History

Tuesday, 14 February 2023

අර්ජුන සොයිසා

 අර්ජුන සොයිසා

 

මා මිත්‍ර අර්ජුන සොයිසා මිය ගොස් ඇති බව දැන ගන්නට ලැබුණා. ඔහු කලක් විවෘත විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු තාක්‍ෂණවිද්‍යා පීඨයේ ගණිතය හා ඉංජිනේරු දර්ශන අධ්‍යනාංශයේ මහාචාර්යවරයා සිටියා. කලකට පෙර විශ්‍රාම ලැබූ ඔහු වසර අටක් පමණ රෝගාතුර සිටියා. අද (අඟහරුවාදා) ඔහු අවසන් ගමන් යනවා.

 

මා ඔහු දැන හැඳිනගෙන අවුරුදු හතළිහකට වැඩියි. ඔහු හැදුනේ වැඩුනේ කොළඹ. රාජකීය විදුහල අසළ පිහිටි කොල්ලුපිටියේ චාල්ස් පෙදෙසේ ඔහුගේ නිවස පිහිටා ඇත්තේ. මට වඩා අවුරුදු කිහිපයක් වයසින් අඩු ඔහු ඉගෙනුම ලැබුයේ රාජකීය විදුහලේ. ඔහු පසුව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයට ඇතුළත් වුණා. එහෙත් ඔහු තම බටහිර දැනුමෙන් හා වටාපිටාවෙන් ඔළුව උදුම්මාගත් පුද්ගලයකු වුණේ නැහැ.

 

ඔහුට දේශීය දැනුම ගැන උනන්දුවක් තිබුණා. කලක් ඔහුත් මාත් සුසන්ත ගුණතිලකත් විද්‍යාර්ථ නමින් සංවිධානයක් පිහිටුවා ගෙන තිබුණා. අප එමගින් දේශීය දැනුම පිළිබඳ ගවේෂණයක යෙදුනා. අර්ජුන කොළඹ විශ්වවිද්‍යාලයේ ගවේෂකයෝ සංවිධානයේ දේශන කිහිපයක් පවත්වා තියෙනවා.  අප කලක් විද්‍යාභිවර්ධන සංගමයේ (SLAAS) එකට වැඩ කළා. සුසන්ත එහි සභාපති සිටි අවධියේ මා සංගමයේ පර්යේෂණ කමිටුවේ (GRC) සභාපති වෙලා හිටියා. අර්ජූන කමිටුවේ උද්‍යොගිමත් සාමාජිකයකු වුණා. බටහිර විද්‍යාව සම්බන්ධ ප්‍රශ්නවල දී ඔහු මට සහාය දුන්නා.

 

මා නාථ දෙවියන් ගැන කියන විට හා බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කියන විට (මම යන්න බොරු යැයි කියන බෞද්ධයන් බටහිර විද්‍යාව පට්ටපල් බොරු යැයි කියන විට කෝප වන්නේ ඇයි කියා මට හිතා ගන්න බැහැ. ඔවුන් මම කියන සංකල්පය බොරුවක් මායාවක් බව කියන්නේ තේරුමක් ඇතුව යැයි මා හිතන්නේ නැහැ.) සුසන්ත ගුණතිලක මා අත්හැරියා. ඔහුට අවශ්‍ය වුණා මා විද්‍යාභිවර්ධන සංගමයෙන් නෙරපා හරින්න. ඔහු සමග බොහෝ විද්‍යාඥයන්ද සිටියා. එහෙත් මා තවමත් එහි යාවජීව සාමාජිකයෙක්. අවස්ථාවේවත් අර්ජුන මට විරුද්ධ වුණේ නැහැ.

 

අද අර්ජුන ගැන දන්නා විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් වැඩිය නැතුව ඇති. එක් අතකින් එය හොඳයි. අද විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් මා ගැන දන්නේ මිථ්‍යා මතධාරියකු මුග්ධයකු පිස්සකු ආදී වශයෙන්.  මා ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති සිටිය දී ඔහු උප සභාපතිවරයකු  ලෙස කටයුතු කළා. 1992 සටන කෙරුණේ අප ආචාර්ය සමිති සම්මේලනයේ කටයුතු කරද්දී.

 

ගැන වචනයක් දෙකක් කියන්න ඕන. ඔරානි ජෑන්ස් මියගිය අවස්ථාවේත් මා ගැන කියා ඇති. අසුගණන්වල මුල ආචාර්ය සමිති සංවිධානය අක්‍රීය තිබුණේ. අප කිහිප දෙනකු එක්වී තමයි අද පවත්නා ආචාර්ය සමීති සම්මේලනය නමින් (Federation of University Teachers Associations - FUTA) තනා ගත්තේ. එහි පළමු සභපති වුනේ මහාචාර්ය ඩබ් එස් කරුණාරත්න. ඉන්පසු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩබ් බී දොරකුඹුරත් කොළඹ විශ්වවිිද්‍යාලයේ මහාචාර්ය ඔස්මන්ඩ් ජයරත්නත් සභාපති ධුරය දැරුවා. දිගට මා ලේකම් වුණා. ඔස්මන්ඩ් ජයරත්නගෙන් පසු මා සභාපති වුණා.

