History

Saturday, 24 December 2022

බැටිකලෝ ද බැතකළේ ද බැතකැලේ ද

 බැටිකලෝ බැතකළේ බැතකැලේ

 

මඩකලපුවට ඉංගිරිසියෙන් කියන නම බැටිකලෝ. එය මඩ කලපුව යන්නෙහි ඉංගිරිසි පරිවර්තනයක් නො වෙයි. පෘතුගීසීන් නම යොදාගෙන ඇති නිසා එය ඔවුන් ව්‍යවහාර කළ නමක් කියන එක පැහැදිලියි. මඩකලපුවේ බර්ගර් ජනගහනයක් ඉන්නවා. ඔවුන් සිංහලයන් සමග මිශ්‍ර වී ඇති බවක් පේනවා. කොහොම වුණත් මඩකලපුව බැටිකලෝ වුණෙ කොහොමද කියන එක සොයා බැලිය යුත්තක්.

 

ඊයේ සඳහන් කළ පොතේ ඇති නිරුක්තිය පිළිබඳ මට තේරෙන ආකාරයට එහි ඉංගිරිසි පරිවර්තක එකඟවන්නේ නැහැ. එහි කලෝ යන්නත් පෘතුගීසි නොවන බවයි පරිවර්තකගෙ අදහස කියා මට හිතෙනවා. ඔහුට අනුව බෑටි හා කලෝ යන දෙක ස්වදේශික වචන.  ඔහු (මට හිතෙන විධියට පරිවර්තක) කියන්නේ කලෝ යන්නෙන් රාජධානිය යන අදහස සිංහලේ හරි දෙමළ බසේ හරි නැහැ කියා. පෘතුගීසින් එන කාලයේ දෙමළ ජන කොටසක් මඩකලපුවේ හිටියා කියන එක ප්‍රශ්නයක්. මට්ටම්කලප්පු කතාව පස්සෙ හදාගත් මනස්ගාතයක්. මඩකලපුවේ ඇති විශේෂ මට්ටම මොකක් ?

 

මෙහි බැටි කියන වචනය බත් යන්නෙන් ලැබුණු එකක් බවයි මා හිතන විධියට පරිවර්තක කියන්නෙ. මා නැවතත් ඡේදය කියවන විට වෙන අදහසක් ආවා. මෙහි මුල්  පෘතුගීසි පොත හොයාගෙන එය පෘතුගීසි බස දන්න කෙනකු සමග කියවන්න ලැබුණ නම් හොඳයි. අපි සිල්වල වුණාට පෘතුගීසි දන්නෙ නැහැ. කොහොම වුණත් මෙහි ඉංගිරිසියෙන් බැටි හරි බත් හරි ලියල තියෙන්නෙ bate ලෙස. ඉංගිරිසි පරිවර්තනයෙ තියෙන්නෙ මෙහෙමයි.

 

It has much rice, principally in a district that lies on the side of the island that faces the east, called Calou, that is, “kingdom”, by reason of rice, which they call bate, the kingdom is called Batecalou,  which they interpret as the “kingdom of rice”.

 

මේ අනුව කලෝ කියන්නෙ ප්‍රදේශයක් (පෘතුගීසීන්ට අනුව දිස්ත්‍රික්කයක්) ප්‍රදේශය බත් තියෙන ප්‍රදේශයක්. පෘතුගීසි ඉතිහාසඥයන්ට අනුව සිංහලයන් කලෝ කියන්නෙ රාජධානියට වචන දෙක  බත් හා රාජධානිය එකතුවෙලා බත් රාජධානිය කියන තේරුමක් බැටිකලෝ යන්නෙහි තියෙනවා.

 

ටිකක් සෝදිසියෙන් බලන විට බත් යන්න ඉංගිරිසියෙන් කොහොම වෙතත් පෘතුගීසි භාෂාවෙන් ලියල තියෙන්නෙ bate කියල. එය බත් කියන එකට වඩා බැත කියන එකට ළඟයි. කුඹුරෙන් හරි කමතෙන් හරි අපට බත් ලැබෙන්නෙ නැහැ. කුඹුරෙන් අඩු තරමෙන් හාල් ලැබෙන්නෙවත් නැහැ. හාල් ලැබෙන්නෙ දැන් නම් මෝලෙන්. මේ කුඹුරෙ තියෙන දේ බැත කියල තමයි හිතන්න පුළුවන්. මේ බත් ගැන නොවෙයි කතා කරන්නෙ වචනයෙ සමීප කමක් තිබුණත් බැත ගැන. බැටිකලෝ කියන එක ඉස්සර බැතකලෝ කියල උච්චාරණය කරන්න ඇති කියලත් හිතන්න පුළුවන්.

