History

Tuesday, 24 January 2023

ප්‍රවාද ෆැක්ටරි

 ප්‍රවාද ෆැක්ටරි

 

කලකට ඉහත චින්තන පර්ෂදයෙන් දේශන මාලාවක් සංවිධානය කෙරුණා. දේශන පැවැත්වුණේ පන්සලක. අපට විදේශ ආධාර ලැබුණේ නැහැ. දැන් නම් ජාතික ව්‍යාපාරයටත් විදේශ ආධාර ලැබෙනවා. බටහිරින්වත් රුසියාවෙන්වත් ඉන්දියාවෙන්වත් නො වෙයි. මා අපට ආධාර නොලැබීම ගැන අඳෝනාවක් කියනවා නො වෙයි. අප සත පහක විදේශ ආධාර බලාපොරේත්තු වුණෙත් නැහැ වෙන්නෙත් නැහැ. කාලය සඟරාව මූද්‍රණය කළ පළමු තුන්වර නම් අපට හිතවත් කිහිප දෙනකු යම් මුදල් ආධාරයක් කළා. එහෙත් සඟරාව පවත්වා ගෙන යෑමට අපට අපහසු වුණා. හතරවැනි වර මූදූණය වුණේ 2021. සඳහා අප මුදල් ගෙවුවා. එහෙත් කලාප තුනකට වඩා මුද්‍රණය කර ගන්න බැරි වුණා. ප්‍රකාශක මග හැරීමකුත් සිදු වුණා. මින් මතු කාලය මුද්‍රණය වන එකක් නැහැ.

 

මට වැඩිය සඳහන් කරන්න ඕන අර දේශන ගැන. පිළිබඳ චින්තන පර්ෂදයේ සිටි ඇතැම් අය කිවුවේ ඔන්න ප්‍රවාද ෆැක්ටරියක් දාල කියලයි. දැනට අවුරුදු විසිපහකට පමණ පෙර වෙන්න ඕන. ප්‍රවාද ෆැක්ටරිය කියන කතාව කිවුවේ මා එකල දැනුම නිර්මාණය ගැන, ප්‍රවාද නිර්මාණය ගැන කී කතාබහෙන්. අද මා නිර්මාණය කියන වචනය යොදා ගන්නේ නැහැ. මා අද කියන්නේ දැනුම හරි ප්‍රවාද හරි අභිසංස්කරණය කියා.

 

නිර්මාණය කෙරෙන්නෙ ෆැක්ටරියක කියන අරුතින් තමයි චින්තන පර්ෂදයේ කලින් හිටි අපේ මිතුරන් ප්‍රවාද ෆැක්ටරිය කියා සමච්චල් කෙළේ. මා නිර්මාණය කියන වචනය අත්හැරියෙ නිසා නො වෙයි. අපි දැනුමක් නිර්මාණය නොකරන නිසා. අප කරන්නේ සංස්කරණ පමණයි. අප අවිද්‍යාව නිසා දැනුම සංස්කරණය කරනවා. බුදුදහමට එකඟයි.

 

අවාසනාවකට දැනුම නිර්මාණය යන්න සිංහලයට හුරු නැහැ. ඇඳුම් නිර්මාණය එහෙමත් නැත්නම් භාණ්ඩ නිර්මාණය වගේ දෙයක් කියා අපේ මිතුරන් හිතන්න ඇති. නිසා තමයි දැනුම් ෆැක්ටරි නැත්නම් ප්‍රවාද ෆැක්ටරි යනුවෙන් දේශන සමච්චලයට ලක් වුණෙ. ප්‍රතිවාදීන් අතින් නම් මා නිතර සමච්චලයට ලක් වෙනවා. මිතුරන් අතිනුත් එසේ වෙනවා.

 

දැනුම හරි ප්‍රවාද හරි නිර්මාණය හරි අභිසංස්කරණය හරි ආප්ප පුච්චනවා වගේ වැඩක් නො වෙයි. අද ඇතැම් ආපන ශාලාවල ලිප් තාච්චි කිහිපයක් තියාගෙන එක විට ආප්ප තුනක් විතරත් ආප්ප බෑමෙන් පසු තවත් ආප්පත් ආදී වශයෙන් බාන්න පුළුවන්. එහෙත් දැනුම එහෙම බාන්න බැහැ.

