History

Saturday, 17 December 2022

අපේ හොරණෑවෙ සම්භවය හා යක්කු

 අපේ හොරණෑවෙ සම්භවය හා යක්කු

 

සිංහල ජාතිකවාදීන් යම් පිරිසක් යක්‍ෂයන් ගැන කතා කිරීමට අකමැති බව මා දන්නවා. ඔවුන් යක්‍ෂයන් ගැන කතා කිරීම මගින් මෙරට සිංහල ඉතිහාසයට හානියක් වේද යන සැකය නිසා. ඉතිහාසය කියන්නෙ භෞතික විද්‍යාවට වඩා අමාරු විෂයයක්. එය ඊනියා සමාජයීය විිද්‍යාවක් නො වෙයි. මාක්ස් ඓතිහාසික භෞතිකවාදය කියන පට්ට පල් බොරුව මගින් ඉතිහාසය විද්‍යාවක් කරන්න ගියත් එය අතේ පත්තු වුණා. ඉතිහාසය කියන්නෙත් තවත් මානව ශාස්ත්‍රයක්. විශ්වවිද්‍යාලවල නම් ඉතිහාසය අයිති වෙන්න ඕන මානව ශාස්ත්‍ර පීඨයට මිසක් කිසිම වැඩකට නැති සමාජයීය විද්‍යා පීඨයට නො වෙයි. මා දැක්කා හිටපු සමාජයීය විද්‍යා පීඨාධිපතිතුමකු කියා තියෙනවා ආර්ථික අර්බුදයට සමාජයීය විිද්‍යාවන් මගින් පිළිතුරු සොයන්න ඕන කියා. අපේ තාත්තා දවස්වල කියනවා වගේ කොරල තියෙයි. ඉතිහාසය සංයුක්තයි. භෞතික විද්‍යාව වියුක්තයි. සංයුක්ත නිසා මතක තියාගන්න කරුණු බොහොමයක් තියෙනවා. අමාරු ඒකයි.

 

ගණිතයට හා භෞතික විද්‍යාවට හිත නොයන්න මා හිතන් හිටියෙ ඉතිහාසය හා පුරාවිද්‍යාව ඉගෙන ගන්න. හතේ අටේ පන්තිවල ඉන්න කාලෙ. ඒත් ඔය කියන පුරාවිද්‍යාවක් ලංකාවෙ නැහැ. ලංකාවෙ තියෙන්නෙ ඉතිහාසයක් පමණයි. ගැන මා කලින් ලියල තියෙනවා. පසුවට තවත් ලියන්න ඕනෙ. මෙරට උගතුන් කියන අය හිතන්නෙ අද ඔය තියෙන රුවන්වැලි සෑය ගැමුණු රජු කරපු එකක් කියල. එතුමා තමයි වැඩ ඇරඹුවෙ. ඒත් රජවරු කී දෙනකු එය ප්‍රතිසංස්කරණය කරල තියෙනවා ? මෙරට පුරාවිද්‍යා ගොඩනැගිලි නැහැ. නිසා හැම එකක් ප්‍රතිසංස්කරණය කරන්න පුළුවන්. බටහිර පුරාවිද්‍යා මතිමතාන්තර අඛණ්ඩ ඉතිහාසයක් නැති ජනවර්ගවලට හොඳයි.

 

කොහොම වෙතත් යක්‍ෂයන් ගැන කතා කරන්න මා බය නැහැ. යක්‍ෂයන් නාගයන් දේවයන් සිංහල සංස්කෘතියේ පුරෝගාමීන්. මා මහාකාරුණික බුදුහාමුදුරුවන්ට අවමන් කරන්නෙ නැහැ උන්වහන්සෙ යකුන් ගිරි දිවයිනට පැන්නුවා කියා. මෙරට සිංහල සංස්කෘතියෙ යක්‍ෂ නාග දේව ධාරා දකින්න පුළුවන්. මට අද යක්‍ෂයන් ගැන කතා කරන්න හිතුනෙ සංගීතය සම්බන්ධ .  

 

මේ දිනවල සංගීතය ගැන ලියන නිසා ඇමරිකාවෙ ඉන්න සංගීතය තරමක් දන්න මගේ මිතුරකු මා සමග සිංහල සංගීතය හා වාද්‍ය භාණ්ඩ ගැන කතා කළා. ඔහු සංගීීතය ගැන පර්යේෂණත් කරල තියෙනවා. ඔහුට අනුව පිරිතෙ තියෙන්නෙ වැඩිම වුණොත් ස්වර තුනයි. අපේ නෙළුම් කවිවලත් ඇත්තෙ ස්වර තුනක් පමණයි. ස්වර අඩු වෙන තරමට හිත සන්සුන් වෙනවා කියනවා. ඒත් අපට ස්වර වැඩි සංගීතයක් තිබිල තියෙනවා. මා පවසා ඇති පරිදි රෝහණ බැද්දගේ සූරින්ට අනුව සිංහල සංගීතයෙ තියෙන්නෙ ස්වර පහයි. කලකට ඉහත ඊට වඩා තියෙන්න ඇති කියල හිතනවා.