 

අද ඉංගිරිසියෙන් Batticaloa කියල ලිවුවට පෘතුගීසි ඉතිහාසඥයන් ලියල තියෙන්නෙ Batecalou  කියල එහෙමත් නැත්තන් බැතකලෝ කියලා. එය බත නොව බැත සම්බන්ධ බව පැහැදිලියි. දැන් ප්‍රශ්නය තියෙන්නෙ කලෝ කියන්නෙ මොකක් කියන එක. පෘතුගීසි ඉතිහාසඥ බැරොස්ට අනුව නම් රාජධානියක්. පෘතුගීසි කලෝ හරි කැලෝ හරි කියන්නෙ ක්‍රියා පදයක් බවයි දැනගන්න ලැබුණෙ. එය ශබ්ද නොනගනු කට වහගනු වගේ අරුතක් දෙනව කියනවා. නිසා බැතකලෝ යන්නෙහි කලෝ යන්න  පෘතුගීසි වචනයක් වෙන්න බැහැ.

 

කලෝ යන්න මොන සිංහල වචනයෙන් බිඳුණ කියන්න අමාරුයි. එය කැලේ කළේ එහෙමත් නැත්නම් වෙනත් තේරුමක් ඇති වචනයකින් බිඳී එකක් කියන්න හරියට බැහැ. බැත කැලේ (බැත දෙන කැලය), බැත කළේ (බැත නිෂ්පාදනය කළ - කිරීම යන අරුතින් - බැත කරවන) එහෙමත නැත්තන් වෙනත් තේරුමක් දෙන වචනයක් කියන්න බැහැ. බැරෝස්ට එය රාජධානියක්   වීම නම් හිතාගන්න පුළුවන්. සිංහලයන්ට බැත ලැබෙන තැන රාජධානියක් තමයි.

 

ඔය ප්‍රදේශය රුහුණටයි අයිති. ගැමුණු රජු දවස තිස්ස කුමරු වවන්න ගිය දිගාමඩුල්ලත් ඔය පැත්තෙ තමයි. වෙල්ලස්සත් ඔය ප්‍රදේශය ආශ්‍රිතයි. කොහොම හරි බැත කරවන ප්‍රදේශයක්. මා හිතන්නෙ බැටිකලෝ කියන එකට වඩා බැතකලෝ කියන එකයි යෙදුණු වචනය. ඉංගිරිසින් එය බැටිකලෝ කරන්න ඇති. මෙහි වැදගත්කම බැතකලෝ යන්නට සිංහල නිරුක්ති දීමට පුළුවන් වීම.

 

මෙහි දෙමළ කතාවක් නම් නැහැ. දෙමළෙන් වී හාල් බත් එකකටවත් බැත වගේ වචනයක් යෙදෙන්නෙ නැහැ. නෙල් (වී), ඇරිසි (හාල්) සෝරු (බත්) බැතකලෝ සමග ගලප්පන්න බැහැ. බැතකලෝ සිංහල ඉතිහාසයත් එක්ක සම්බන්ධ වෙලා ඇත අතීතයට අප ගෙන යනවා.

 

ඊයේ ලිපිය තොරතුරක් පමණයි. අද ගැන කෙරෙන විවරණයක්. මා ඉතිහාසඥයකුවත් භාෂා විශාරදයකුවත් ගොවියකුවත් නො වෙයි.  මා දන්නා ගොවිකමක් නැහැ. මා දන්නේ බත් කන්න පමණයීි. ගොවිතැන එක්ක මගේ සම්බන්ධය කැලණිය විශ්වවිිද්‍යාලයේ විිද්‍යා පීඨාධිපති සිටිය දී පීඨයේ සිසුන් සමග මහර ප්‍රදේශයේ කුඹුරක කන්න තුනක් කරවීම පමණයි. කෘෂි රසායන නොයොදා කරන ලද්දක්.