History

Thursday, 16 February 2023

විකෘති

 විකෘති

 

මේ ලිපිය ජනවාරි 27 හා පෙබරවාරි 05 දිනවල ලියු ලිපි සමග සම්බන්ධයි. මෙරට උගතුන් හා බුද්ධිමතුන් ගැන. රනිල් වික්‍රමසිංහ කියා තිබෙනවාලු විශ්වවිිිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මමේලනය අනෙක් වෘත්තීය සමිතිවල මට්ටමට පහත වැටෙන්න හොඳ නැහැ කියලා. එහි ඇත්ත නැත්ත මා දන්නේ නැහැ. ඒත් මා දන්න තරමින් විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ගේ හා කම්කරුවන්ගේ වෙනසක් නැහැ. කවුරුත් ශ්‍රමය විකුණනවා. ඇතැමුන් කායික ශ්‍රමය ඇතැමුන් මානසික ශ්‍රමය. බොහෝ සමාජවල මතයක් තියෙනවා මානසික ශ්‍රමය කායික ශ්‍රමයට වඩා උසස් කියලා. ඒකත් සමාජය විසින් සංස්කරණය කරන ලද්දක් මිස ඊනියා යථාර්ථයක් නො වෙයි.

 

රටේ සමහරු තවත් සමහරුන්ට වඩා යම් යම් දේ දන්නවා. ඇතැම් කම්කරුවන් විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන්ට වඩා යම් යම් දේ දන්නවා. මා කියන්නේ පොතපතේ දැනුම ඇතුළුව. කම්කරු නීති අණපනත් ආදිය ගැන කම්කරු වෘත්තිය සමිති නායකයන්ගේ දැනුම ආචාර්ය සමිති සම්මේලනයේ නිලධාරීන්ගේ දැනුමට වඩා වැඩි වෙන්න පුළුවන්. මා දන්නෙ නැහැ විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් කී දෙනකු 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනත ගැන දන්නවා කියා. ඒක ජේ ආර්ගෙ පනතක්. ඒකෙන් තමයි ඔස්මන්ඩ් ජයරත්න කමිටුවේ නිර්දේශ මත ඇති කරන ලද තනි විශ්වවිද්‍යාලය හා එහි මණ්ඩප අහෝසි කෙරි වෙන වෙන විශ්වවිද්‍යාල ඇති කෙරුණෙ. දැන් උපකුලපතිලා ඉන්නෙ නිසයි. ඊට කලින් හිටියෙ මණ්ඩපාධිපතිලා. ඔස්මන්ඩ් ජයරත්න කලක් කොළඹ විශ්වවිිද්‍යාලයේ මණ්ඩපාධිපති වෙලා හිටියා.

 

මා දන්නා ඇතැම් කම්කරුවන් මට වඩා යම් යම් දේ දැනහිටියා දන්නවා. වගේ විශ්වවිද්‍යලයීය ආචාර්යවරුන් මට වඩා බොහෝ දේ දන්නවා. මා කොහොමටත් බුද්ධිමතකුවත් උගතකුවත් නො වෙයි. අප රට මා කිහිප අවස්ථාවක කියා ඇති පරිදි සජාතීය රටක්. අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියො. අපේ දැන උගත්කමුත් බොහෝ විට ආකාරයෙන් තමයි ඇත්තෙ. සමහර විට බුදුදහම හා සිංහල සම්බනධ මෙරට ප්‍රාමාණික උගතුන් ඉන්නවා වෙන්න පුළුවන්. ඒත් අනෙක් විෂය සම්බන්ධයෙන් නම් එසේ නොවන බවයි මගේ වැටහීම. ඇතැමුන් මා ප්‍රාමාණික උගතකු ලෙස හඳුන්වා දී තිබෙනු මා දකිනවා. එවිට මට පොළොව පලා ගෙන යන්න හිතෙනවා. මා දන්නා තරමින් නම් මෙරට විශිෂ්ටයන් නැහැ. අප සියල්ලන් ඉන්නේ අර බෙල් වක්‍රයේ මැද කොටසේ.

 

නිසාම දෝ අප කැමතියි අනෙක් අයට වඩා දන්නවා කියා පෙන්නන්න. ඊයේ අර්ජුන සොයිසා ගැන ඇතැමුන් ලියා ඇති දේ කියවන විටත් මට බව දැනුනා. අප අහවල් අහවල් දේ ඔහු සමග සාකච්ඡා කළා යැයි කියන්නේ කුමකට කියා අමුතුවෙන් කියන්න ඕන නැහැ.

 

විශ්වවිද්‍යාල උගතුන් ආචාර්යවරුන් හිතන්නේ අපේ උපාධි ඉතා ඉහළ මට්ටමක ඇති බව කියයි. මෙරට උපාධිධාරීන්ට පිටරට විශ්වවිිද්‍යාලවල පශ්චාත් උපාධි ලබා ගැනීම එතරම් අපහසුවක් නැහැ. මෙරට ගණිතය භෞතික විද්‍යාව හදාරා ප්‍රථම උපාධි ලත් අයත් ආර්ථික විද්‍යාව දර්ශනය ජන සංනිවේදනය වැනි විෂයන් හදාරා ආචාර්ය උපාධි ගත් අවස්ථාත් තියෙනවා. එයින් කුමක් කියැවෙන්නේ යන්න ගැන මා කියන්න යන්නේ නැහැ.

