History

Wednesday, 4 January 2023

කොළොම්පුරේ ශ්‍රියා

 කොළොම්පුරේ ශ්‍රියා

 

දිලිත් ජයවීර චරණ කවි දහයට ගී දහයක් වැඩ සටහනේ දී ප්‍රකාශ කල අදහසක් වුණෙ කොළඹ අපේ කරගත් බව. මා හිතන්නේ කොළඹ අපේ කර ගැනීමට දෙයක් නැති බව. කොළඹ කියන්නෙ ගැමියන් ජීවත්වෙන තරමක ලොකු ගමක් පමණයි. මේ ගම බටහිර කුඩා නගරයක් සමගවත් සංසන්දනය කරන්න බැහැ. අපට ඇත්තේ බටහිර දේවල කුඩා ගැමි ආකෘති පමණයි. ඒත් අප මේ ලොකු ගම මහා නගරයක් කියා හිතා එයට බයවෙනවා. හීනමානය නිසා. එය ඉංගිරිසින් විසින් ඇති කරන ලද හීනමානයක්. දිලිත්ට හීනමානයක් නැති කමයි ඔහුගේ ශක්තිය.

 

මා ඉපදුණේ පාණදුරේ වෑකඩ. අපේ නිවසට පාණදුරේ ඔරලෝසු කණුවෙ ඉඳන් තිබුණේ හැතැප්ම තුන්කාලයි. කිලෝ මීටරයකට ටිකක් වැඩියි. පාණදුරේට යනවට අප කිවුවේ පාණදුරේ යනව මිස නගරයට (ටවුමට) යන බව නො වෙයි. අප ටිකක් නැගෙනහිරට ගිය විට මහවිල අළුබෝමුල්ල හමු වුණා. ගම් හා පාණදුරේ අතර වෙනසක් අප දැක්කේ නැහැ. වාහන ටිකක් එහාට මොහාට යෑමත් කඩ ටිකක් වැඩියෙන් තිබීමත් තමයි පාණදුරේ තිබුණු වෙනස. අපේ ඥාති සම්බන්ධකම් සිරිත් විරිත් අළුබෝමුල්ලෙන් පාණදුරේට වෙනස් වුණේ නැහැ. අල්ලපු ගෙදර සිද්ධවෙන්නෙ මොකක් කියන එක කවුරුත් දැන හිටියා. බටහිර නගරවල එහෙම නො වෙයි. බටහිර පෞද්ගලිකත්වය ඉතා ඉහළයි. ඔවුන්ට ඔවුන්ගේ බසින් privacy  අවශ්‍යයි.

 

අපේ පාසල් විශ්වවිද්‍යාල ගුවන්තොටුපොළ ආදී සියල්ල බටහිර දේවල කුඩා ආකෘති පමණයි. ඉතා කුඩා ආකෘති කීවත් කමක් නැහැ. රාජකීය විදුහල ශිෂ්‍ය සංඛ්‍යාව අතින් නම් විශාලයි. එහෙත් එයට බටහිර පාසලක් කියන්න බැහැ. මා පාසල් තුනකට ගිහින් තියෙනවා. ගමේ පාසල හෙවත් වෑකඩ ඉස්කෝලෙ, තර්ස්ටන් විදුහල හා රාජකීය විදුහල. පාසල් අතර වෙනස්කම් නොතිබුණා නො වේ. එහෙත් විශාල වෙනස්කම් නො වෙයි. වැකඩ ඉස්කෝලෙ අපි සපත්තු දැම්මෙ නැහැ. පංති කාමර වෙන් කරල තිබුණෙ ගොඩනැගිලි දෙකක පමණයි. තරස්ටන් විදුහලේ සපත්තු දැම්ම. පංති කාමර වෙන් කරල තිබුණා. එහෙත්  ගුරුවරුන් සිසුන්ට කතා කෙළෙ සිංහලෙන්. රාජකීය විදුහලේ සිංහල පංතියේ හැර ගුරුවරුන් කතා කෙළෙ ඉංගිරිසියෙන්. ඇතැම් සිසුන් ඉංගිරිසියෙන් කතා කළා. එහෙත් ඔවුන් කතා කෙළෙ වල්පල්. සමහර විට බොරු පංඩිත කතා. රාජකීය විදුහලෙත් හිටියෙ ඉංගිරිසියෙන් කතා කරන බයියන්. බයියන් සිංහලෙන් පමණක් කතා කළ යුතු නැහැ.

 

අපට නගර තිබිල තියෙනවා අනුරාධපුර යුගයෙ ඉඳන්. ඒත් මා හිතන්නෙ එහි තිබුණෙ සාමුහික ගැමි සංස්කෘතියක් කියල. ගැමි සංස්කෘතිය අදටත් ඊනියා නගරවල තියෙනවා. බටහිර හා අප අතර තියෙන ප්‍රධාන චින්තන වෙනස පෞද්ගලිකත්වය හා සාමූහිකත්වය අතර තියෙන වෙනස. කොළඹ හතේ හිටියත් අපට බටහිර වගේ පෞද්ගලිකත්වයක් ඇති කර ගන්න බැහැ. ඒත් අපට හීනමානයක් තියෙනවා. මේ හීනමානය අපට ඉස්සරත් තිබුණා. මහාවංසය ලියන කාලෙත් තිබුණා. ඉංගිරිසින් ඒක වර්ධනය කළා.

