History

Sunday, 4 December 2022

අප දේශපාලනය කරන්නේ ඇයි?

 අප දේශපාලනය කරන්නේ ඇයි?

 

ලංකා කොමියුනිස්ට් පක්‍ෂයට සම්බන්ධ වී සිටි මගේ පාසල් හා විශ්වවිද්‍යාල මිතුරකු මීට අවුරුදු පනස්පහකට පමණ පෙර මගෙන් ඇසූ ප්‍රශ්නයක් මට මතක් වෙනවා. අප දෙදෙනා පක්‍ෂ දෙකකට සම්බන්ධ වී සිටි නමුත් හිත මිතුරන් වුණා. මිනිසුන් දේශපාලනය කරන්නේ ඇයි ඔහු ඇසූ ප්‍රශ්නයයි. ඔහු කොළඹ විශ්වවිිද්‍යාලයේ ඉගෙනුම ලබන අතර ඉන් අස් වී සෝවියට් දේශයේ ලුමුම්බා විශ්වවිද්‍යාලයට බැඳී උපාධියක් ලබා ආපසු පැමිණියා. ඔහු දැන් කිසිම දේශපාලන පක්‍ෂයකට සම්බන්ධ නැතුවා පමණක් නොව කිසිම දේශපාලන කටයුත්තක යෙදෙන්නේ නැහැ. අප දෙදෙනා තවමත් හොඳ මිතුරන්. අවුරුදු හැටපහක පමණ මිතුදමක්.

 

ඔහු ධනවත් පවුලකට සම්බන්ධ අයෙක්. බොහෝ කලක් ලංකා කොමියුනිස්ට් පක්‍ෂයේ ලේකම් සිටි පීටර් කෙනමන් ඉංගිරිසි යටත්විජිත යුගයේ ශ්‍රෙෂ්ඨාධිකරණ විනිශ්චයකරුවකුගේ පුතෙක්. එක් කතාවකට අනුව විනිසුරු නීති විද්‍යාලයේ දේශනයකට ගිය අවස්ථාවේ නීති ශිෂ්‍ය සංගමයේ සභාපති කථිකයා හඳුන්වා දී ඇත්තේ මේ පීටර් කෙනමන්ගේ පියා වශයෙන්.

 

අද වන විට ලංකාවේ පමණක් නොව බොහෝ රටවල දේශපාලනය ව්‍යාපාරයක් බවට පත්වෙලා. වෘත්තීය සමිති ව්‍යාපාරය වෘත්තීය කොහොම වෙතත් ව්‍යාපාරයක් වෙලා.  අද මෙටාවේ (මුහුණු පොතේ) කතා කරනවා වමේ හිටපු සහෝදරයන් දැන් දකුණෙ ඉන්නෙ කොහොම කියා. කලකට පෙර එක් කොමියුනිස්ට් පක්‍ෂ සාමාජිකයකු සිටි අයෙක් මිටි පහර නමින් පුවත්පතක් පළ කළා. ඔහුගේ පුතා පේරාදෙණියේ විද්‍යා පීඨයේ ශිෂ්‍යයකු සිටියා. එකල මා එහි ආචාර්යවරයෙක්. පුතා මා සමග වාද කරන්න එන සිරිතක් තිබුණා. අද ඔහු ගොඩ යමු කණ්ඩායමේ. මගේ පාසල් මිතුරා නම් දකුණට ගියේ නැහැ.

 

අද විපක්‍ෂයෙන් ආණ්ඩු පක්‍ෂයටත් ආණ්ඩු පක්‍ෂයෙන් විපක්‍ෂයටත් යන අය ගිය අය සෑහෙන පිරිසක් ඉන්නවා. අප සමහර විට හිතන්න පුළුවන් ජා ( ) හා ශ්‍රී නි (පොහොට්ටුව) අතර එතරම් වෙනසක් නෑති නිසා මාරුව සිද්ධ වෙනවා කියා. එහෙමත් නො වෙයි. එය ඊනියා දකුණක් හා වමක් අතර ඇති වෙනසකට වඩා ජාතිකත්වය පිළිබඳ වෙනසක්. අද බොහෝ මන්ත්‍රීවරුන්ට නම් ජාතිකත්වය ප්‍රශ්නයක් නො වෙයි.

 

දේශපාලනය කියන එකට ඉංගිරිසියෙන් කියන්නෙ පොලිටික්ස් කියල, පොලිටික්ස් කියන වචනය ඉංගිරිසියෙන් පළල් ආකාරයකට යෙදෙනවා. විශ්වවිද්‍යාල පීඨ මණ්ඩලවල සනාතන සභාවල පාලක මණ්ඩලවල පොලිටික්ස් තියෙනවා. පේරාදෙණියෙත් කොළඹත් කැලණියේත් මා බව අත්දැකලා තියෙනවා පමණක් නොව පොලිටික්ස් කරලත් තියෙනවා. දේශපාලන පක්‍ෂවලට සම්බන්ධ පොලිටික්ස් නො වෙයි. එහෙත් ඇතැම් විට දේශපාලන පක්‍ෂත් සමග සම්බන්ධ වෙනවා. මට පේරාදෙණියෙනුත් කොළඹිනුත් යන්න වුණෙ ඇතැමුන්ගේ පොලිටික්ස් හා මගේ පොලිටික්ස් ගැටුණු නිසා. ජී එල් පීරිස් නිකම් නොවෙයි මගෙන් ඇහුවෙ ජාතික චින්තනය උගන්වන්නෙ මොක කියා. මා ඔහුට කිවුවෙ අනෙක් අයට විජාතික චින්තනය උගන්වන්න පුළුවන් නම් මට ජාතික චින්තනය උගන්වන්න බැරි ඇයි කියා.

