History

Saturday, 10 December 2022

ඉන්දියාවේ හා ලෝකයේ ජාතිකත්ව

 ඉන්දියාවේ හා ලෝකයේ ජාතිකත්ව

 

ඉන්දියාවේ ගුජරාට් හා හිමාචල් ප්‍රාන්තවල පැවති මැතිවරණවලින් භාරතීය ජනතා පක්‍ෂයට වැඩි වාසි ලැබිලා. හිමාචල් ප්‍රදේශයේ තමයි ඵකුර්ලා වැඩිය ඉන්නෙ. එහි මැතිවරණ ව්‍යාපාරයට ඉන්දිය ඇමතිවරයකු වූ අනුරාග් ඨකුර් (අපේ දුර නෑයකු වෙන්න ඇති)  භාරතීය ජනතා පක්‍ෂය වෙනුවෙන් සහභාගි වුණා. එහෙත් පක්‍ෂය එහි පැරදුණා. දිනුවේ කොංග්‍රස් පක්‍ෂය. ගුජරාටි ප්‍රදේශයේ ජයග්‍රහණය කෙළේ භාරතීය ජනතා පක්‍ෂයයි. ඔවුන් ඉතා වැඩි ආසන සංඛ්‍යාවක් එහි දී ලබා ගත්තා. ගුජරාටිය අගමැති මෝදිගේ ප්‍රදේශයයි. මෝදි භාරතීය ජනතා පක්‍ෂයේ නායකයා. අවුරුදු විසිහතක් තිස්සේ ගුජරාටිය පාලනය කරන භාරතීය ජනතා පක්‍ෂයට තවත් අවුරුදු පහක් ලැබී තියෙනවා.

 

මැතිවරණයකින් දෙකකින් සාධාරණ (පොදු යන අර්ථයකින් - general)  නිගමනවලට එන්න බැහැ. එහෙත් බටහිර නොවන ලෝකය දෙස බැලූ විට පෙනෙන දෙයක් තියෙනවා. තමයි රටවල ජාතිකත්ව පක්‍ෂවලට හා ජාතිකත්වයට වැදගත්කමක් හිමි වීම. වසර හයකට පෙර මගේ ලෝකයට තිස්වසරක් පිරීම නිමිත්තෙන් චින්තන පර්ෂදය සංවිධානය කළ රැස්වීමේ දී (වෙන කවුරු සංවිධානය කරන්න ) මා සඳහන් කළා ලෝකයේ ජාතිකත්ව නායකයන් පස් දෙනකු ගැන. ඉන් අද නායකත්වයේ ඉතිරී වී ඇත්තේ මෝදි හා පුටින් පමණයි. රැස්විම පැවැත්වුයේ ට්‍රම්ප් ජයග්‍රහණය කර ඇති බව ප්‍රකාශ වූ දිනයේ. එදින මා සඳහන් කළ එමෙන් වේදිකාවේ සිටි මහින්දත් අද පරාජය වෙලා.

 

මහින්දගේ පරාජය අපට දැන් ඉතා පැහැදිලියි. බටහිරයන් ඉතා සැලසුම් සහගත ලංකා වසන්තය උදා කරමින් යම් ජාතිකත්ව ආණ්ඩුවක් ඉවත් කිරීම. එහෙත් ඉන්දියාවේ එසේ කිරීම පහසු වන්නේ නැහැ. චීනයේ හරි රුසියාවේ හරිත් පහසු නැහැ. අද චීන නායකයා සෞදි අරාබියට ගිහින්. සෞදිය ජාතිකත්වය දෙසට හැරෙමින් පවතිනවා. යුක්‍රේනයේත් සිදුවන්නේ ජාතිකත්වයට (නැගෙනහිර ඔතෝඩොක්ස් සභ්‍යත්වයේ) එරෙහි බටහිර ක්‍රිස්තියානි නූතනත්වය කරන සටනක්. එහි ප්‍රතිඵල (අර්බුදය) මුළු මහත් ලෝකයට දැනටමත් දැනෙන්න පටන් අරන්. සෞදි අරාබිය ඥානසාර හිමියන්ටත් කරන ලද ආරාධනයක් අනුව උන්වහන්සේ පසුගිය දා එහි වැඩම කළා.

 

අද ඇත්තේ අලුත් යුගයක ආරම්භයක්. ජාතිකත්ව රාජ්‍ය ලොවේ ක්‍රමයෙන් (අඩු වේගයකින් නමුත්) තහවුරු වෙමින් පවතිනවා. මේ අර යුරෝපයේ ඇති වූ පැරණි ජාතික රාජ්‍ය නො වෙයි. ජාතිකත්ව රාජ්‍යය කියන එක ඊනියා දේශපාලන විද්‍යාවට අලුත් සංකල්පයක් වෙන්න පුළුවන්. මෝදි භාරතයේ ජාතිකත්ව රාජ්‍යයක ආරම්භකයා. මෙයින් කියන්නේ ඉන්දියාවේ ජාතිකත්ව රාජ්‍යය තහවුරු වී ඇති බව නො වෙයි. එහෙත් මෝදිගේ පක්‍ෂයේ නමත් භාරතීය ජනතා පක්‍ෂය වීම වැදගත්. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට නම දීමට ක්‍රියා කළ එච් එස් එස් නිස්සංක මහතා කුමක් කල්පනා කළා කියා මා දන්නේ නැහැ. එහෙත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මෙරට ඇති වූ පළමු ජාතිකත්ව පක්‍ෂයයි. එය අද මරා දමා තිබීම වෙනත් කරුණක්. මා හිතන්නේ නැහැ භාරතීය ජනතා පක්‍ෂය මරා දැමීමට හැකි වේය කියා.

