History

Tuesday, 21 February 2023

සිංහල බෞද්ධයන් බුද්ධාගම්කාරයන් වීම

 සිංහල බෞද්ධයන් බුද්ධාගම්කාරයන් වීම

 

මා ලිිපිය කොටස් වශයෙන් පළ නොකර සම්පූර්ණයෙන් ම පළ කරන්න තීරණය කළා. එක් එක් කොටසට ප්‍රතිචාර දැක්වීමේ දී සමස්ත ලිපිය අමතක කරන්න පුළුවන් නිසා. සම්පූර්ණ ලිපිය එක දිගට කියවීම වෙහෙස කර වෙන්න පුළුවන්.

 

වසර කිහිපයකට පෙරත් අප ආගම් කාරයන් ලෙස සැලකුවේ කතෝලික/ක්‍රිස්තියානි අය බව අමතක කරන්න එපා. එයට යම් හේතුවක් තියෙන්න ඕන.  මගේ වැටහීම අප එකල බුද්ධාගම්කාරයන් ලෙස නොසිතු බවයි. අපට බුදුදහම ජීවන මගක් කියා දෙන දහමක් වුණා.

 

බුදුහාමුදුරුවන් දේශනා කර ඇත්තේ එව බලව කියා. සියලු බෞද්ධයන් එසේ කරනවා කියා මා කියන්නේ නැහැ. එහෙත් උන්වහන්සේ තමන් වහන්සේ දෙසූ පමණින් විශ්වාස කරන්න අප පොළඹවා නැහැ. ආගම හා රිලිජන් යන්න මා කෙටියෙන් විස්තර කර ඇති.

 

මා නිවන දකින්නේ නිවීමක් ලෙසයි. එය ක්‍රියාවක්. එහෙත් දිගට ම පවතින ක්‍රියාවක් නො වෙයි. නිවීමෙන් පසු ක්‍රියාවක් නැහැ. ඉන් පසු ඊනියා සැපක් විඳින්න ඊනියා පුද්ගලයකු ඊනියා ආත්මයක් නැහැ. එයින් කියන්නෙ  නිවීමට කලින් ආත්මයක් තිබුණු බව නො වෙයි. මා ඊනියා ආත්මය කියා යෙදන්නේ එබැවිනුයි. අනිච්ච දුක්ඛ අනත්ත පිළිබඳ අවිද්‍යාව නිසා (ඊනියා) අප පුද්ගලයන් ඇතුළු වස්තු මවා ගන්නවා.

 

ගහක් කියා දෙයකුත් නැහැ. ඇතිවෙමින් නැතිවෙමින් ප්‍රවර්තනය වන ක්‍රියාවලියක් ගසක් කියා හැඳිනගෙන. ඊයේ තිබුණු ගස අද ඇති ගස කියා ගැනීම ම එක්තරා ආකාරයක ආත්මවාදයක්. 

 

කාලය කියා සංකලපයක් අවශ්‍ය වන්නේ නැති ගසක් වෙනස්වන ඇති ගසක් ලෙස ගැනීම නිසා වෙනස්වීම පැහැදිලි කිරීමට. ගස වැවෙනවා මැරෙනවා ආදී කතා අවශ්‍ය වන්නේ ගසක් ඇතැයි ගන්නා  නිසා.          

 

ක්‍ෂණවාදයක් කාගේ වුවත් අවශ්‍ය වන්නේ ක්‍ෂණයකටවත් පැවැත්මක් පිළිගැනීමට. උත්පාද තිථි භංග ලෙස ගැනීමේ දී තමයි ක්‍ෂණවාදය අවශ්‍ය වන්නේ. තිථිය ඉවත් කළා  ම ක්‍ෂණවාදයක් අවශ්‍ය නැහැ.

 

බුදුදහම කිසිවක් නැති කරන්න කියන්නේ නැහැ. ඒ කිසිවක් නැතිි නිසා. අවිජ්ජාව නිසයි කිසිවක් ඇති බව මවා ගෙන තියෙන්නෙ. යම් යම් දේට ඇලෙන්නේත් ඒ යම් යම් දේ ඇතැයි ගන්නා නිසා. මා යනුවෙන් ගැනීම ම අනිච්ච දුක්ඛ අනත්ත පිළිබඳ අවිද්‍යාව නිසා කරන මවා ගැනීමක්.

 

ප්‍රතිචාරවලින් පසු වෙනත් ලිපියක් ලියනවා. එ ඒ අයට වෙන වෙන ම පිළිතුරු ලියන්නේ නැහැ.

 

------------------------------------------------- -----------------------------  

 

 

මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් උපත ලබා දෙසීය වසරක්  පිරීම නිමිත්තෙන් පළ කෙරෙන මෙම සඟරාවට පාණදුරේ උපත ලද අයකු ලෙස සැදැහැ සිතකින් මේ ලිපිය සපයනවා. උන්වහන්සේගේ දායකත්වයෙන් සිදු වුණු පාණදුරා වාදයට මේ වසරේ අවුරුදු එකසිය පනහක් පිරෙනවා.  පූජ්‍ය මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් උපත ලබා ඇත්තේ බලපිටියේ මිගෙට්ටුවත්තේ හෙවත් මොහොට්ටිවත්තේ 1823 පෙබරවාරි නවවැනි දා. වනිගමුනි මිගෙල් මැන්දිස් විමලරත්න උන්වහන්සේගේ ගිහි නම වුණා. පාණදුරා වාදයට සහභාගි වන විට උන්වහන්සේට වයස අවුරුදු පනහක්.

 

පාණදුරා වාදය බුද්ධාගමේ පුනර්ජීවනයට ඉවහල් වුණු බව බොහෝ දෙනා කියනවා. පාණදුරේ පුනර්ජීවනයේ නගරය ලෙස හැඳින්වෙනවා. එහෙත් එහි එයට වඩා වෙනත් අරුතක් තිබෙන බවයි මගේ හැඟිම. මා හිතන්නේ මෙරට බුද්ධාගම ස්ථාපිත වුණේ වාදයත් සමග කියා. එහි හොඳ මෙන් නරකත් තිබුණා. සිංහල බෞද්ධයන් බුද්ධාගම් කාරයන් බවට පත්වීමේ විපාකත් අද දකින්න පුළුවන්.