 

එහෙත් අප විභාගවලට කරන සැලකිල්ල නම් අතිවිශිෂ්ටයි. පහේ ශිෂ්‍යත්ව විභාගය පැවැත්වෙන දිනය අප කවුරුත් පාහේ දැන ගන්නවා. අනෙක් විභාග ගැනත් එහෙමයි. විභාගවලින් පළමුවැන්නා දෙවැන්නා වන අයත් අප දැන ගන්නවා. ඒත් අවුරුදු විස්සක් පමණ ගියාට පසු ඔවුන්ට වූ දෙයක් අප දන්නේ නැහැ. විභාග නීති රීති ආදිය ගැන විශ්වවිිද්‍යාලවල ඇත්තේ මහා ගෞරවයක්.

 

වරක් මා කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨාධිපති සිටිය දී එක් සිසුවෙක් විභාගයට විනාඩි හතළිස්පහක් පමණ ප්‍රමාද වී පැමිණියා. ඔහු චින්තන කණ්ඩායමට විරුද්ධ පැත්තේ අයෙක්. මා සාමාන්‍යයෙන් සිසුන්ගේ දේශපාලන අදහස් දැන හිටියා. ඔවුන්ට ලකුණු දීමේ දී යොදා ගැනීමට කියා පඬි නැට්ටකු කියන්න ඉඩ තියෙනවා. කෙසේ වෙතත් සිසුවා අඬ අඬා පැමිණ මට කිවුවේ තමන් විභාගය පැවැත්වෙන්නේ හවස කියා සිතා සිටි බවත් මිතුරකු පැමිණ ඔහුට එසේ නොවන බව කීමෙන් පසු ඔහු දුව බවත්. ඔහුත් හිතන් ඉන්න ඇත්තේ විභාගය පටන් ගෙන පැය බාගයකට පසුව විභාගයට පෙනී සිටීමට අවසර නොදෙන බවයි. මා වහාම ශාලාධිපතිනිය කැඳවා විභාගය පටන් ගැනීමෙන් පසු කිසිවකු ශාලාවෙන් පිටතට නොගිය බව තහවුරු කර ගත්තා. එසේ ගියා නම් එමගින් අප සිසුවාට ප්‍රශ්න පත්‍රය ලැබීමට ඉඩක් ඇති නිසා. මා ශාලාධිපතිනියට උපදෙස් දුන්නා සිසුවාට ශාලවෙන් පිට තැනක විභාගයට පෙනී සිටීමට ඉඩ සලසා දෙන ලෙස.

 

පසුව පීඨයේ විශාල උද්ඝෝෂණ රැල්ලක් ඇති වුණා. මා විභාග නීති රීති උල්ලංඝනය කර විශ්වවිද්‍යාලයේ කීර්ති නාමයට කැළලක් කළා කියා. මා දන්නා කීර්ති නාමයක් නැති වුවත් වෙන කිසිම දෙයක් නොකර පොතේ ඇති දෙයක් කියා දී ගැන ප්‍රශ්න අසන අයට මා කළ දේ ප්‍රශ්නයක් වුණා. ඔවුන් ප්‍රශ්නය පාලක මණ්ඩලයට ගෙනිච්චා. පාලක මණ්ඩලය මට විරුද්ධව ඇති චෝදනාව විභාග කිරීමට විශ්‍රාම ලත් අභියාචනාධිකරණ විනිසුරුවකු පත් කළා. ඇතැම් ආචාර්යවරු විශ්වවිිද්‍යාලයේ ගෞරවය රකිනු වස් මට විරුද්ධ සාක්‍ෂි දුන්නා.

 

මා විනිසුරුට කියා සිටියේ පැය භාගයේ නීතිය අනුව කිසිම අපේක්‍ෂකයකුට පැය භාගයකට පෙර විභාග ශාලාවෙන් පිටතට යැමට නොහැකි බවත් පැය භාගයකට පසු කිසිම අපේක්‍ෂකයකු විභාග ශාලාවට ඇතුළු වීමට නොහැකි බවත්. එසේ නීතියක් ඇත්තේ ප්‍රශ්න පත්‍රය ශාලාවට පිවිසීමට පෙර අපේක්‍ෂකයකු අතට පත් වීම වැළැක්වීමට බවත්. මා විභාග ශාලාවෙන් විනාඩි හතළිස් පහක කාලයක කිසිවකු පිටතට ගොස් නැති බව තහවුරු කර ගෙන එකී සිසුවාට විභාගයට පෙනී සිටීමට අවසර දුන් බවත් කිවුුවා. තවත් වැඩි හොඳට සිසුවාට විභාග ශාලාවට ඇතුල් වීමට ඉඩ නොදී වෙනත් තැනක විභාගයට පෙනී සිටීමට අවසර දුන් බවත් එමගින් විනාඩි තිහකට පසු විභාග ශාලාවට ඇතුළු වීමට නොහැකි නීතිය කඩා නැති බවත්. විනිසුරු මා නිදොස්කර නිදහස් කළා. මා දන්නෙ නැහැ විශ්වවිද්‍යාලයේ කීර්ති නාමයට කැළලක් වුණා කියා. මට කීර්ති නාමයක් නැති නිසා ප්‍රශ්නයක් නැහැ. කොළඹ විශ්වවිද්‍යාලයෙන් මා අස් කිරීමට ආචාර්යවරුන් යොදා ගත් එක් කරුණක් වූයේත් ඊනියා උපාධි තත්වය ආරක්‍ෂා කිරීම. ගැන පසුවට.

 

විභාගේ අපේ අභාගේ. මට සිහිවෙන්නෙ අපට විරුද්ධ මත දැරුවත් සෝමලතා සුබසිංහගෙ විකෘති.