 

අද අප ඉංගිරිසි වචන පාවිච්චි කරන්න බොහොම කැමතියි. දිලිත් වුණත් සාකච්ඡාවෙ ඉංගිරිසි වචන පාවිච්චි කෙරුවා. අපි සිංහල භාෂාවෙ ඕන තරම් පාළි සංස්කෘත වචන පාවිච්චි කරනවා. මේ ලිපියෙත් වචන තියෙනවා. ඒත් වෙනසක් තියෙනවා. අප වචන අපේ කරගෙන තියෙනවා. පරම්පරාවකට දෙකකට උඩ දි ඉංගිරිසි වචනත් අපේ කර ගන්න අපට පුළුවන්කම තිබුණා. දැන් ඒක බැහැ. පරිගණකය කියන්න බැරි නම් කොම්පියුටරය කියන්න පුළුවන්. ඒත් කියන්නෙ කම්පියුටර් එක කියල. මේ එක කියන වචනය අද වැදි ජනයාගේ පොජ්ජ වගේ වෙලා. වැඩිකල් යන්න ඉස්සර අප කිසිම නිර්මාණශීලීත්වයක් නැති පොඩ්ඩන් වෙනවා.

 

කොළඹ කියන්නෙ පෘතුගීසින් ඇති කළ ලොකු ගමක්. කෝට්ටෙට ළඟ නිසා. ඒත් ඔවුන්ටවත් ලන්දේසින්ටවත් ඉංගිරිසින්ටවත් එය බටහිර නගරයක් කරන්න බැරි වුණා. අපේ බයිකම එහෙමමයි. ඒක හොඳයි. මා නම් බයියෙක් තමයි. අද ප්‍රශ්නය වෙලා තියෙන්නෙ බයියන්ට බයිකම නැති කර ගන්න තියෙන වුවමනාව ඒත් කරගන්න බැරි කම. මේ තමයි ඉංගිරිසින් පාසල් කුල හා නිල කුල ආදියෙන් ඇති කළ හීනමානය. අද උගත් කියන ගැමියන්ට වුවමනායි ගැමි කම අත්හැරල කොලම්බියන්ස්ලා නොවෙයි ලන්ඩනර්ස්ලා වෙන්න. සඳහා ඔවුන් නොකරන දෙයක් නැහැ. ඒත් ඒක ඉටු කර ගන්න බැහැ. මෙතෝදිස්ත වුණත් ඇංග්ලිකන් වුණත් කරන්න බැහැ. මාටින් ලූතර්ලගෙ පෞද්ගලිකත්වය අපට නැහැ.

 

ඉංගිරිසි අධ්‍යාපනය විසින් අප කොළඹට බය කෙරිල. මගේ දෙමවුපියන් මා රාජකීය විදුහලට යැවීමෙන් මට රාජකීය බයියන් දැන ගැනීමට ලැබුණා. කොළඹ මුලින් හිටියෙ පෘතුගීසීන්ට සේවය කළ අය. ලන්දෙසීන්ට ඔවුන් ගැන සැකයක් තිබුණා. ලන්දේසීන් වෙන පිරිසක් බිහි කර ගැනීමට උත්සාහ කළා. පසුගිය සියවසේ මුල් භාගයේත් කොළඹ සිංහලයන් කතා කෙළේ පෘතුගීසි බස මිස ලන්දේසි බස නො වෙයි. ඉංගිරිසින් උපක්‍රමශීලීව වෙනත් පිරිසක් බලයට ගෙනාවා. ඔවුන් නිකමුන්ගේ සිට වැදගතුන් බවට පත් කෙරුණා. අර කුමාරි සොයිසා ජයවර්ධන කියන්නේ ඔවුන් ගැනයි. ඒත් සියල්ලන් බයියන්. ඉංගිරිසි කතා කළ ටොප් හැට් දාගත් බයියන්.

 

ඩී බී ධනපාල තිව්වෙ ඩී එස් සේනනායකගෙ ටොප් හැට් ටයි කෝට් අස්සෙ හොඳ ගැමියකු හිටියා කියල. බණ්ඩාරනායක රෙද්ද ඇන්දට හොඳ ඉංගිරිසි කාරයකු කියලා. මෙරට ටොයියන් ඉන්නෙ ඉතා ස්වල්පයක්. ඉංගිරිසින් බයියන් බය කරල හීනමානයක් ඇති කරලා. අප ටොයියන් වෙන්න හදනවා. සඳහා අප අපේ සංස්කෘතික බැමි ලිහන්න උත්සාහ කරනවා. එයින් සිදුවන්නෙ එක එක දෙයයි. කිසිම විනයක් නැති නිර්මාණශීලිත්වයක් නැති පිරිසක් බිහි වීම පමණයිමෙරට අද නිර්මාණශීලිත්වය කියන්නෙ සිංහල සංස්කෘතියට එරෙහි ඊනියා කලා කෘති සාහිත්‍ය කෘති බිහි කිරීමට. බයියන් වූ පඬි නැට්ටන් හීනමානය නිසා තම බයිකම වසා ගැනීමට සිංහල සංස්කෘතියට ගරහනවා

                      

'image.png' failed to upload. TransportError: There was an error during the transport or processing of this request. Error code = 103, Path = /_/BloggerUi/data/batchexecute



https://youtu.be/tqxb43-C_v4?t=62