 

ඇරිස්ටෝටල් කිවුවලු මිනිසා කියන්නෙ දේශපාලන සත්වයෙක් කියල. ඔහු කිවුවේ සමාජයීය සතෙක් කියන තේරුමෙන් කියලත් කියනවා. කොහොම වුණත් ඔය සමාජවල පොලිටික්ස් තියෙනවා. ක්‍රීඩා සමාජවල නැද්ද? පරිපාලනයක් තියෙන්නෙ කොතැන එතැන පළල් අර්ථයෙන් දේශපාලනයක් තියෙනවා.

 

අප හිතනවා අප දේශපාලනය කරන්නෙ රට වෙනස් කරන්න, සමාජ අසධාරණය නැති කරන්න,  ජනතාවට සේවයක් කරන්න ආදි වශයෙන්. අප පරාර්ථකාමීන් කියා හිතනවා. එහි ඇත්තක් නැතුවා නො වෙයි. එහෙත් යම් ආත්මාර්ථකාමීත්වයක් නැතුවත් නො වෙයි. අපට අපේ අදහස් තියෙනවා. අදහස් අපේ කියන එකෙන් කියන්නෙ අප අදහස්වල නිර්මාතෘවරයන් කියන එක නො වෙයි. බොහෝ වෙලාවටට කාගෙ හරි අදහස් අපි අපේ අදහස් බවට පත් කර ගන්නවා. අපි ප්‍රශ්නයකට උත්තර දෙන්නෙ අදහස් මත පිහිටලා. අපි අපේ අදහස් මත ඉඳගෙන අනෙක් අය සමග වාද කරනවා.

 

ඉඳහිට අපි අපේ අදහස් වෙනස් කර ගන්නවා. එයට විවිධ හේතු තියෙනවා. සමහර විට එය ආත්මාර්ථකාමීත්වය වෙන්න පුළුවන්. වරප්‍රසාද තනතුරු ලබා ගැනීමට අපි අපේ අදහස් වෙනස් කරනවා. එහි අනෙක් පැත්තත් වෙන්න පුළුවන්. තනතුරු රැක ගැනීමට අප අදහස් වෙනස් නොකර ඉන්නවා. එහෙමත් නැත්තන් දරණ අදහස් වැඩ කරන්නෙ නැති වෙන විටත් අදහස් වෙනස් කර ගන්නවා. අලුත් අදහස් මත ඉඳ ජනතාවට රටට සේවය කරන්න යනවා කියනවා. ජනතාව කියන්නෙ වියුක්ත සංකල්පයක්. ජනතාවට සේවයක් වුණා නැද්ද කියන්න ජනතාවක් නැහැ. 

 

දේශපාලනය අදහස් හා සම්බන්ධයි.  අපට අපේ අදහස් ඉස්මතු කරන්න අවශ්‍යයි. අනෙක් අදහස් යටපත් කරන්න අවශ්‍යයි. අපේ අදහස්වලින් නම් ඊනියා ජනතාවට සේවයක් වන්නේ අප අපේ අදහස් වෙනුවෙන් සටන් කරන්න ඕන. ඊනියා ජනතාවට සේවයක් වන්නෙ අපේ නැත්නම් මගේ අදහස්වලින් කියන එක එහි පිටුපස තියෙනවා. අවසාන වශයෙන් මගේ අදහස් ජයග්‍රහණය කළ යුතුයි. අර පරාර්ථකාමීත්වය තුළ ආත්මාර්ථකාමීත්වයකුත් තියෙනවා.

 

පඬි නැට්ටකු අහාවි මට ආත්මාර්ථකාමීත්වයක් නැද්ද කියල. අපොයි තියෙනවා. මා තවම කෙළෙස් සහිත පුද්ගලයෙක්. බුදුහාමුදුරුවන් නම් දේශපාලනයක් කෙළේ නැහැ. උන්වහන්සේ රට වෙනස් කරන්න දේශනා කළේ නැහැ. බහුජන හිතාය බහුජන සුඛාය කියන්නෙ ඊනියා ජනතාවගෙ හිතසුවක් නො වෙයි. මා බුදුහාමුදුරුවන් අනුගමනය කරනවා. එක් එක් පුද්ගලයාගේ හිතසුවත් හැකි ආකාරයෙන් සොයා බලනවා. අතර මගේ අදහස් මා අගය කරනවා. මා කියන්නේ චිත්ත පරම්පරාවක් පමණක් බව හිතන අතර. චිත්ත පරම්පරාවකට මා කියන අතර මා චිත්ත පරම්පරාව එලෙස චිත්ත පරම්පරාවක් ලෙස හඳුනා ගන්නවා.