History

Tuesday, 13 December 2022

දෙමළ ජාතිවාදී දේශපාලනයේ ආරම්භය

 දෙමළ ජාතිවාදී දේශපාලනයේ ආරම්භය 


ඉංගිරිසින් සමග සුහද ව සිටි සිංහල හා දෙමළ නායකයන්ට අමතර ව තවත් පිරිසක් සිංහල සමාජයේ නායකත්වයට පැමීණීම 1912න් පසුව දකින්න පුළුවන්. මේ පිරිස කුමාරි ද සොයිසා ජයවර්ධනගේ බසින් නම් නිකමුන් ව සිට වැදගතුන් බවට පත් වූ අය. ඔවුන් ප්‍රාදේශීය නායකයන් කියා හිතන්නත් පුළුවන්. ඔවුන් අතර සිටි ප්‍රධානියා එෆ් ආර් සේනානායක. ඔහුගේ සොහොයුරු ඩී එස් සේනානායක ද කැපී පෙනෙන අයකු වුණා. 


මේ නායකයන්ගේ ආරම්භය අනගාරික ධර්මපාලතුමාගේ සුරා විරෝධී ව්‍යාපාරය සමග බැඳෙනවා. ධර්මපාලතුමා සුරා විරෝධී ව්‍යාපාරය ආරම්භ කර ඇත්තේ 1895 දී. එය ඉතා වේගයෙන් සිංහලයන් විශේෂයෙන් සිංහල බෞද්ධයන් අතර පැතීර ගියා. එය පංච මහා වාද ඔස්සේ පැමිණි එකක්. පංච මහා වාද හා බෞද්ධ පුනර්ජීවනය නිිදහස් සටනක් බවට පරිවර්තනය වුණේ සුරා විරෝධී ව්‍යාපාරයත් සමග කියා කියන්න පුළුවන්. 


1912 දී ආනන්ද විදුහලේ පැවති රැස්වීමක දී අමද්‍යප ව්‍යාපාරය කොළඹ අමද්‍යප සභාව ලෙස දියත් වුණා. එය සිංහලයන් අතර පැතිරීමට ගියේ ටික කාලයයි. අවුරුද්දක් ඇතුළත ශාඛා සියයක් පමණ ඇතුව සාමාජිකයන් දසදහස් ගණනකින් සමන්විත ව්‍යාපාරයක් බව පත් වුණා. මෙය ඉංගිරිසින් සමග සම්බන්ධකම් පැවැත් වූ ප්‍රභූන්ගේ සමිති සමාගම්වලට වඩා වෙනස්. කොටින් ම එහි නායකයන් වූයේ ඊනියා නිකමුන්.


ඒ නායකත්වය පූජ්‍ය කළුකොඳයාවේ පඤ්ඤාසේකර හිමිපාණන් වහන්සේ, ධර්මපාලතුමා, වෛද්‍ය ඩබ් ඒ ද සිල්වා, වලිසිංහ හරිශ්චන්ද්‍ර, එෆ් ආර් සේනානායක, ඩී එස් සේනානායක, ආතර් වී දියෙස්, ඩී බී ජයතිලක, පියදාස සිරිසේන ආදීන්ගෙන් සමන්විත වුණා. ඉංගිරිසින් මේ ව්‍යාපාරය දෙස බැලුවේ සුහද හැඟීමකින් නො වෙයි. 


1915 සිංහල මුස්ලිම් ගැටුම ඉංගිරිසින්ට හොඳ අවස්ථාවක් වුණා අමද්‍යප ව්‍යාපරයේ නායකයන් හිරභාරයට ගැනීමට. කිසිම පදනමක් නැතුව යුද්ධ නීතිය පනවා ඒ නායකයන් සිරභාරයට ගැනීමට වෙඩි තබා ඝාතනය කිරීමට ඉංගිරිසි ආණ්ඩුකාරයා පියවර ගත්තා. වාර්තා වී ඇති ආකාරයට ඩී එස් සේනානායක පමණයි සිරභාරයට ගැනීමට නොහැකි වී ඇත්තේ. එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් ඝාතනය කෙරුණේ ඒ සම්බන්ධව කෙරුණු ව්‍යාජ විභාගයකින් පසුව. 