 

බලපිටියේ හරි පාණදුරේ හරි වැසියන් පමණක් නොව ලංකාවේ සිංහල බෞද්ධයන් (බුද්ධාගම්කාරයන්) මා කියන දේ ගැන උරණ වන්නට පුළුවන්. අනුරාධපුර යුගයේ වැසියන් තමන් සිංහල බෞද්ධයන් ලෙස හඳුන්වා ගත්තා කියා මා හිතන්නේ නැහැ. එහෙත් මා ඔවුන් සිංහල බෞද්ධයන් ලෙස හඳුන්වනවා. අපි පළමුවෙන් වචනවල අරුත් පැහැදිලි කර ගනිමු. මා සිංහල බෞද්ධයන් හා සිංහල බුද්ධාගම් කාරයන් අතර විශාල වෙනසක් දකිනවා. සිංහල බෞද්ධයන්ට ආගමක් තිබුණේ නැහැ. එහෙත් සිංහල බුද්ධාගම් කාරයන්ට ආගමක් තියෙනවා. ආගම ස්ථාපිත වුණේ පාණදුරා වාදයෙන් පස්සෙ. බුදුදහම කියන්නෙ එකක්. බුද්ධාගම කියන්නෙ තවත් එකක්.

 

බුදුහාමුදුරුවන් ආගමක් දේශනා කළේ නැහැ. උන්වහන්සේ ධර්මය දේශනා කළා. කුමක් සඳහා ? සසර කෙළවර කර ගෙන දුක නැති කිරීමට. දුක නැති කර ගැනීමට නො වෙයි. දුක නැති කර ගන්නේ සැප විඳීමට වෙන්න පුළුවන්. දුක නැති කිරීමෙන් පසුවත් යමක් ඇතැයි යන කතාවක් එහි තියෙනවා. අප නිවන් සැප කියා සැපක් ගැන හිතනවා. නිවන කියා තැනක් දෙයක් නැහැ. නාම පදයකින් විස්තර කරන්න බැරි ක්‍රියාවක් අප නාම පදයකින් විස්තර කරන්න ගිහින් අමාරුවේ වැටිලා. දුක නැති කිරීම කියන්නෙ සැප විඳීම නො වෙයි. දුකත් සැපත් දෙක විඳීම නතර කිරීමක්.  ක්‍රියා පදයකින් මිස නාම පදයකින් විස්තර කරන්න බැරි ක්‍රියාවක් අප නාම පදයකින් විස්තර කරන්න හදනවා. වඩාත් උචිත වචනය නිවීම කියා මා හිතනවා. නිවීමෙන් පසු යන තැනක් නැහැ. පහනක් නිවුණා වගේ.

 

නිවන අසංඛතයි. නිවනක් කියා එකක් නැහැ. බුදු හාමුදුරුවන් දේශනා කර ඇත්තේ දුක නැති කිරීමට. සසර කෙළවර කිරීමට. යළි ඉපදීම නතර කිරීමට. බෝන් අගේන් නතර කරන්න කියා වර්තමානයේ කාට හරි කියන්න පුළුවන්. මොනවා වුණත් ඒක ක්‍රියාවක්. බුදු හාමුදුරුවන් දේශනා කළේ නැවත ඉපදෙන එක නතර කරන්න. සඳහා ජීවත් වෙන්න. ජීවත් වීම නතර කිරීම සඳහා ජීවත් වෙන්න. එසේ ජීවත් වීම ජීවන ක්‍රමයක්. එය ආගමක් නො වෙයි.

 

අජරාමර නිවන යන්න කවදා ව්‍යවහාරයට පැමිණියේ දැයි මා දන්නේ නැහැ. එහි තේරුම ජරාවට නොයන මරණයට පත් නොවන යන්නයි. එයින් කියැවෙන්නේ නිවන සැප ඇති බව ? නිවී ගියාට පසු සැපකුත් නැහැ. මට තේරෙන විධියට ලෝකයේ යළි නූපදීමක් ගැන දේශනා කළ එකම ශාස්තෘන් වහන්සේ බුදුන් වහන්සේ. අපට අවශ්‍ය නොමැරී ඉන්න නො වෙයි. ඉපදීම නැති කිරීමට. චිත්ත ඉපදීම නැති කරන්න.

 

අප කුඩා කළ පාණදුරා වාදයෙන් අවුරුදු හැත්තැවකට පමණ පසුත් අප ආගම් කාරයන් ලෙස හැඳින්නුවෙ කතෝලික ආගම ඇදහූවන්. ක්‍රිස්තියානි ආගම් ඇදහුවන්. අපේ ගෙදරට ගෙවල් තුනකට එහායින් තිබුණෙ ආගම් ගෙදර. අනෙක් ගෙවල්වලට අපි ආගම් ගෙවල් කිවුවෙ නැහැ.  කොටින් සංස්කෘතික වශයෙන් අපි ආගමේ නො වෙයි. ආගමක නො වෙයි. එහෙත් අප නොදැන සිටියාට වන විට අප බුද්ධාගම්කාරයන් වෙලා.

 

ආගම කියන වචනයේ තේරුම අප වෙතට පැමිණි යන්න බව කියැවෙනවා. වාචික හරි ග්‍රන්ථාරුඪ හරි වෙන්න පුළුවන්. ලැබුණු දේ විශ්වාස කිරීම තමයි ආගමක වෙන්නෙ. භාරතීය මතය. බටහිර රිලිජන් යන්නෙහි තේරුම අධිමානුෂික බලයක් පිළිබඳ ඇති විශ්වාසය හා එයට භක්තිමත්වීම කියා කියන්න පුළුවන්. බුදුන් වහන්සේගේ ධර්මය එහි ඵස්සිකයි. එව බලව එහි පදනමයි. අප බුදුදහම විශ්වාස කරන්නේවත් ගැන ඇති භක්තියක් ඇතිව කටයුතු කරන්නේවත් නැහැ. අප එය පිළිගන්නේ විමසා බලා. මා කියනනේ නැහැ හැම බෞද්ධයකු බුදුදහම විමසා බලා තියෙනවා කියා. එහෙත් ඕනෑම අයකුට සඳහා අවස්ථාව තියෙනවා.

