History

Friday 6 January 2023

ඕල්කට් බෞද්ධයන් හා දළදා වහන්සේ

 ඕල්කට් බෞද්ධයන් හා දළදා වහන්සේ

 

දැනට අවුරුදු තිහකට පමණ පෙර මෙරට ඇතැම් බුද්ධිමතුන් උගතුන් කලාකරුවන් සිතුවේ මා පශ්චාත්නූතනවාදී අදහස් දරන්නකු කියා. නිසා ඔවුන් මා හමුවීමට අපේ නිවසට පැමිණ කතා කිරීමට උනන්දුවක් දැක්වූවා. එහෙත් ඔවුන් වැඩිම වුණොත් දෙවතාවක් එන්න ඇති. ඔවුන් පශ්චාත්තාප වෙන්න ඇති පශ්චාත්නූතනවාදියකු නොවූ මා හමුවීමට පැමිණීම ගැන. පශ්චාත්නූතනවාදය යනු විසිවැනි සියවසේ ක්වොන්ටම් භෞතිකය ඇති වීමෙන් පසු එහි දර්ශනය සත්භාවය ඊනියා සමාජයීය විද්‍යාවන් තුළට ගැනීමට කරන ලද ප්‍රයත්නයක ප්‍රතිඵලයක් පමණයි. ඊනියා සමාජයීය විද්‍යාවන් බටහිර විද්‍යා අච්චුවේ වියුක්ත (අමූර්ත) දැනුම් පද්ධතියක් නොවූ නිසා පශ්චාත්නූතනවාදයට පශ්චාත් පාර්ශ්වය බිම ඇනගන්න සිදු වුණා.

 

මට බටහිර විද්‍යාවෙන් කැඩීමට ක්වොන්ටම් භෞතිකය ඉවහල් වුණා. එහි සත්භාවය සම්භාව්‍ය භෞතික විද්‍යාවෙන් වෙනස් බවත් මට තේරුම් ගියා. එහෙත් පසුව දැනුම පිළිබඳ වඩාත් වෙනස් කතාවක් ගොතා ගැනීමට මට හැකි වුණා. අනුව ක්වොන්ටම් සත්බව  සම්බන්ධයෙන් පත්‍රිකා ලිවීමටත් හැකි වුණා. අර බුද්ධිමතුන් උගතුන් කලාකරුවන් මා හමුවීමට පැමිණියේ මගේ ලෝකයේ මුල් අවධියෙ ක්වොන්ටම් කතන්දර දැකල. එහෙත් කතාබහේ දි තේරෙන්න ඇති මා ඔවුන් සමග එකඟ නොවන බව.

 

එකල මා හමුවීමට එක් වතාවක් පමණක් පැමිණි එක් අයකු වූයේ සේපාල් අමරසිංහ. ඔහු යම්කිසි දවසක සිංහල බෞද්ධ සංස්කෘතියට මෙතරම් සේවයක් කරාවිය කියා මට එදා නම් හිතුනෙ නැහැ. ඔහු ඊයේ පෙරේදා කර ඇත්තේ ඕල්කට්තුමා අවුරුදු සියයකට පමණ කරන ලද ප්‍රකාශයක් පුනරුච්චාරණය කිරීම පමණයි. ඕල්කට්තුමාගේ ප්‍රකාශය එදා හාමුදුරුවරුන් නොසලකා ඉන්න නැහැ. එකල හාමුදුරුවරුන් ඕල්කට්තුමා ගැන ඇති කර ගෙන තිබුණෙ සුහද හැඟීමක් නො වෙයි. මොහොට්ටිවත්තේ ගුණානන්ද හාමුදුරුවන් හා ධර්මපාලතුමා නොයෙක් කරුණු සම්බන්ධයෙන් ඕල්කට්තුමා සමග ගැටුණා. මේ පිළිබඳ සුසන්ත ගුණතිලක ලියා තියෙනවා. කලක් සුසන්ත අප සමග කිට්ටුවෙන් වැඩ කළා. අද නම් ඔහුත් අපෙන් ඉවත් වෙලා.ඔහු පමණක් නොවෙයි ගුණදාස අමරසේකරත් ඉවත් වෙලා. ඔවුන් තාර්කික විද්‍යාත්මක බෞද්ධයන්.

 

අද වන විට බොහෝ භික්‍ෂූන් වහන්සේත් අප අතහැරලා. එදා වැඩ විසූ භික්‍ෂූන් වහන්සේ මෙන් නොව අද වැඩ වසන භික්‍ෂූන් වහන්සේ ඕල්කට්තුමාට ගරු කරනවා. මේ වෙනසට හේතුවක් තියෙනවා. එයට ප්‍රධාන හේතුව අතක්කාවචර බුදුදහම වෙනුවට විද්‍යාත්මක තාර්කික බුදුදහමක් පිළිගැනීම. මනො පුබ්බංගමා ධම්මා අත්හැරල මොළය ප්‍රධාන කොට ශ්‍රෙෂ්ඨ කොට සැලකීම. ෂඩෙන්ද්‍රිය වෙනුවට පංචෙන්ද්‍රිය පමණක් ගැනීම. බෞද්ධ කියන්නෙ බුද්ධිමත් කියල කියන්න පටන් ගත්තෙ කවද ඉඳන් කියා මා දන්නෙ නැහැ. මා නම් බෞද්ධ එහෙත් බුද්ධිමත් නැහැ. ඔය තරුණයනුත් බව නිතර කියනවා, බෞද්ධ වීම ගැන නොවෙයි බුද්ධිමත් නො වීම ගැන.