 

අප බොහෝ වෙලාවට කරන්නේ පොතකින් පතකින් නැත්නම් වාචික දැන් නම් ගුවන් විදුලි රුපවාහිනී නාලිකාවකින් එහෙමත් නැත්නම් පටිගත කෙරුණු හඬකින් ආදී වශයෙන් තොරතුරක්, වෙනත් කිසිවකු දන්නා දෙයක් ලබා ගැනීම. ගුරුවරයකුගෙන් දෙමවුපියන්ගෙන් වැඩිහිටියන්ගෙන් මිතුරන්ගෙන් වෙන්න පුළුවන්. ඉන් එහාට ගොස් අප සමහර වෙලාවට තොරතුරු එහෙමත් නැත්නම් දැනුම සොයා යනවා. විවිධ පුද්ගලයන් හමුවීමෙන් විවිධ පොතපත පරිශීලනයෙන් ආදී වශයෙන් දැනුම සොයා ගන්න පුළුවන්. ඊනියා පර්යේෂණ කියන්නෙත් එහි අංගයක්. ඉංගිරිසියෙන් රිසර්ච් කියන්නෙ නැවත සෙවීම කියන එක. බොහෝවිට එසේ ලැබෙන තොරතුරු පිළිවෙළකට සකස් කළාම නව දැනුමක් ලෙස පෙනෙන්න පුළුවන්. එහෙත් නව දැනුමකට වඩා කපා ඇලවූ (කට් ඇන්ඩ් පේස්ට්) දැනුමක්.

 

ඇතැම් විට එය නව තොරතුරක් වෙන්න පුළුවන්. එය කොහේ හරි සැඟ වී තිබුණු තොරතුරක් සොයා ගැනීමක්. වර්තමානයේ කිසිවකුගේ ඇසට නොගැටී තිබූ සෙල්ලිපියක් වෙන්න පුළුවන්. පැරණි චෛත්‍යයක් වෙන්න පුළුවන්. එහි දී සිදුවන්නේත් සොයා ගැනීමක්. නව දැනුමක් කියන්නේ එකකටවත් නො වෙයි.  කිසිවකුට තොරතුරු ඇසුරෙන් නව අර්කථනයක් දෙන්න පුළුවන්. එයත් නව දැනුමක් නිර්මාණය කිරීමක් අභිසංස්කරණය කිරීමක් නො වෙයි. එහිත් ප්‍රභේද තියෙනවා. කිනම් දෘශ්ටි කෝණයකින් නව අර්ථකථනය කළා කියන එක දැන ගන්න පුළුවන්. දෘශ්ටිවාද නැති දැනුමක් නැහැ. දෘශ්ටිවාද නැති වෙන්න නම් නිවෙන්න ඕන. සියළු දැනුම් අත්හරින්න ඕන. දෘශ්ටිවාදවලට  විරුද්ධ ලියන අයටත් දෘශ්ටිවාදයක් තියෙනවා.

 

ප්‍රවාද නිර්මාණය ඉන් එහාට යෑමක්. තොරතුරු සමූහයක් හරි එක් තොරතුරක් හරි තේරුම් කිරීමට කතන්දරයක් හදන එක තමයි ප්‍රවාද නිර්මාණයේ දී නැත්නම් අභිසංස්කරණයේ දී සිිදු වන්නේ. එය හැම දා කරන්න පුළුවන් දෙයක් නො වෙයි. අයින්ස්ටයින්ට සාධාරණ සාපේක්‍ෂතාවාදය අභිසංස්කරණය කරන්න අවුරුදු දහයක් ගියා. ඉන්පසු ඔහු අවුරුදු තිහක් පමණ කෝකටත් ප්‍රවාදයක් අභිසංස්කරණය කරන්න අසාර්ථක උත්සාහයක යෙදුණා.

 

අපේ මිතුරන් කී විධියට ප්‍රවාද ෆැක්ටරි නැහැ. එහෙත් මට දැන් මිතුරන් ගැන ආඩම්බරයක් තියෙනවා. ඔවුන් දැනුම නිර්මාණය ගැන කතා කරනවා. ඔවුන් සඳහා චීන ආධාරයෙන් ෆැක්ටරියකුත් ඉදි කර තියෙනවා. මා බලාගෙන ඉන්නවා. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කීවලු. මේ දෙරණේ මොනව වෙන්න බැරිද?