 

මා දන්නා බටහිර විද්‍යාවෙහිත් අවස්ථාව නැහැ. අප සියලු දෙනාට බටහිර විිද්‍යාවේ කියන ඕනෑම කරුණක් විමසන්න අවස්ථාව නැහැ. අප කරන්නේ කිහිප දෙනකු කියන දේ විශ්වාස කිරීම පමණයි. කිහිප දෙනාටත් ඇත්තේ සදා නොනවතින විමසීමක්. විමසීමෙහි කෙළවරක් නැහැ. නිවුටන්ගේ නියමවත් හරියට නොදැන නොවිමසා කී දෙනකු විශ්වාස කරනවා ? නිවුටන්ගේ නියම වලංගු වන්නේ ඊනියා අවස්ථිතික සමුද්දේශ රාමුවක පමණයි. එවැනි රාමු තියෙන්නෙ කොහෙද කියා කිසිවකු දන්නේ නැහැ. වත්මන් භෞතික විද්‍යාවේ අංශු කියා දෙයක් නැහැ. ඇත්තේ ඊනියා ක්‍ෂෙත්‍ර හා ක්‍ෂෙත්‍රවල ක්වොන්ටම් උත්තේජන පමණයි. තේරුණා ? තේරුණෙ නැතත් මතක තබා ගන්න. විශ්වාස කරන්න.  ඊනියා බුද්ධිමය සාකච්ඡාවල දී කියන්න.

 

මෙරටට බුදුදහම නිල වශයෙන් ලැබී ඇත්තේ මිහිඳු මහා රහතන් වහන්සේගෙන්. එහෙත් එයට කලිනුත් මෙරට බෞද්ධයන් සිටි බවට මහාවංසය සාක්‍ෂි දරණවා. සමන් දේව හෙවත් සමන් දෙවියන්, චූලෝදර මහෝදර මණිඅක්ඛික නාග රාජයන්, මෙරට වාසය කළ දේව නාග ජනකොටස්වලට අයත් වූවන්. ඔවුන් බෞද්ධයන් වූ බවට සැකයක් නැහැ. යක්‍ෂයන් නම් බෞද්ධ වීම තරමක් පමා කර ඇති බවක් පේනවා.

 

බුදුදහම ඔවුන් තම ජීවිතවලට ඇතුල් කරගෙන සිටි බවයි කියන්න වෙන්නෙ. බුදුදහමෙහි හරය කුමක් ? මා කලින් සඳහන් කළාක් මෙන් ජීවත් නොවීම සඳහා ජීවත් වීමයි. මෙහි ජීවත් නොවීම යන්නෙන් අදහස් කරන්නේ මතු භවයක ජීවත් නොවීමයි. එනම් යළි නූපදීමයි. අප කළ යුත්තේ යළි නූපදීම සඳහා යළිත් භවයක ජීවත් නොවීම සඳහා මේ භවයේ ජීවත් වීමයි. අපේ ජීවන ක්‍රමය එයයි.

 

ආගම් එහෙම නො වෙයි. ආගම්වල අරමුණ සදාකාලික නොමැරී ඉන්න ක්‍රමයක් සලසා ගැනීමයි. එය ස්වර්ගය වෙන්න පුළුවන්. නැත්නම් බ්‍රහ්මන් සමග එක් වීම වෙන්න පුළුවන්. අද්වෛත වේදාන්තය අනුව නම් බ්‍රහ්මන් හා තමන් ආත්ම දෙකක් නොව එකක් පමණක් බව තේරුම් ගැනීම. ඔවුන් පෘථග්ජන කියන්නේ එක්වීම සාක්‍ෂාත් කර නොගත් වෙන් වූ ජනයා කියන අරුතින්.  ඔවුන්ගේ බ්‍රහ්මන් ගැන හරි ලෝකය (විශ්වය) මැවු දෙවියන් වහන්සේ හරි ගැන ඇත්තේ විශ්වාසයක් හා භක්තියක්. අද අප හදන්නේ හැකි නම් මෙලොව නොමැරී ඉන්න. නැත්නම් මෙලොව සැප විඳීමට ස්වර්ගයක් නිර්මාණය කර ගන්න.

 

මිහිඳූ මහා රහතන් වහන්සේ අපේ ජීවිතයට බුදුදහම ඇතුල් කළා. එය නිල වශයෙන් සිදු වුණා කියන්න පුළුවන්. උන්වහන්සේට පසු අප බෝධි වන්දනාව කරනවා. එය බුදුදහම අපේ තිබුණු සංස්කෘතියට අවශෝෂණය කිරීමක්. වැඳීම කියන්නෙ එක් අතකින් ගරු කිරීමක්. අප බුදුන් වඳිනවා. ධර්මයට වඳිනවා. සංඝයා වහන්සේට වඳිනවා. දෙමව්පියන්ට වඳිනවා. ගුරුවරුන්ට වඳිනවා. මා කියන්නේ නැහැ දේශපාලනඥයන්ට වඳින්න ඕන කියා. පිිදිය යුත්තන් පිදීමයි අපේ ජීවන ක්‍රමය. පිදිය යුත්තන් පමණක් නොවෙයි පිදිය යුතු වස්තුන් අප පුදනවා. ධාතුන් වහන්සේ බෝධින් වහන්සේ එයට උදාහරණ. අප වස්තුන් වහන්සේ ලෙස හැඳින්වීමෙන් එක්තරා ආකාරයකට ජීවමාන කර තියෙනවා. වැඳීමෙන් කුමන අරුතකින්වත් අපේ කොන්ද කැඩෙන්නේ නැහැ. එහෙත් වෙනත් අය කියන දේ විමසීමකින් තොරව විශ්වාස කිරීමෙන් නම් කොන්ද කැඩෙනවා.

 

අප බුදුන් වහන්සේ අධිමානුෂික යැයි සිතන්නේ නැහැ. අපට උන්වහන්සේ කෙරෙහි ඇත්තේ ගෞරවයක් ශ්‍රද්ධාවක් මිස භක්තියක් නො වෙයි. භක්ති වන්දනාව හින්දු ආගමේ වැඩක්.  අපට භක්ති වන්දනා නැහැ. අප ගරු කිරීමට වඳිනවා. එය පිිදිය යුත්තන් පිදීමක්. බුදුන් වහන්සේත් මනුෂ්‍යයෙක්. සසර කෙළවර නොකළ අයට සසර කෙළවර කිරීමට මග පෙන් වූ මනුෂ්‍යයෙක්. අපි බුදුන් වහන්සේට යාඥා කරන්නේ නැහැ. උන්වහන්සේට අපේ සසර කෙළවර කරන්න බැහැ. අපේ සසර අප කෙළවර කරගන්න ඕන.