 

අද ඉන්නෙ පංචෙන්ද්‍රිය බෞද්ධයන්. සසරක් විශ්වාස නොකරන පුනබ්භවයක් ගැන විශ්වාස නොකරන බෞද්ධයන්. මනස මොළයට ඌනනය කරන්න හදන බෞද්ධයන්. ඒත් මේ බෞද්ධයන් දන්නෙ නැහැ මනස මොළයෙන් ස්වායත්ත යැයි කියන ඔවුන්ගේ වීරයන් වූ බටහිර විද්‍යාඥයන් සිටින බව. මා කලින් කියා ඇති මොළයක් නොතිබූ අයකුට ගණිතය පිළිබඳ ප්‍රථම පංතියේ උපාධියක් ලැබුණු බව. මා ගැන කියන්න මා දන්නේ නැහැ. මා බුද්ධිමතකු නො වෙයි.

 

සසර පංචෙන්ද්‍රියට හසුවෙන්නෙ නැහැ කියනවා. එහෙත් ගැනත් ඔය මරණාසන්න අත්දැකීම් ගැන කියන අය විවිධ කතා කියනවා. අනෙක් භවය ගැන සමහරවිට කියන්න බැරි වේවි. එහෙත් අපට මේ භවයේත් ඊළඟ භවයේත් අන්තර්මුහුණත (interface) ගැන මුකුත් කියන්න බැරි ? එහි දී චිත්ත පරම්පරාවලට වෙන්නෙ මොකක් ? මා මෙසේ කියන්නේ මට අවශ්‍ය නිසා නොවෙයි. බුද්ධිමතුන්ගේ බුද්ධියට ගෝචර කිරීමටයි. නැත්නම් අනවශ්‍ය කතා. බෙනඩික්ට් පාප්හන්සෙ ස්වර්ගස්ථ වෙලා. කියන්නෙ ස්වර්ගයට ගිහින් කියන එක. එය මොකක් වුණත් වෙනත් භවයක්. නිසා පූනබ්භවයක් තියෙනවා කියා තර්ක කරන්න නොවෙයි මා බව කියන්නෙ. කතෝලිකයන් පුනබ්භවයක් ගැන කියනවා.

 

දහනවවැනි සියවසේ අග හා විසිවැනි සියවසේ මුල තිබූ තත්වයට වඩා අද වෙනස්. අද බෞද්ධයන් මොළය ප්‍රධානකොට ගත් තාර්කික විිද්‍යාත්මක බුද්ධිමතුන් වෙලා. අප මනුෂ්‍ය නොවන ප්‍රාණින්ගෙන් දැනුම ලබා ගැනීම ගැන කියන විට බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් කියන විට බෞද්ධයන් අපට එරෙහි වෙනවා. ඔවුන්ට කාලාම සූත්‍රයත් මේ සියල්ල මායාවක් බවත් අමතක වෙනවා. එහෙමත් නැත්නම් කාලාම සූත්‍රයට වෙන අර්ථකථන දෙන්න වෑයම් කරනවා.

 

එදා සිංහල බෞද්ධයන් ඕල්කට්තුමා කී දේ විශ්වාස කළේ නැහැ. ඔහු බෞද්ධයකු ලෙස සැලකුවේ නැහැ. එහෙත් බටහිර විද්‍යාවේ අවුරුදු පනහක පමණ වර්ධනයත් සමග අප පංචෙන්ද්‍රිය බෞද්ධයන් වුණා. මනස අප්‍ර්‍රධාන වුණා. පුනබ්භවය නැති කළා. ඕල්කට්තුමා කරළියට පැමිණියා. සිංහල බෞද්ධයන් වෙනුවට ඕල්කට් බෞද්ධයන් බිහි වුණා. ඕල්කට් බෞද්ධයන් ජාත්‍යන්තර පංචෙන්ද්‍රිය බෞද්ධයන්. ඔවුන් තාර්කික විද්‍යාත්මක බෞද්ධයන්. සේපාල් අමරසිංහ කරන්නේ තර්කයේ හා බුද්ධියේ අසාර්ථක භාවය ගැන සිතීමට අප මෙහෙයවීමයි. ඔහු වීරයකු කරන්න අවශ්‍ය නැහැ.

 

න්‍යාස ගැන යමක් දන්නා අයත් AB, BA අසමාන වෙන අවස්ථා ගැන අසා තියෙනවා. A= B හා B=C නම්  A =C බව තවම තර්කයෙන් පෙන්නුවේ නැද්ද? ඕනෑම තර්කයක තර්කානුකූල නොවූ ආරම්භයක් තියෙනවා. තර්කය තරම් විශ්වාසය මත පදනම් වෙන තවත් දෙයක් නැහැ.