මෙරට දේශපාලනය වෙනස් කිරීමට එෆ් ආර් සේනානායක ප්‍රධාන නායකයන්ට හැකි වුණා. එතෙක් නායකයන් වූයේ අර සම්භාවනීය ප්‍රභූ පිරිස. ඔවුන් කොළඹ ආශ්‍රිත ව ජීවත් වූ අය. සිංහල මෙන් ම දෙමළ ප්‍රභූන්ද කොළඹ පදිංචිකරුවන්. සේනානයකලා ද පසුව කොළඹ පදිංචි වූ නමුත් ඔවුන් මීරිගම බෝතලේ ගමේ අය. අමද්‍යප ව්‍යාපාරය සමග ඩඩ්ලි සේනානායක මෙන් ම ආර් ප්‍රේමදාස ද බැඳී සිටියා. 


ඊනියා නිකමුන් වූ සිංහල නායකයන් වෙනුවෙන් කටයුතු කිරීමට සිංහල මෙන් ම දෙමළ ප්‍රභූන්ට සිදු වුණා. එහෙත් ඒ සමග අර ප්‍රභූ දේශපාලනය ද යට ගියා. කුලය මත පදනම් වූ ප්‍රභූ දේශපාලනය වෙනුවට ජාතිකත්වය මත පදනම් වූ දේශපාලනයක ආරම්භය 1915 සිංහල මුස්ලිම් ගැටුමත් සමග සනිටුහන් වුණා. අමද්‍යප ව්‍යාපාරය මර්දනය කිරීමට ඉංගිරිසින්ට නොහැකි වුණා පමණක් නොව ජාතික (ජාතිකත්ව නොව) දේශපාලනයක් ඒ සමග බිහිවුණා. එහි ජාතිකත්ව බීජ තිබූ නමුත් එය ඵල ගැන්වීමට තවත් අවුරුදු හතළිහක් පමණ බලා ඉන්න සිදු වුණා.


මා හිතන විධියට අපේ රටේ දේශපාලනය ජාතිකත්ව මගකට ගැනීමට 1915 දී නොහැකි වීම අද රටේ තිබෙන තත්වයටත් වග කියන්න ඕන. 1915න් පසු 1919 දී ලංකා ජාතික සංගමය (Ceylon National Congress) බිහි වුණා. එහි ප්‍රභූන් මෙන් ම ඊනියා නිකමුන් ද හිටියා. එහි පළමු සභාපති වූයේ පොන්නම්බලම් අරුණාශලම්. ඔවුන් ඒ සංගමය පිහිටුවා ගෙන ඇත්තේ ඉන්දීය ජාතික සංගමය අනුව. එහෙත් ඉන්දීය ජාතික සංගමයෙන් එය මූලික වශයෙන් වෙනස් වුණා. 


ඉන්දීය ජාතික සංගමයට යම් පොදු බවක් තිබුණා. ඒ වෛදීක  සංස්කෘතිය මුල් කර ගෙන. ඔවුන්ට අවශ්‍ය වූයේ පූර්ණ නිදහස දිනා ගැනීමට. එහෙත් ලංකා ජාතික සංගමයට පොදු බවක් තිබුණේ නැහැ. සිංහල බෞද්ධ සංස්කෘතියේ විශේෂත්වය පිළිගැනීමට දෙමළ වෙල්ලාලයන් කැමති වුණේ නැහැ. ඔවුන් බෞද්ධ පොතපත පරිශීලනය කළත් ඒ වටා එක්වීමට කැමැත්තක් දැක් වූයේ නැහැ. ඉංගිරිසි අධ්‍යාපනය විසින් ඒ විශේෂත්වය පොදු බව මකා දමා තිබුණා. ලංකා ජාතික සංගමයට පොදු මධ්‍යයක් ඇති කර ගැනීමට නොහැකි වීම මෙරට දේශපාලනයේ  අරාජිකත්වයට එක් හේතුවක්. ලංකා ජාතික සංගමයට අවශ්‍ය වූයේ පූර්ණ නිදහසක් නොව වැඩිම වුවහොත් ඉංගිරිසි රජු යටතේ ඩොමීනියන් තත්වයේ නිදහසක්.  


සිංහල සංස්කෘතිය වටා එකතු වීමට දෙමළ වෙල්ලාලයන් අකමැති වුණත් සිංහල ක්‍රිස්තියානි ප්‍රභූන් එෆ් ආර් සේනානායකගේ නායකත්වය පිළිගත්තා. ජේම්ස් පීරිස් වැනි අය එෆ් ආර් සේනානායක සමග වැඩ කළා. එහෙත් පොන්නම්බලම් රාමනාදන් හා පොන්නම්බලම් අරුණාශලම් එයට කැමති වුණේ නැහැ. වත්මන් දෙමළ ජාතිවාදී දේශපාලනයේ මුල එහි දකින්න පුළුවන්.