 

අනුරාධපුරයේ මැද භාගය පමණ වන තුරු අපට ආගමක සේයාවක්වත් තිබුණේ නැහැ. අප බුදුදහම අපේ සංස්කෘතියේ ප්‍රධාන අංගය බවට පත් කර ගත්තා. අප අනුව ජීවත් වුණා. ජීවත් නොවීමට ජීවත් වුණා. අපේ ආර්ථිකය සංස්කෘතිය ආදී සියල්ල නිවීම පදනම් කර ගත්තා. අප සාමාන්‍ය ව්‍යවහාරයේ කියනවා නිවී සැනසිල්ලේ ජීවත් වෙන්න කියා. භවයේ අපට අවශ්‍ය වන්නේ නිවී සැනසිල්ලේ ජීවත් වෙන්න. නිවුණු පසු සසර කෙළවරයි. ඉන් පසු සැනසිල්ලේවත් ජීවත් වෙන්නේ නැහැ.

 

එහෙත් තුන්වැනි පස්වැනි සියවස් අතර මෙරට සංස්කෘතියේ යම් වෙනසක් සිදු වී තිබෙනවා. වෙනස අනුරාධපුරයේ සමාධි පිළිම වහන්සේ හා අවුකන පිළිම වහන්සේ අතර ඇති වෙනස කියන්නත් පුළුවන්. අපේ සරලකම තරමක් අඩු වුණා. බුදු හාමුදුරුවන් අසාමාන්‍ය වුණා. අපට ආන්ද්‍ර ප්‍රදේශයේ බ්‍රාහ්මණ බුදුදහමක් ලැබී තිබෙනවා. එය මියන්මා ඉතිහාසයෙත් දකින්න පුළුවන්. මියන්මා බුදුදහම ආන්ද්‍ර ප්‍රදේශයෙන් ලැබුණු එකක්. ශ්‍රද්ධාවේ තැනට භක්තිය පමුණුවන්න උත්සාහ කෙරුණා. අපට ආගමක සේයාවක් ආවා. එහෙත් අප ආගම් කාරයන් වුණේ නැහැ.

 

ඉන් පසු අපට හින්දු ආභාසයත් ලැබුණා. අනුරාධපුරය හා පොළොන්නරුව අතර පැහැදිලි වෙනසක් තියෙනවා. ගාමිණීලා උදයලා සේනලා අභයලා වෙනුවට අපට විජයබාහු ලා පරාක්‍රමබාහුලා ලැබුණා. පරාක්‍රමබාහු මහා පරාක්‍රමබාහුත් වුණා. අපේ සරල බව නැති වෙන්න පටන් ගත්තා. සරල ප්‍රෞඪ බව වෙනුවට සංකීර්ණ දීන බවක් ඇති වීම ඇරඹුණා. ගල් තලාවේ වාඩි වී බණ ඇසූ රජවරු වෙනුවට ලතා මණ්ඩපවල අසුන් දැරූ රජවරු අපට ලැබුණා.  සඳකඩ පහණින් ගවයා ඉවත් කෙරුණා. සංස්කෘත වචන සිංහල භාෂාවට හුරු වුණා. කුල ක්‍රමය කුල භේදයක් බවට පත් වුණා. බ්‍රාහ්මණ සම්ප්‍රදායක් බලවත් වෙන උත්සාහයක් තිබුණා.

 

අප ඉන් පසු බ්‍රාහ්මණ සම්ප්‍රදායට එරෙහි විටින් විට කටයුතු කරල තියෙනවා. කුරුණැගල යුගයේ ලියැවුණු උම්මග්ග ජාතකය උදාහරණයක්. එහෙත් අප ටිකෙන් ටික මායා රටට පන්නනු ලැබුවා. අප පිහිටි රටෙන් හා රුහුණු රටෙන් ඉවත් වුණා. ඒත් අපට ආගමක් ඇති වුණේ නැහැ. අපට සංස්කෘතියක් හා හා බැඳුණු ජීවන රටාවක් තිබුණා. අපි ආගම් කාරයන් වුණේ නැහැ.

 

එහෙත් පෘතුගීසීන්ගේ පැමිණීමත් සමග සියල්ල වෙනස් වෙන්න පටන් ගත්තා. සොළීන් මෙරට හිටියේ ටික කලයි. අපට ඔවුන් විටින් විට පරාජය කර පළවා හරින්න පුළුවන් වුණා. සොළින් නිසා අපට හින්දු ආගමේ සේයාව වැටුණු නමුත් අප ආගම් කාරයන් වුණේ නැහැ. එහෙත් අපට පෘතුගීසීන් පළවා හරින්න බැරි වුණා. එපමණක් නො වෙයි දොන් ජුවන් ධර්මපාල ඇතුළු අය කතෝලික වුණා. සමහර විට සොළී ආභාසයෙන් ඇතැම් සිංහලයන් පොළොන්නරු යුගයේත් හින්දු වෙන්න ඇති. මා දන්නේ නැහැ. එහෙත් සොළීන් ගිය පසු ඔවුන් ආගම අත් හරින්න ඇති. කෙසේ වෙතත් අද සිංහල හින්දු කියා කොටසක් නැහැ. මුස්ලිමුන් මෙරට කිසි ප්‍රදේශයක් කිසි දා යටත් කර ගත්තේ නැහැ. කෙසේ නමුත් සිංහල ඉස්ලාම් භක්තිකයනුත් නැහැ. 

