History

Sunday, 5 February 2023

බුද්ධිමතුන් සමග

 බුද්ධිමතුන් සමග

 

මෙය ජනවාරි 27 වැනි දා පළ වූ පඬි නැට්ටෝ ශිල්ප දක්වති ලිපිය හා සම්බන්ධයි. දහතුන මුළුමනින් ක්‍රියාත්මක කිරීම ගැන ලිවීමට සිදු වූ නිසා එයට තව එකතු කරන්න බැරි වුණා. මා ලිපිය අවසන් කෙළේ මෙසේයි.

 

“විශ්වවිද්‍යාලයීය ආචාර්යවරුන් ගැන මගේ ශාස්ත්‍රීය වශයෙන් ගෞරවයක් නැහැ. කියන්නෙ විශ්වවිද්‍යාලවලින් පිට ඉන්න බුද්ධිමතුන් ගැන මගේ ගෞරවයක් තියෙනවා කියන එක නො වෙයි. ඔවුන් බොහෝ විට විශ්වවිද්‍යාලයකට ඇතුල් වෙන්න බැරි වෙච්ච අය. එහෙම නැත්නම් ආචාර්යවරයකු වෙන්න සුදුසුකම් නැති අය. ඇතැමුන් ආචාර්යවරුන් වීමට ඔය රාජපක්‍ෂලාගෙන් ලියුම් අරගෙනත් බැරි වෙච්ච අය.

 

අපි තව ටිකක් විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනය ගැන, එහි ආරම්භය හා සටන් ගැන,  ආචාර්යවරුන්ගෙ මධ්‍යම පාංතික ජීවන රටාව ගැන, අපේ ගෙදර වටේ ඇති සර්පයාගේ අඩි දොළහේ තාප්පය ගැන, සර්පයන් ගැන, තර්කය ගැන ඉදිරියේ දී කතා කරමු.”

 

මට ගුරුවරයකු වීමට කැමැත්තක් ඇති වුණේ පහේ පංතියේ ඉන්න කාලෙ. සාමාන්‍ය පෙළ පංතිවල ඉන්න කාලෙ එය විශ්වවිද්‍යාලයීය ආචාර්යවරයකු වීමක් බවට පරිවර්තනය වුණා. එමෙන් (භෞතික) විිද්‍යාඥයකු (බටහිර) වීමට කැමැත්තක් ඇති වුණා. නිවුටන්ලා අයින්ස්ටයින්ලා ආදීන්ගෙ වැඩ ගැන යම් දැනුමක් ලැබීමෙන් පසු. හොඳ රස්සාවක් කිරීමට නම් නො වෙයි. එකලත් හොඳ රස්සා හැටියට ගණන් ගැණුනේ වෛද්‍ය නීතිඥ ඉංජිනේරු පරිපාලන (සීසීඑස්) වෘත්තීන්. අපේ දෙමවුපියන්ටත් අවශ්‍ය වූණේ මා වෛද්‍යවරයකු වනු දැකීමට. පසුව ඉංජිනේරු පරිපාලන අනුපිළිවෙළට. එහෙත් අම්මාත් තාත්තාත් කරන්න දෙයක් නැති කමට පසුව විශ්වවිද්‍යාල ආචාර්යකමට කැමති වුණා. එසේ අකමැත්තෙන් කැමති වුණු තාත්තාට මිය යෑමට සිදු වූයේ මට කිසිම රැකියාවක් නොතිබූ වකවානුවෙ. මා මිය යන තුරු එය විඳවනවා.

 

මා විශ්වවිද්‍යාලයට ගියේ 1963 ජූනි මාසෙ දවසක. මොකක් හරි හේතුවකට තාත්තාට එදා මා සමග යන්න බැරි වුණා. තාත්තා තම මිතුරකු මා සමග එවුවා. පාසලේ සිටිය දී මා පේරාදෙණි විශ්වවිද්‍යාලයට ගොස් තිබුණා. මිතුරකු සමග ඔහුගේ සොහොයුරා නැවතී සිටි මාර්කස් ප්‍රනාන්දු ශාලාවට. එබැවින් ජයතිලක ශාලාව මට අමුත්තක් වුණේ නැහැ. ඒත් නවක වද බිය නම් ටිකක් තිබුණා. නවක වදයත් ලැබුණා. කිසිවකු මට ශිෂ්‍යාවකට මලක් දෙන්න නම් කිවුවේ නැහැ. එහෙත් අපට දිනක් වැසිකිළියේ බඩගෑමටත් සිද්ධ වුණා. 