 

සම්මේලනයේ කමිටුවේ මට සහාය ලැබුණේ අර්ජුනගෙන් ඔරානිගෙන් පේරාදෙණියේ ඉංජිනේරු පීඨයේ මුත්තුගෙන් (මුතුකුමාරස්වාමි) හා දන්ත වෛද්‍ය පීඨයේ රංජිත්ගෙන්. එකල ආචාර්යවරුන්ගේ වැටුප් ඉතා අඩු වුණා. එබැවින් සුදුසුකම් ලත් අය පිටරට යෑම පසෙකින් තැබුවත් මහා බැංකුවට පරිපාලන සේවයට ඇදී ගියා. අප වෘත්තීය සමීති අරගලයක් ආරම්භ කළා වැටුප් හා දීමනා වැඩි කර ගැනීමට. එකල පීඨවල දීමනා වෙනස් වුණා. අප කමිටුව කැමති කරවා ගත්තා සෑම පීඨයකට එක දීමනා ලැබිය යුතු කියා.

 

සටන අතරතුර කොළඹ විශ්වවිද්‍යාලය මගේ වැඩ තහනම් කළා පමණක් නොව ජී එල් පීරිස් මට කොළඹ විශ්වවිද්‍යාලයට ඇතුල් වීම තහනම් කළා. ආචාර්ය සමිති සම්මේලනයේ කාර්යාලය තිබුණේ කොළඹ විශ්වවිිද්‍යාලයේ. අපට රැස්වීම් තියන්න වුණෙ කුමාරතුංග මුනිදාස මාවතේ මාර ගහක් යට. එය පුවත්පත්වල පළවූ පසු විශ්වවිිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති මහාචාර්ය අර්ජුන අළුවිහාරේ අපට කොමිසමේ රැස්වීම් පැවැත්වීමට අවසර දුන්නා. කෙසේ නමුත් අප ජයග්‍රහණය කළා.

 

අතරතුර ජී එල් පීරිස් මට විරුද්ධව ඊනියා ගෘහස්ත පරීක්‍ෂණය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවැත්වීමට කටයුතු කළා. සඳහා පරීක්‍ෂකවරු තුන් දෙනකු පත් කළා. විභාගය මාස තුනක් එක දිගට පැවතුණා. එහි දී මා වෙනුවෙන් මාස තුන පෙනී හිටියේ අර්ජූන. කොළඹ විශ්වවිද්‍යාලය වෙනුවෙන් පෙනී සිටියේ වී කේ සමරනායක. පරීක්‍ෂණය අවසානයේ මා සේවයෙන් නෙරපනු ලැබුවා. සටනේ ජයග්‍රහණය නිසා ලැබුණු වැටුප් හා දීමනා මට ලැබුණේ නැහැ.

 

විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමීති සම්මේලනය මා වෙනුවෙන් පෙනී සිටියේ නැහැ. අර්ජූන ඔරානි හා මුත්තු මා වෙනුවෙන් පරීක්‍ෂක මණ්ඩලයේ නිගමන ප්‍රතික්‍ෂෙප කරමින්  දීර්ඝ වාර්තාවක් සම්මේලනයට ඉදිරිපත් කළත් සම්මේලනය මා වෙනුවෙන් කටයුතු කිරීම ප්‍රතික්‍ෂෙප කළා. තම සභාපති සේවයෙන් නෙරපා දැමීමෙන් පසු කිසිවක් නොකළ සම්මේලනය විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමීති සම්මෙලනය වෙන්න ඕන. පසුව මා කොළඹ විශ්වවිද්‍යාලයට විරුද්ධව කම්කරු උසාවියෙත් මහාධිකරණයේත් ශ්‍රෙෂ්ඨාධිකරණයෙත් නඩු කිවුවා. එහි දී එස් එල් ගුණසේකර, කණිෂ්ක විතාරන, තිස්ස යාපා යන මහත්වරු මා වෙනුවෙන් නොමිළයේ පෙනී සිටියා. වෙනත් විශ්වවිද්‍යාල මා බඳවා නොගැනීම පිළිබඳ විශ්වවිද්‍යාලවලට විරුද්ධ මා තනියම ප්‍රතිපාදන කොමිසමේ අභියාචනා මණ්ඩලයේ නඩු කිවුවා. සියල්ලෙහි ප්‍රතිඵලයක් ලෙස මට විශ්වවිද්‍යාල කිහිපයක රැකියා ලැබුණා. ඒත් අවුරුදු දහයක් ගෙදර හිටියාට පසු.

 

මේ සියල්ල මා සඳහන් කළේ අර්ජුන මට කර ඇති උපකාර මෙනෙහි කිරීමට. ඔහු කතා කෙළෙ ඉංගිරිසියෙන්. ඔහු හුරු වී තිබූ විධිය. අර්ජුනගෙ ඉංගිරිසිය ඔහුට දේශීයත්වය වෙනුවෙන් කටයුතු කිරීමට බාධාවක් වුණේ නැහැ. ඔහු අවංක හිත හොඳ මිතුරෙක්. ඔහුගේ අභාවය පිළිබඳ සංවේගය ඔහුගේ බිරිය ෂෙරීන්ටත් දරුවන්ටත් පළ කරනවා. ඔහුගේ සසර ගමන ඉක්මණින් කෙළවර වේවා!