 

අප බෞද්ධයන් වුණේ භාරතයේ (දඹදිව) කිසිවකු අප යටත් කළ නිසා නො වෙයි. දේව ජනකොටසට අයත් සමන් දේවයන් චූලෝදර මහෝදර මණිඅක්ඛික නා රදුන් කිසිවකුට යටත් නොවී බෞද්ධයන් වුණා. පසු කලෙක දේවානම්පිය තිස්ස රජු හරි උත්තිය රජු හරි බෞද්ධ වුණෙත් කිසිවකුට යටත් වීමෙන් පසුව නො වෙයි. බුදුදහම ධර්මයක් මිස ආගමක් නොවන බැවින් පිළිගැනීමට කිසිවකුට යටත් වීමක් අවශ්‍ය නැහැ. විශ්වාස ඇති වීමට බය යටත් වීම හේතු වෙනවා. අද අප බටහිර දැනුම විමසුමකින් තොරව විශ්වාස කරන්නේ බටහිරයන්ට යටත් නිසා, බය නිසා. බටහිර විද්‍යාව විශ්වාස කරන කී දෙනෙකු එය හදාරා තියෙනවා ?

 

දොන් ජුවන් ධර්මපාල රජුගේ තත්වය වෙනස්. ඔහු කතෝලික වූයේ පෘතුගීසීන්ට යටත් වීමෙන් පසුව. ඔහුට කතෝලික ආගම වැළඳ ගැනීමට සැලැස්සුවා. ආගමක් වැළඳ ගැනීම හා ධර්මයක් පිළිගැනීම යනු දෙකක් මිස එකක් නො වෙයි. දොන් ජුවන් ධර්මපාල රජු සමග එකල කෝට්ටේ සහ අවට සිටි ඇතැම් ප්‍රභූනුත් කතෝලික ආගම වැළඳ ගෙන ඇති බව පැහැදිලියි. ඔවුන් සමහර දෙනකුට දොන් දෝන යන පෘතුගීසි ගෞරව නාමත් ලැබී තියෙනවා. පසුව විවිධ අය තම තමන් දොන් නම අරගෙන. ඇතැමුන් නම අරගෙන ඇත්තේ ඉංගිරිසි පාලන සමයේ වීම ගැන මා වැඩි දෙයක් කියන්නේ නැහැ. ඔවුන් පසුව බලය හා වරප්‍රසාද සඳහා බෞද්ධ වූ බව පමණක් කියනවා.

 

කෙසේ නමුත් දොන් ජුවන් ධර්මපාල රජුගෙන් පසු මෙරට ආගම්කාරයන් බිහි වුණා. දොන් ජුවන් ධර්මපාල රජු මෙරට සිටි එක ආගම්කාර රජු වෙන්න ඇති. කලින් සිංහලයන් අතර හින්දු භක්තියන් ඉන්න ඉඩ තිබුණත් ඔවුන් ඉතා කෙටි කාලයකට සීමා වෙන්න ඇති. එහෙත් සිංහල කතෝලිකයන් අවුරුදු පන්සීයකට පසුත් අදත් දකින්න පුළුවන්. එමෙන් ඉංගිරිසි පාලන සමයේ දී ඇතැමුන් මෙතෝදිස්ත ඇංග්ලිකන් ආදී ක්‍රිස්තියානි ආගම් වැළඳ ගෙන තියෙනවා. ලන්දේසි යුගයේ දී ඇතැමුන් ලන්දේසි රෙපරමාදු ආගම වැළඳ ගන්න ඇති. එහෙත් රෙපරමාදු භක්තිකයන් ඉංගිරිසි පාලන සමයේ දී ඉංගිරිසින්ගෙන් ලැබුණු විවිධ ක්‍රිස්තියානි ආගම් වැළඳ ගත් බවක් පේනවා.

 

මෙය තරමක ගැටළුවක්. කතෝලිකයන් විවිධ ක්‍රිස්තියානි ආගම් වැළඳ නොගත්තේ ඇයි. බොහෝ බෞද්ධයන් යටත් විජිත සමයේ දී කතෝලික ආගම හරි ක්‍රිස්තියානි ආගම් හරි වැළඳ නොගත්තේ ඇයි? බෞද්ධයන්ට ආගමක් අවශ්‍ය වුණේ නැහැ. ඔවුන් බුදුදහම පදනම් කරගත් සංස්කෘතියක ජීවත් වුණෙ. දොන් ජුවන් ධර්මපාල රජු සමග ප්‍රභූන්ට කතෝලික ආගම වැළඳ ගැනීමට ඔවුන් ඊනියා ක්‍ෂත්‍රිය වංශයට අයත් වීමත් රජුට සේවය කිරීමට බැඳී සිටීමත් බලපාන්න ඇති. සමග කතෝලික සංස්කෘතියේ ඇති සාමුහිකත්වයත් යම් දුරකට හේතු වන්න ඇතැයි සිතනවා.

 

එහෙත් සියල්ලට වඩා හත්වැනි බුවනෙකබාහු රජුට සීතාවක මායාදුන්නේ රජුගෙන් වූ තර්ජනය දොන් ජුවන් ධර්මපාල කුමරු කතෝලික ආගම්කාරයකු කරවීමට හේතු වී තිබෙනවා. ධර්මපාල රජු කතෝලික වීම පාදක කරගෙන කතෝ්ලිකයන් වූ සිංහලයන්ට දොන් ජුවන් ධර්මපාල රජුගෙන් පසු ආරක්‍ෂා කිරීමට පෘතුගීසි රජු හැර වෙනත් රජකු පහත රට සිටියේ නැහැ. ඔවුන් කතෝලික ආගමේ රැඳී සිටියා. රාජ්‍යය කෝට්ටෙන් මහනුවරට ගියා. විමලධර්මසූරිය රජුත් කොනප්පු බණ්ඩාර ලෙස කතෝලික වී පසුව ආගම අත්හැරියා. දෝන කතිරිනා බිසව නම් කතෝලික ආගම අත්හැර නැති බවයි කියැවෙන්නේ. එහෙත් ඇගේ දරුවන් කතෝලික වුණේ නැහැ.

