History

Friday, 18 November 2022

බටහිර විද්‍යාව හා භික්‍ෂූ අධ්‍යාපනය

 

බටහිර විද්‍යාව හා භික්‍ෂූ අධ්‍යාපනය

 

ඊශ්වර දෙවියන් ගැන තවත් වැදගත් කරුණක් කියන්න තියෙනවා. මෙරට ඊශ්වර දෙවියන් සඳහා වූ දේවාල කිහිපයක් තියෙනවා. මුන්නේශ්වරම් දේවාලය ද ඉන් එකක්. මා දෙමළ නිරුක්තිය දන්නේ නැහැ. ඒත් මුන්නේශ්වරම් හා ඉසුරුමුණි අතර කිසියම් සාම්‍යයක් ඇතැයි සිතනවා. මුන්නේශ්වරම් එලෙස හඳුන්වනු ලැබීමට පෙර එය කෙසේ හැඳින්විණි ද? අප බොහෝ කලකට පෙර ඊශ්වර දෙවියන් ද ඇදහූ අය වෙන්න ඕන. ඊශ්වර දෙවියන්ට යක්‍ෂ ජනතාව කීවේ කුමක් ද? මා අප කියන්නේ විජයට පෙර මෙරට වාසය කළ අයටත් එක්ක. මෙහි දී මට මතක් වෙනවා දේවාල සම්බන්ධයෙන් කටයුතු කරන එක් තැනැත්තකු මට කී කතාවක්. ඔහු කිවුවේ අවුරුදු පතා එක් කාලයකට ඉන්දියාවෙන් ඇතැමුන් පැමිණ දැදුරු ඔයේ නා ආපසු යන බව. දැදුරු ඔය හා සම්බන්ධ අතීතය හදාරන්න පුළුවන් නම් හොඳයි. ඉසුරුමුණියයි මුන්නේශ්වරමයි මේ සියල්ල මෙරට කාගේත් උරුමයයි.

 

අපි නැවතත් පරගලයේ දරුවා රනිල් බලයට පත්වීමේ පසුබිම කතා කරමු.  මෑත කාලයේ අධ්‍යාපනය වෙනස් වී ඇත්තේ භික්‍ෂූන් වහන්සේ පැත්තකට කර දැමීමේ අදිටනින්.  පෙරදිග දැනුම හා බටහිර දැනුම අතර විශාල වෙනසක් තියෙනවා. එහෙත් ඒ දෙක ම ගැන යම්  අවබෝධයක් ලබා ගැනීමට යම් පිරිසකට හැකි විය යුතුයි. පෙරදිග වුණත් බුදුදහම අනෙක් දැනුම් පද්ධතීන්ට වඩා වෙනස්. බුදුදහම කියන්නේ අවසානයේ දී දැනුමත් අත්හරින්න. අද පිරිවෙණෙත් බුදුදහමත් පෙරදිග දැනුමුත් උගන්චන්නෙ බටහිර ආකෘතියෙහි.

 

බටහිර විද්‍යාව සමජාතීය එකක් නො වෙයි. එහි විවිධ අදහස් දරණ අය ඉන්නවා. එහෙත් ඔවුන් ක්‍රියා කරන්නේ එක ම ආකෘතියක. එහි ප්‍රධාන ධාරාව ඒ විවිධ අදහස් බැහැර කරන්න දන්නවා. අවුරුදු පනහකටත් එහා පැත්තෙ කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ ෆ්‍රෙඩ් හොයිල් මහා පිපුරුමට විරුද්ධ ව කතාවක් ගෙතුවා. එය හැඳින්වුණෙ සතත අවස්ථා විශ්වය () කියා. එහෙත් එය පිළිගැණුනේ නැහැ. ඔහුට නොබෙල් තෑග්ග හිමි වු ණෙ නැහැ. ඉන් පසුව ද පෙන්රෝස් වැනි අය මහා පිපිරුම පිළිගත්තේ නැහැ. ඔහු එක්තරා ආකාරයකට විශ්වය නැවත නැවත ඇතිවන බව ප්‍රකාශ කරනවා. එහෙත් ඒ මත ප්‍රධාන ධාරාවේ පිළිහැනෙන්නේ නැහැ. ඔහුට 2020 නොබෙල් තැග්ග ලැබුණේ හැටගණන්වල සාධනය කළ සාධාරණ සාපේක්‍ෂතාවාදයේ අපූර්වතා (singularities) ප්‍රමේය සම්බන්ධයෙන්.  ඔහුට හින්දු බෞද්ධ මත බලපා ඇති නමුත් ඔහු යථාර්ථය පිළිගන්නවා. ඔහු යථාර්ථයට මග (The Road to Reality) නමින් පොතක් ද පළ කර තියෙනවා.

 

බටහිර විද්‍යාවේ බෝර් බොම් ෂ්‍රොඩිංගර් වැනි අයටත් පෙරදිග දැනුම් බලපා තියෙනවා. එහෙත් ඔවුන් වැඩ කරන ආකෘතියක් තියෙනවා. ඔවුන් උත්සාහ කරන්නේ ඊනියා යථාර්ථය සොයා ගැනීමට. එය බුදුදහම සමග ගැලපෙන්නේ නැහැ. බටහිර විද්‍යාව ගැන නිවුටන් සඳහන් කෙළේ තමන්ට අවශ්‍ය දෙවියන් වහන්සේ ලෝකය මවා ඇත්තේ කෙසේදැයි තේරුම් ගැනීමට කියා. අද බටහිර විද්‍යාඥයන් දෙවියන් වහන්සේ ගැන නොකියනවා ඇති. එහෙත් ඔවුන් යථාර්ථයක් ගැන කියමින් ඒ සොයා යනවා. බටහිර විද්‍යාව දර්ශනය සමග ගැට ගැහිලා. විද්‍යාවේ දර්ශනය (Philosophy of Science) නමින් වෙන ම ක්‍ෂෙත්‍රයක් තියෙනවා. පෙන්රෝස් පමණක් නොව අයින්ස්ටයින් බෝර් බෝම් ආදීන් ද විද්‍යාවේ දාර්ශනිකයන්. ඔවුන් අමතක කළත් කුන් ෆෙයරාබන්ඩ් ආදීන් ද විද්‍යාවේ දාර්ශනිකයන්. මේ බොහෝ දෙනා භෞතික විද්‍යාව හැදෑරු අය ද වීම නම් අහඹුවක් නො වෙයි.    