 

ඉන්දියාවේ රුසියාවේ හා චීනයේ අද ඇත්තේ ජාතිකත්ව ආණ්ඩු. ලෝකයේ බලවත් රාජ්‍ය තුනක්. ඉන් චීනය හා රුසියාව ජාතිකත්ව රාජ්‍ය. රාජ්‍ය ඊනියා සමාජවාදී රාජ්‍යවත් සමාජ ප්‍රජාතන්ත්‍රවදී (social democratic) රාජ්‍යවත් නො වෙයි. ලෝකයේ සිදු වී ඇති මේ පෙරළිය ගැන එතරම් අවබෝධයක් නැහැ. අද ලෝකයේ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යය පවත්වාගෙන යනු ලබන්නේ පෙර මෙන් කොන්සර්වෙටිව් ලිබරල් පක්‍ෂ විසින් නො වෙයි. මා හිතන්නේ ඊනියා දෙවැනි ලෝක යුද්ධයෙන් පසු මේ පෙරළිය සිදු වීම ආරම්භ වුණා කියා.

 

එක් අතකින් ගත්තොත් ශ්‍රි ලංකා නිදහස් පක්‍ෂය ලෝකයේ පළමුවෙන් මෙන් ඇති වූ ජාතිකත්ව පක්‍ෂයක්. එහෙත් එහි අඩුපාඩුවක් තිබුණා. එයට සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිපත්තිත් ඇතුළත් තිබුණා. පනස්හයේ දරුවන්ගේ අඩුවක් තිබුණා. අවුරුදු තිස්තුනකට පෙර මා පනස්හයේ දරුවන් ගැන කියද්දී මේ අඩුව නොකියන්න ඇති. අප තේරුම් ගත යුතු කරුණ නම් සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වත්මන් ලෝකයේ බටහිර ක්‍රිස්තියානි නූතනත්ව ආධිපත්‍යයේ නියෝජිතයා බවයි. අද ලෝකයේ ජාතිකත්වයට එරෙහිව ඇත්තේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී අදහස්. ලංකාවේ නම් සමාජ ප්‍රජාතන්ත්‍රවාදයත් ලිබරල් වාදයත් ජාතිකත්වයට එරෙහි අත්වැල් බැඳගෙන වැඩ කරනවා.

 

අද ප්‍රශ්නය වී ඇත්තේ ලිබරලුන්ට හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ට තිබූ ජාතික රාජ්‍ය සමග එක් සභ්‍යත්වයක පක්‍ෂ ලෙස එකතු වීමට තිබූ හැකියාව ජාතිකත්ව ආණ්ඩුවලට හා ජාතිකත්ව පක්‍ෂවලට නොමැති වීමයි. ලිබරලුන් හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් බටහිර රටවල බිහි වූයේ එක් සභ්‍යත්වයක පක්‍ෂ ලෙස. එහෙත් ජාතිකත්ව පක්‍ෂ බිහිවන්නේ සභ්‍යත්වවල හා සංස්කෘතිවල. ඔවුන්ට එකට වැඩ කිරීමේ දී ප්‍රශ්න මතුවෙනවා. අද චීනයට හා ඉන්දියාවට එකතුව වැඩ කරන්න බැරි මේ සභ්‍යත්ව ප්‍රශ්නය නිසා. මා හිතන්නේ රුසියාවේ පුටින්ට මෙය තේරෙනචා කියා. රුසියාව ඉන්දියාව හා චීනය සමග පමණක් නොව ලංකාව හා මියන්මා යන ථෙරවාදී රටවල් සමගත් එකට වැඩ කරන්න සූදානම්.

 

ඉන්දියාව ලංකාව සමග ප්‍රශ්න ඇති කර ගන්නේ තමිල්නාඩුව හා හින්දු සභ්‍යත්වය නිසා. ඉන්දියාව නැත්නම් භාරතය බුදුන් වහන්සේ පිටමං කළ රට. අප බුදුදහම රැකගත්තා. වළගම්බා රජු දවස අප ත්‍රිපිටකය ග්‍රන්ථාරඪ කළා. එය මොන භාෂාවෙන් කියන එක සඳහන් වෙන්නෙ නැහැ. බොහෝ විට සිංහලෙන් වෙන්න පුළුවන්. කුමක් වුවත් අප හෙළටුවා ගැන කතා කළත් අපට පොත් අද නැහැ. ඉන්දියාව බුදුහාමුදුරුවන් පිටමං කරන්න ඇති. එහෙත් තම රටේ ඉතිහාසයේ අශෝක රජුට මග පෙන්වූ දහමත් රජු ගැන දැන ගැනීමට උපකාර වූ මහාවංසය ලියූ රටත් සමග සංස්කෘතික සුහදත්වයක් ඇති කර ගැනීමට බාධාවක් තියෙන්න බැහැ. ඉන්දිය රාජ්‍යයේ ලාංඡනය අශෝක කුළුණ අශෝක චක්‍රය. භාරතයෙන් ලෝකයට දුන් දායාදය බුදුදහම. ඉන්දීය ජාතිකත්වයට එය අමතක කරන්න බැහැ.