 

ඉතිහාසයේ මේ කරුණත් විමර්ෂණයට ලක් වී නැහැ. කොනප්පු බණ්ඩාර කතෝලික ආගම වැළඳ ගත්තේ සීතාවක රාජසිංහ රජුගෙන් පළා ගොස් පෘතුගීසීන්ට එක් වීමෙන්. දොන් ජුවන් ධර්මපාල රජුත් කතෝලික වීමට සැලසුම් කෙරුණේ සීතාවක රාජ්‍යයෙන් ගැල වී සිටීමට. ඉහත කාලවලත් මෙරට රජවරු අතර බලය සඳහා සටන් ඇති වී තිබෙනවා. ඇතැම් රජවරුන් සේනා සංවිධානය කර ගැනීම සඳහා භාරතයේ රාජ්‍යවලට ගොස් තිබෙනවා. මානවම්ම රජු වැන්නන් වර්මන් නමත් අරගෙන තියෙනවා. එහෙත් අපට හින්දු රජවරුන් හිටි බවක් කියැවෙන්නේ නැහැ. නුවර යුගයේ රජ කළ නායක්කාර් වාංශික රජවරුන් පවා අඩු තරමෙන් නාමික වශයෙන් හින්දු ආගමින් බැහැර වී තියෙනවා. 

සීීතාවක රාජසිංහ රජුගෙන් ආරක්‍ෂා කිරීමට දොන් ජුවන් ධර්මපාල කුමරු කතෝලිකයකු ලෙස බෞතීස්ම කිරීම පෘතුගීසි කොන්දේසියක් වූවාට සැකයක් නැහැ. තමයි මෙරට නූතනත්ව ක්‍රිස්තියානි සංස්කෘතික ආධිපත්‍යයේ පළමු පියවර. පෘතුගීසීන් ආගමින් කතෝලික වුණත් ඔවුන්ට වන විටත් නූතනත්ව ක්‍රිස්තියානි සංස්කෘතිය බල පා ඇති බව පැහැදිලියි. මාටින් ලූතර් පූජකවරයා 1517 දී හිටි ගමන් පාප් වහන්සේට විරුද්ධ වුණේ නැහැ. ඊනියා යුරෝපිය පුනරුදය ඉතාලියේ ඇති වුණේ පහළොස්වැනි සියවසේ මැද භාගයේ දී. 

 

අපට පෘතුගීසි ආධිපත්‍යය මුළුමනින් පරාජය කරන්න බැරි වුණා. අපත් මුළුමනින් පරාජය වුණේ නැහැ. සීතාවක රාජසිංහ රජු වීරෝදාර ලෙස පෘතුගීසීන්ට එරෙහි සටන් කළත් අපට එවකට නාවික හමුදාවක් නොතිබීම නිසාත් යම් හේතුවක් නිසා භික්‍ෂූන් වහන්සේ රාජසිංහ රජුගෙන් ඈත්වීමත් නිසාත් පෘතුගීසීන් පළවා හැරීමට නො හැකි වුණා. භික්‍ෂූන් වහන්සේ රජුට එරෙහි වු දෙවැනි තීරණාත්මක අවස්ථාව මෙයයි. පළමු අවස්ථාව සීගිරි කාශ්‍යප රජුට විරුද්ධ වීම. අවස්ථා දෙකේ ඊනියා පීතෘ ඝාතන කතාවක් කියනවා. එහෙත් අදත් සීතාවක වැසියන් කතාව විශ්වාස කරන්නේ නැහැ. රාජසිංහ රජු අරිට්ඨකි වෙන්ඩු නම් බ්‍රාහ්මණයාට තල්ලු වීමටත් රජුට භික්‍ෂූන් වහන්සේගේ විරුද්ධත්වය හේතු වන්න ඇති. අපට වෑරදුණු තැන් දෙකක්. අප පෘතුගීසීන් පරාජය කළා නම් අප බුද්ධාගම්කාරයන් නොවීමටත් ඉඩ තිබුණා.

 

අනෙක් අතට පෘතුගීසීන් හත්වැනි බුවනෙකබාහු රජු රැවට්ටුවා. අවසානයේ දී පෘතුගීසීන් පළවා හැරුණේ ලන්දේසීන්ගේ ආධාරයෙන්. අප කළේ ඉඟුරු දී මිරිස් ගැනීමක් බව අදත් කියැවෙනවා. ලන්දේසීන් උඩරට රජවරුන් රෙපරමාදු ආගමට බඳවා ගත්තේ නැහැ. එහෙත් ඔවුන් අපට හින්දු නායක්කාර් වාංශිකයන් ගෙනැවිත් දුන්නා. එමෙන් මෙරට කුල පීඩනයක් ඇති කිරීමට කටයුතු කළා.

 

මා හිතන්නෙ නැහැ නරේන්ද්‍රසිංහ රජුට මෙරටින් ක්‍ෂත්‍රිය වාංශික කුමරියක් සොයා ගැනීමට බැරි කමක් තිබුණා කියා. ඔහුගේ කෙළි ලොල් ජීවිතය නිසා ඔහුට මදුරා පුරයෙන් නායක්කාර් වාංශික බිසවක් ගෙනැවිත් දීමට කටයුතු කර තියෙනවා. සමග විශාල පිරිසක් මදුරා පුරයෙන් මහනුවරට පැමිණ තිබෙනවා. එයට අමතර භාරතයෙන් පැමිණි බ්‍රාහ්මණයන් පිරිසක් මහනුවර දී ඊනියා රදළ කුලයක් බවට පත් කර මෙරට ක්‍ෂත්‍රියයන් පැත්තකට දැමීමේ ක්‍රියා දාමයක් ලන්දේසීන් ආරම්භ කර තිබෙනවා. අනුරාධපුර යුගයේ තිබූ කුල ක්‍රමය පොළොන්නරු යුගයේ දී කුල භේදයක් බවටත් ලන්දේසින්ගේ අනුග්‍රහයෙන් නුවර යුගයේ දී කුල පීඩනයක් බවටත් පත් වී තිබෙනවා.

 

ඉංගිරිසි යටත්විජිත සමයේ සබරගමුවේත් ඊනියා රදළ පැලැන්තියක් ඇති කෙරී තිබෙනවා. සිංහල බෞද්ධයන් ආගමක් නොඇදහුවත් ලනදේසි සමයේ සිට ඇතැම් හින්දු ආගමික මති මතාන්තර සිංහල සමාජයට ඇතුල් කෙරී ඇත්තේ කුල පීඩනයක් ලෙස. ඉංගිරිසින් ක්‍රමයෙන් බුදුදහමට අපහාස කරන්නත් සිංහල බෞද්ධ සංස්කෘතිය බිඳ දමන්නත් පටන් ගත්තා. ඔවුන් 1815 සිංහල ඉංගිරිසි ගිවිසුමෙන් පොරොන්දු වූ පරිදි බුදුසසුන පෝෂණය කර රැක ගත්තේ නැහැ. ඔවුන් බුදුසසුන පිළිබඳ දුන් සියලු පොරොන්දු කඩකර 1840 දී දන්ත ධාතුන්වහන්සේගේ භාරකාරත්වය දියවඩන නිළමේට පැවරුවා.