 

දේශන ශාලා මට අමුත්තක් වුණේ නැහැ. පාසලේත් දේශන ශාලා තිබුණ නිසා. දේශනවලත් අමුත්තක් තිබුණේ නැහැ. පොත්වල තියෙන ඒව තමයි ඉගැන්නුවෙ. පුස්තකාලය නම් විශාලයි. මහල් කිහිපයක පුස්තකාලයක්. මට ප්‍රායෝගික පංති එතරම් ඇල්ලුවේ නැහැ. රසායන විිද්‍යා පර්යේෂණාගාරයට යැම මා බෙහෙවින් අඩුවෙන් තමයි කෙළේ. භෞතික විද්‍යා පර්යේෂණ කළේ මගේ සගයා වූ අමරකෝන්. මා වැඩියෙන් කෙළේ බලා සිටීම. විශ්වවිිද්‍යාලයෙන් අස් වූ පසු ඔහු දැක නැහැ.

 

ලබන ජූනි මාසයට මා විශ්වවිද්‍යාලයට ගොස් අවුරුදු හැටක් වෙනවා. කියන්නෙ මට බුද්ධිමතුන් සමග අවුරුදු හැටක ඇසුරක් තිබිල තියෙනවා. ඒත් මා ඔවුන්ගෙන් ඉගෙන ගත් දෙයක් ඇත්නම් සසෙක්ස් විශ්වවිද්‍යාලයේ දී ඉගෙන ගත් දේ පමණයි. සසෙක්ස්හි ඉගෙන ගත් දේ අතර මට විද්‍යාඥයකු වීමට බැරි බව එකක්. නිසා මා රජයේ මුදල් නාස්ති නොකර කලින් ගියා. ඒත් විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨාධිපති මහාචාර්ය වී අප්පාපිල්ලෙයි  මා කථිකාචාර්ය ධුරයට උසස් කිරීමට බැරි බව කියා තිබුණා.

 

මා පරිවාස සහකාර කථිකාචාර්යවරයකු ලෙස පේරදෙණියට ගියේ 1968 මාර්තු මාසයෙ. ආචාර්ය උපාධිය නිම කිරීමෙන් පසු පේරාදෙණියට ගියේ 1970 සැප්තැම්බරයේ. ඔවුන් කියා සිටියෙ 1973 මාර්තු වන තුරු (සහකාර කථිකාචාර්යවරයකු වී පස් අවුරුද්දක් යන තුරු) උසස් වීමක් ලබාගත නොහැකි බවයි. දිනවල එවැනි නීතියක් තිබුණේ නැහැ.

 

ඔවුන් අවුරුදු පහ ගණන් කෙළේ සහකාර කථිකාචාර්යවරයකු වී අවුරුදු දෙකකින් පසු පශ්චාත් උපාධියකට යෑමට වැටුප් සහිත නිවාඩු ලැබෙන බවත් ඉන්පසු උපාධිය නිම කිරීමට අවුරුදු තුනක් යන බවත් එබැවින් අවම වශයෙන් අවුරුදු පහක් යන තුරු උසස්වීම ලබා දිය නොහැකි බවත් කියමින්. සාමාන්‍ය තත්වය නම් එහෙම තමයි. එහෙත් මට විශ්වවිිද්‍යාලයේ වැටුප් අවශ්‍ය වුණේ නැහැ. රජයේ ශිෂ්‍යත්වය දිනා ගැනීම නිසාත් සසෙක්ස් විශ්වවිද්‍යාලය මට ඉක්මණින් ඒමට අවසර දී තිබීම නිසාත් මා 1969 ජනවාරියේ එංගලන්තයට ගියා. නිබන්ධය ඉදිරිපත් කර අදාළ සම්මුඛ පරීක්‍ෂණයටත් පෙනී සිට අවුරුදු එකයි මාස අටකින් සියල්ල නිම කර ආපසු  ගිය බැවින් මට අවුරුදු පහක් අවශ්‍ය වුණේ නැහැ.

 

මා ගණිත අධ්‍යනාංශයේ අංශාධිපති පී කනගසබාපති මහතාට කරුණු පැහැදිලි කර දුන්නා. ඔහු සරල අවංක ගුණ යහපත් මහත්මයෙක්. එතුමා බලධාරීන්ට කරුණු පෙන්නා දී ප්‍රශ්නය විසඳුවා. එතුමා පසුව යාපනය විශ්වවිද්‍යාලයේ ගණිත මහාචාර්යවරයා ලෙස එහි ගියා.

 

එක් පරිච්ඡෙදයක්.