 

මගේ මිතුරා කතාබහ කරන අතර හොඳ කතාවක් කිවුව. ඇමරිකා එක්සත් ජනපදයෙ වාසය කරන සැක්සෆෝන් වාදකයකු හරියට භාණ්ඩය වාදනය කරන්න ඉගෙන ගත්තෙ ලංකාවෙ දි හොරණෑව වාදනය කරන්න පුරුදු උනාට පස්සෙ කියල. වාදකයාගෙ නම කෙනි ජී ජුවිෂ් බවයි ඔහුගෙ මතකය. ඔහු වාසය කරන්නෙ සියැටල් ප්‍රදේශයෙ කියලත් කිවුව. අපත් සතියකට උඩ දී හිටියෙ සියැටල් ප්‍රදේශයෙ. පුළුවන් කමක් තිබුණ නම් ඔහු කියා හොයල බලන්නත් තිබුණා. මගේ මිතුරාට අනුව ජුවිෂ් සැක්සෆෝන් වදනයෙ දී යොදා ගන්නෙ එකවර හුස්ම ගැනීම හා පිඹීම කියන ක්‍රමය. මගේ මිතුරා කියනවා හොරණෑව පිඹීමේදීත් ක්‍රමය තමයි අනුගමනය කෙරෙන්නෙ කියලා. ක්‍රමයට දික් ඕසෙ කියල කියනවලු. දික් ඕසෙ කියන්නෙ දීර්ඝ කෙරෙන වාදනයක් කියමු.

 

මේ හොරණැව අපට ලැබිල තියෙන්නෙ පර්සියාවෙන් කියන එකයි මගේ මිතුරාගේ මතය. එස් එස් කුලතිලක සූරින්ගෙත් මතය එය බටහිර ආසියාවෙන් ලැබුණු බවයි. එතුමා නිශ්චිත කියල නැහැ පර්සියාවෙන් කියල. පර්සියාවට අද කියන්නෙ ඉරානය කියල. පරිසියාවෙ හොරණෑව වගේ භාණ්ඩයකට කියන්නෙ සොර්ණා (sorna) කියල. සොර්ණා සිංහලයට හොරණෑව වෙලා. වෙනුවට භාවිතයක්  සිංහලේ තියෙනවා. කාට හරි හිතෙනවා ඉංගිරිසියෙන් හෝන් (horn) කියන එක ආවෙත් සොර්ණා යන්නෙන් කියල. අපිත් හොරණෑව පිඹිනව නොවැ.

 

මගේ මිතුරාට අනුව පර්සියාවෙත් දවුල් කියල භාණ්ඩ තියෙනව. දවුලුත් අපේ දවුල් වගේ. දැන් අපේ හේවිසි පූජාවෙ හොරණෑව දවුල හා තම්මැට්ටම වාදනය කෙරෙනවා. ඒත් පහතරට බෙරය වාදනය කෙරෙන්නෙ නැහැ. මගේ මිතුරා වැදගත් ප්‍රශ්නයක් අහනවා. ඉතා සන්සුන්ව ඉන්න මොහොතක එවැනි ශබ්ද නගන භාණ්ඩ යොදා ගන්නෙ ඇයි?

 

යක්‍ෂ කතාව එන්නෙ මෙතැන දි. යක්‍ෂයන් ගැන විවිධ කතා ඉතිහාසයෙ සඳහන් වෙනවා. නාග මෙන් යක්‍ෂ ජනකොටස් නේපාලයේ ඇසෑමයේ සිට ලංකාව දක්වා ඉඳලා තියෙනවා. සමහර ප්‍රදේශවල අදත් ඉන්නවා. ඇතැමුන්ට අනුව ඇතැම් යක්‍ෂයන් පර්සියාවෙ ප්‍රදේශයක සිට ඉන්දියාවට සංක්‍රමණය වෙලා තියෙනවා. මා කලක් තිස්සේ දෑරූ මතයක් වූයේ ලංකාවේ යක්‍ෂයන් පර්සියාවෙන් සංක්‍රමණය වී ඇති බවයි. හොරණෑව හා දවුල ඔවුන් එන විට ගෙනා භාණ්ඩ වෙන්න ඕන. කාට හරි පුළුවන් ඉසුරුමුණියෙ අඹල තියෙන වාද්‍ය භාණ්ඩ මොනවා කියල හඳුනගන්න.

 

කොහොම වෙතත් යක්‍ෂයන් තමන් මළවුන් අදහන විට උත්සවවල දී හොරණෑව හා දවුල යොදා ගෙන ශබ්ද නගන්න ඇති. ඔවුන් බෞද්ධයන් වූ පසුත් මගේ මිතුරා හිතන විධියට පන්සලේදීත් සන්සුන් ඉන්න මොහොතක වුණත් අර පරණ පුරුද්දට ලොකු ශබ්දයක් කරන්න ඇති. සමහර විට සක්වළට ආරාධනා කරන නිසා ශබ්දයකුත් අවශ්‍ය වෙන්න ඇති. මෙයින් තවත් කාරණා කිහිපයක් කියැවෙනවා. ඇතැම් යක්‍ෂයන් බෞද්ධයන් වී තියෙනවා. බුදුදහාමුදුරුවන් යක්‍ෂයන් ගිරි දිවයිනට පන්නලත් නැහැ. නාගයන් කියන්නෙ නාවිකයන්. කරාව කුලය හා නාගයන් අතරත් සම්බන්ධයක් තියෙනවා ? දේව කුලය පරණ දේවයන් සමග සම්බන්ධ ? මහියංගනයෙ පමණක් නොව අනුරාධපුරයෙත් යක්‍ෂයන් හිටියා ? පණ්ඩුකාභය කතා මතක් කරගන්න.