 

ඉංගිරිසින්ට අවශ්‍ය වුණේ සිංහල ගිහි බෞද්ධයන් හා භික්‍ෂූන් වහන්සේ අතර වූ සම්බන්ධය කඩා බිඳ දමන්න. භික්‍ෂූන් වහන්සේ කියන්නේ ගිහිගෙහි නැති වුවත් ගිහියන්ගෙන් ඈත් වූ පිරිසක් නො වෙයි. සිංහල බෞද්ධ සංස්කෘතියයි. භික්‍ෂු භික්‍ෂුණි උපාසක  උපාසිකා සංකල්පය  සිංහල බෞද්ධ සංස්කෘතියෙහි මුල සිට දකින්න පුළුවන්. බ්‍රවුන්රිග් ආණ්ඩුකාරයාට මෙය රිස්සුවේ නැහැ. ඔහු දැක්කේ භික්‍ෂූන් වහන්සේ ගිහියන්ගේ හැම කටයුත්තකට සහභාගි වෙන පිරිසක් ලෙස. ඔහුට මේ ගිහි පැවිදි සම්බන්ධය කඩන්න මුල සිට අවශ්‍ය වී තිබුණා.

 

මෙරට ඉංගිරිසි අධ්‍යාපනය ඇරඹුනේ ශ්‍රී වික්‍රම රජසිංහ රජු කන්ද උඩරට සිංහලේ රාජ්‍යයේ රජ කරන සමයේ දී . මෙතෝදිස්ත පූජකවරුන් 1814 දී ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලය ඇති කිරීමෙන්. ඔවුන් ලන්දේසීන්ට වඩා සූක්‍ෂම තම ආගම ප්‍රචාරය කිරීමට පාසල් යොදා ගත්තා. එහෙත් මිෂනාරීන් සිතූ තරමට ක්‍රිස්තියානි ආගම පැතිර ගියේ නැහැ. ප්‍රභූන් පිරිසක් පමණයි විවිධ ක්‍රිස්තියානි ආගම් වැළඳ ගත්තෙ. ඔවුනුත් ආගම් කාරයන් බවට පත් වුණා. එසේ ආගම් කාරයන් බවට පත් වූ පිරිස් එකතු වී බුදුදහමට නින්දා අපහාස කරන්න පටන් ගත්තා. දහනවවැනි සිය වස අග භාගයේ ලංකාවේ තත්වය වූයේ එයයි. දාවිත් සිල්වා හා සිරිමාන්න යන අයගේ නම් මේ සම්බන්ධයෙන් කියැවෙනවා.

 

එකල රටේ වැදගත් පුද්ගලයන් වූයේ ක්‍රිස්තියානි ආගම්, විශේෂයෙන් ඇංග්ලිකන්, මෙතෝදිස්ත ආගම් වැළඳ ගත් අය. ඔවුනුත් ඇතැම් සිංහල බෞද්ධයනුත් ඉංගිරිසි ආර්ථිකයෙන් පළ නෙළාගත් අය. පතල් කරමාන්තය අරක්කු රේන්දය, භෝග වැවිලි මතයි ඉංගිරිසි ආර්ථිකය ගොඩ නැගුණෙ. ඇංග්ලිකන් ක්‍රිස්තියානි මෙතෝදිස්ත ආගමිකයන් බුදුදහමට කරන ලද අපහාස ගැන භික්‍ෂුන් වහන්සේත් ගිහි බෞද්ධයනුත් කණසල්ලෙන් සිටි බවට සැකයක් නැහැ.

 

එකල භික්‍ෂූන් වහන්සේ ගැනත් යමක් කියන්න ඕන. සිංහල බෞද්ධ සංස්කෘතියේ විඤ්ඤුන් වහන්සේ වූයේ භික්‍ෂූන් වහන්සේ. උන්වහන්සේ බුදුදහම මෙන් පෙරපර දෙදිග දැනුම් ගැනත් මනා අවබෝධයකින් සිටි බව පැහැදිලියි. උන්වහන්සේ බටහිර පඬිවරුන් සමග ලිපි ගණුදෙනු කළ බව පමණක් නොව බටහිරයන් බුදුදහම පිළිබඳ උන්වහන්සේ විචාළ බවත් සඳහන් වෙනවා. මේ සම්බන්ධයෙන් හොඳ උදාහරණය වියනා කවයේ ප්‍රබල සාමාජිකයකු වූ අර්නස්ට් මාක්. ඇතැමුන් මඃ කියාත් උච්චාරණය කරනවා. මාක් බෞද්ධයකු ලෙස ජීවත් වූ බවත් ගාල්ල ප්‍රදේශයේ භික්‍ෂූන් වහන්සේ නමක සමග ලිපි ගණුදෙනු කළ බවත් කියනවා.

 

මාක් කියා සිටි එක් කරුණක් වූයේ බටහිර භෞතික විද්‍යාවේ ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි විස්තර කිරීමේ දී ඉන්ද්‍රිය ගෝචර නොවන සංකල්ප යොදා නොගත යුතු බවයි. එය ඇත්තට වියුක්ත (අමුර්ත) සංකල්පවලට හා ප්‍රවාදවලට එරෙහිව නැගූ හඬක්. නිවුටන්ගේ භෞතික විද්‍යාවේ ප්‍රධාන සංකල්පයක් වූයේ අවස්ථිති සමුද්දේශ රාමු. නිවුටන්ගේ නියම වලංගු වන්නේ එවැනි රාමුවල පමණයි. එහෙත් රාමු ඉන්ද්‍රිය ගෝචර නැහැ. එව බලව යන්න එහි දී ගැලපෙන්නේ නැහැ. තරුණ අයින්ස්ටයින්ට මාක්ගේ අදහස් බලපෑවා. අයින්ස්ටයින් පසු කලෙක සාධාරණ (විශේෂ නොවෙයි) සාපේක්‍ෂතා ප්‍රවාදය ඉදිරිපත් කිරීමේ දී අවස්ඵිති සමුද්දේශ රාමු අත්හැරියා. අතින් බලන විට සාධාරණ සාපේක්‍ෂතා ප්‍රවාදයට බෞද්ධ බලපෑමක් තියෙනවා. එපමණක් නොව අයින්ස්ටයින්ගේ විශ්වවේදයේ  අවකාශ කාලයට ශක්තියක් ඇති බව කියැවෙනවා.

