදුදහම ලෙස සැලකීම ද එසේත් නැත්නම් පස්වැනි සියවසෙන් පසු මහායානිකයන් සමග වූ සංවාද නැති වීම ද, අභයගිරිය යටපත් වීම ද, වෙනත් කරුණක් ද යන්න කියන්න බැහැ. හෙළටුවා පුච්චා දැමීමෙන් බලාපොරොත්තු වූයේ කුමක් ද? අප ආන්ද්‍ර ථෙරවාදයට යටවුණා ද? ආන්ද්‍ර ථෙරවාදීන්ට දෙවැනි තුන්වැනි සියවස්වල නාගර්ජුනපාදයන්ට අභියෝග කිරීමට නොහැකි වූ නිසා තුන්වැනි සියවසේ පමණ සිට මුහුදෙන් එතෙර ලංකාවේ ආන්ද්‍ර ථෙරවාදයක් තහවුරු කිරීමට කටයුතු කළා ද ආදිය ගැන නිශ්චිත පිළිතුරක් දීම අපහසුයි. බුරුමයට ද තුන්වැනි සියවසෙන් පමණ පසු ආන්ද්‍ර ථෙරවාදය ලැබී තියෙනවා.

 

ඒ කුමක් වුණත් අදත් නිවීමෙන් පසු සිදුවන්නේ කුමක් ද ආදී දේ ගැන සාකච්ඡාවක් ථෙරවාදයේ ඇති වෙන්නේ නැහැ.ශුන්‍යතාව වැනි ගුඩු දහම්වලට තැනක් නැති වුණත් නිවීම පිළිබඳ කිවයුතු දේ හරියට කියවිල නැහැ. එයට හේතුව භාරතයේ විඥානවාදයට බුදුදහම යටවීමත්  ඉන්පසු බුදුදහම එහි නැති වීමත් අප බුදුහාමුදුරුවන් දෙසු දේ නොදැනීමත්. පහන් සිළුව නිවී යෑමෙන් පසු ඒ යන තැනක් නැහැ. ඉතිරි වෙන දෙයක් නැහැ. ශූන්‍යතාව කියන්නේ අවසාන විග්‍රහයේ දී යමක් තිබී නැතිවීම. කිසිවක් නොතිබිණි නම් නැති වන්නට දෙයක්, විඥානයක් මනසක් නැහැ.

 

ඒ කෙසේ නමුත් බටහිර තාක්‍ෂණය ඉගැන්වීමත් භික්‍ෂූන් වහන්සේ ඉන් ඉවත්වීමත් භික්‍ෂූන් වහන්සේගේ නායකත්වය නැති වීමත් ගිහියන් අධ්‍යාපනය අතට ගැනීමත් ආදිය සමග මෙරට අධ්‍යාපනය කොටස් දෙකකට කැඩුණා. එක් කොටසක පැරණි සාම්ප්‍රදායික ප්‍රශ්න නොකරන බෞද්ධ දැනුමක් ද අනෙක් කොටසෙහි බටහිර දැනුම ද ගොණු වුණා. පැරණි දැනුමට සිංහල පාලි සංස්කෘත ආදී භාෂා ද බුදුදහමද අයත් වුණා. ඒ සියල්ල ද 1921 ඇති කරන ලද විශ්වවිද්‍යාල ආයතනයේ බටහිර අච්චුවේ ඉගැන්නුවා. බටහිර දැනුමට බටහිර විිද්‍යාව හා තාක්‍ෂණය පමණක් නොව ආර්ථික විද්‍යාව සමාජ විද්‍යාව වැනි විෂය ද අයත් වුණා.

 

ජී සී මැන්දිස් ඉතිහාසය ඉගැන්නුවෙත් බටහිර අච්චුවේ. එයට විචාරශීලි කියා නමක් දා ගන්න පුළුවන්. එහෙත් ඒ විචාරශීලිත්වය බටහිර විචාරශිලිත්වයක්. අප අපේ දැනුම ප්‍රශ්න නොකළ නිසා බටහිර විචාරයට තැනක් ලැබුණා. අප මහාවංසය විචාරයට ලක් කරන්න ඕන. විජයට පෙර මෙරට සිටියේ අමනුෂ්‍යයන් වගේ කතාවලින් පාඩු වන්නේ සිංහලයන්ටමයි. බටහිරයන්ට වැදි ජනයා ඊනියා ආදිවාසීන් ලෙස නම් කරන්න පුළුවන් වෙලා තියෙන්නෙ අප අපේ ඉතිහාසය විජයට ලියා දී ඇති බැවින්.

 

මේ ප්‍රශ්න මෙහි දී සාකච්ඡා කිරීමට මා බලාපොරොත්තු වන්නේ නැහැ. එහෙත් දැනුමේ බෙදීම බටහිර හා සාම්ප්‍රදායික ලෙස හරි බටහිර හා පෙරදිග හරි ලෙස බෙදීම විශ්වවිද්‍යාල ආයතනයේ දී කුල්ටූර් හරමානිස් ලෙස නම් කෙරුණා. එකල තිබූ පෙරදිග අධ්‍යයන පිළිබඳ පීඨයේ උගත්තේ හරමානිස්ලා. ශාස්ත්‍ර පීඨයෙහි හා විද්‍යා පීඨයෙහි උගත්තේ කුල්ටූර් අය. නැත්නම් සංස්කෘතික අය. එයින් පැහැදිලි වුණේ කුල්ටූර් අයට හෙවත් කුල්ටන්ට සංස්කෘතියක් තිබූ බවත් අනෙක් අයට සංස්කෘතියක් නොතිබූ බවත්. හරමානිස්ලාට නැත්නම් හරාලාට සංස්කෘතියක් නැහැ. හරමානිස් කියන එක ආපසු හැරී බලන විට ලන්දේසි නමක්. එයිනුත් යමක් කියැවෙනවා. සාම්ප්‍රදායික දැනුමත් ඉගැන්නුවෙ බටහිර අච්චුවෙ.

 

අප ජී සී මැන්දිස්ට යට වුණෙ අපට අපේ ම විචාරශීලි බුද්ධිමය සම්ප්‍රදායක් තිබුණෙ නැති නිසා. බටහිරයන් තම දැනුම ඇතුළතින් විචාරයට ලක් කළා. එහෙත් විසිවැනි සියවසේ මුල සිට මෙරට අපේ දැනුම විචාරයට ලක් කෙරුණෙ කෙරෙන්නෙ පිටින්. අපට මහාවංසය දෙස බලන්න වෙන ම විචාරයක් තියෙන්න ඕන. ඒක හදාගන්න එක ප්‍රශ්නයක් නො වෙයි. සාහිත්‍යය කලාව ආදිය සම්බන්ධයෙනුත් එය පොදුයි. අප නවකතා කෙටිකතා පමණක් නොව කවිත් ඒ සමග විචාරයත් අනුකරණය කළා පමණයි. අපේ සම්ප්‍රදායෙ කවි කාටත් ඇහෙන්න කිවුවා. කවි කියවන (reading poetry) සම්ප්‍රදායක් අපට තිබුණෙ නැහැ. ප්‍රශ්නය තිබුණෙ ඊනියා නිසඳැසේ නො වෙයි. සඳැස් කවිත් අපි ලිවුවෙ කියවන්න මිස කියන්න නො වෙයි. දැන් ගේහ පද රචනය කියා දෙයක් අමුතුවෙන් වගේ ඉංගිරිසියෙන් අරගෙන  තියෙන්නෙ කවි කියවන නිසා. අපේ කවි ගයන්න පුළුවන්.