 

වෙනස්කම් තිබියදීත් අපට බටහිර විද්‍යාව ඉගෙන ගන්න පුළුවන්. අපට බටහිර විද්‍යාඥයන් වීමට හැකි ද යන්න වෙන ම ප්‍රශ්නයක්. අප බටහිර දැනුමේ ආධිපත්‍යය ප්‍රතික්‍ෂෙප කළත් එය ඉගෙන නොගෙන ඉන්නේ නැහැ. මා හිතන්නේ බටහිර විද්‍යාව  හාමුදුරුවරුන්ටත් ඉගැන්විය යුතුය කියා. ඉන් අදහස් කරන්නේ සියලු භික්‍ෂූන් වහන්සේට බටහිර විද්‍යාව  අනිවාර්ය කළ යුතු බව නො වෙයි. වියුක්තය යම් පමණකට දැන ගැනීමට හැකි භික්‍ෂූන් වහන්සේට ඒ ඉගෙනීමට අවස්ථාව සලසා දිය යුතුයි. පාසල්වල විද්‍යාව හැදෑරීමට පහසුකම් තිබියදීත් ඇතැමුන් ඒ හදාරන්නේ නැහැ. ඒ බොහෝ විට වියුක්තය බැරිකම නිසා. ඔවුන්ට ඒ නිසා ම ඇති වන හීනමානයක් ද තියෙනවා. ඒ හීනමානය ඇතිවන්නේත් බටහිර විද්‍යාව ප්‍රමුඛ බටහිර දැනුමේ ආධිපත්‍යය නිසා.   

 

පේරාදෙණියෙත් කොළඹත් මා ශාස්ත්‍ර පීඨ සිසුන්ට ගණිතය පිළිබඳ දේශන පවත්වා තියෙනවා. පේරාදෙණියේ දී ශාස්ත්‍ර පීඨ සිසුන් සඳහා උපාධි විෂයයක් ලෙස උපබද්ධ ගණිතය නමින් විෂයයක් හඳුන්වා දීමට හැකි වුණා. මා හිතන්නේ නැහැ එවැනි පාඨමාලාවක් ඇමරිකාවේ සෝවියට් දේශයේ හැර වෙනත් විශ්වවිද්‍යාලයක තිබුණා ය කියා.  තියෙන්න පුළුවන් ඒ රටවල  නිසයි මා එසේ කිවුවෙ. අප උපබද්ධ ගණිතය විෂය සාමාන්‍ය පෙළෙන් පසු ගණිතය හදාරා නොතිබූ සිසුන්ටත් විවෘත කළා. ඔවුන් ඒ සඳහා සුදානමක් ලෙස පළමු අවුරුද්දේ මූලික ගණිතය නම් පාඨමාලාව හදාරා තිබීම පමණක් අනිවාර්ය වුණා.

 

එය සාරථක වුණා. හාමුදුරුවරුන් කිහිප නමක් ද උපබද්ධ ගණිතය විෂයයක් ලෙස හදාරා උපාධිය ලබා ගත්තා. එක් හාමුදුරුනමක් අධ්‍යාපන අමාත්‍යාංශයේ ගණිතය ඉගැන්වීම පිළිබඳ අධ්‍යක්‍ෂ පදවියක් ද දැරුවා. එහෙත් මා පේරාදෙණියෙන් අස් වී නැවත සේවයට ඉල්ලුම් කළ අවසථාවේ මා බඳවා ගත්තේ නැහැ. පාඨමාලාව ද ඉවත් කෙරුණා. මට මතකයි ඒ උපාධිධාරීන්ට ගුරු පත්වීම් ලබා දීමට මා අධ්‍යනාංශ ප්‍රධානි මහාචාර්ය කනගසබාපති සමග කිහිප වරක් කොළඹ පැමිණ එකල අධ්‍යාපන ලේකම් මහාචාර්ය උඩුගම හමුවීම.

 

මා හිතනවා හාමුදුරූවරුන්ට පෙරදිග දැනුම ලබා ගන්නා අතර බටහිර විද්‍යාව හා ගණිතය ද  හදාරන්න  අවස්ථා සැපයිය යුතු ය කියා. අද ඇතැම් හාමුදුරුවරු ආර්ථික විද්‍යාව හදාරනවා. එහි වරදක් නැහැ. එහෙත් පළමුව ධර්මය හා පෙරදිග දෑනුම් හදාරන්න ඕන. හාමුදුරුවරුන් ගිහියන්ට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කර තියෙන්නෙ. කණගාටුවට කරුණ නම් අද ඒ එකක්වත් නොකෙරීමයි. මේ අධ්‍යාපනය විසින් හාමුදුරුවරුන් ගිහියන්ට දෙවැනි කර තියෙනවා. අද කිසිවකු ආර්ථික අර්බුදයට විසඳුමක් හාමුදුරුනමකින් බලාපොරොත්තු වෙනවා ද? ගිහියන්ට විසඳුම් තියෙනවට නො වෙයි.