 

එනම් අපට ආපෝ තේජෝ වායෝ පඨවි මෙන් ආකාශ ශක්තියක් ලෙස ගැනීමට සිදු වෙනවා. දැනට අවුරුදු විසිපහකට පමණ පෙර බටහිර විද්‍යාඥයන් විශ්වය ත්වරණයකින් ප්‍රසාරණය වන බව දැන ගත්තා. ප්‍රසාරණය සිදු වන්නේ ආකාශ ශක්තිය විසින් කෙරෙන විකර්ෂණයකින් බව දැන් කියැවෙනවා. මන්දාකිණි එකිනෙකින් ඈතට යන්නේ අකාශය නැත්නම් අවකාශ කාලය විසින් කෙරෙන විකර්ෂණයෙන් බවයි බටහිර විශ්වවේදීන් කියන්නේ. මා මේ කරුණු සඳහන් කෙළේ බටහිර භෞතික විද්‍යාවට බෞද්ධ සංකල්ප බලපා ඇති ආකාරයට එක් උදාහරණයක් ලෙස. එහි දී සිංහල භික්‍ෂූන් වහන්සේගේ දායකත්වය විදහා දැක්වීමට.

 

පෙරදිග ආකාශ ධාතුව ග්‍රීසියේ පස්වැනි සාරය වශයෙන් හඳුන්වන ආකාශයට වඩා වෙනස් බවත් කියන්න ඕන. ග්‍රීසියේත් ආපෝ තේජෝ වායො පඨවි තියෙනවා. එහෙත් පස්වැනි සාරය ලෙස ආකාශය ඇත්තේ වෙන . බෞද්ධ සංකල්පය අනුව ආකාශ ධාතුව අනෙක් ධාතුගෙන් වෙනස් නොවනවා පමණක් නොව එකක් අනෙකෙහි පවතිනවා. බටහිර භෞතික විද්‍යාව සම්බන්ධයෙන් ගත් කල මෙය තවත් විමසා බැලිය යුතු සංකල්පයක්.

 

කෙසේ නමුත් ක්‍රිස්තියානින් බුදුදහමට එරෙහිව කරන ලද නින්දා අපහාස පිළිබඳ භික්‍ෂුන් වහන්සේ නිසොල්මන් සිටියේ නැහැ. උන්වහන්සේ ක්‍රිස්තියානි දේශකයන්ට අභියෝග කළා වාදයට. එහි ප්‍රතිඵලය වූයේ පංච මහා වාද. මේ වාදවලට දායකත්වය සැපයුවේ ඉංගිරිසි ආර්ථිකයෙන් යමක් කමක් උපයා ගෙන සිටි පිරිස්. එය එසේ වෙන්න ඕන. අරක්කු රේන්දයෙන් හා භෝග වැවිලිවලින් මුදල් උපයා ගත් පාණදුරේ දානපතියන් (හා ධනපතිියන්) අතර සිටියා. එය ප්‍රශ්නයක් නො වෙයි. ඇතැම් උගතුන්ට නම් එය ප්‍රශ්නයක් වෙලා. එකල ක්‍රිස්තියානින්ට විරුද්ධ කටයුතු කළ හැකි තිබුණේ ඉංගිරිසි ආර්ථිකයෙන් ධනවත් වූ අයට පමණයි. කැලේ නසන්න කැලේ ගහක් අවශ්‍ය වීමක් වැන්නක් මෙහි දී පෙන්නුම් කරනවා. එහෙත් මෙහි වෙනත් පැත්තක් තිබුණා. අපේ සංස්කෘතිය බුදුදහමෙන් ඈත්වීමක් එහි දී පෙන්නුම් කෙරුණා. මෙය පසුව තවත් වර්ධනය වුණා. අද මත්පැන් ජාවාරම ප්‍රධාන ධන උපයන මගක් වෙලා. ඇතැමුන්ට සංවර්ධනය නාමයෙන් මෙරට ගණිකා මඩමක් කිරීමට අවශ්‍යයි. 

 

පංච මහා වාද සම්බන්ධයෙන් භික්‍ෂූන් වහන්සේ හතළිස් නමක් පමණ කටයුතු කළ බව පැවසෙනවා. එය ඉතා වැදගත් කරුණක්. උන්වහන්සේට බුදුදහම ගැන මෙන් බයිබලය හා වෙනත් ක්‍රිස්තියානි කෘති ගැන අවබෝධයක් තිබුණා. හුදෙක් බුදුදහම පමණක් දැන එකී වාදවලට සහභාගි වෙන්න බැහැ. මෙහි දී කිව යුතු කරුණු දෙකක් තිබෙනවා. එකක් වාදවල ප්‍රධාන කථික හාමුදුරුවන් වුණේ මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන් බව. දෙවනුව වාදවල කථිකයන් ලෙස ගිහියන් සහභාගි නොවූ බව.

 

ගුණානන්ද හාමුදුරුවන් වාදවලට විතරක් නො වෙයි වෙනත් කරුණුවලටත් සම්බන්ධයි. කොටහේනේ දීපදුත්තාරාමය සම්බන්ධ කටයුතුවලදීත් උන්වහන්සේගේ දායකත්වය අති විශාල වූ බව පැහැදිලියි. එකල තිබූ ක්‍රිස්තියානි සංස්කෘතික මෙන් දේශපාලන ආධිපත්‍යයට එරෙහි කටයුතු කිරීමට උන්වහන්සේට හැකි වුණා. එදා ක්‍රිස්තියානි බලවේග ඉංගිරිසි ආණ්ඩුවත් සමග එකතු වී පෙරහැර පැවැත්වීමට බාධා ඇති කළා. ගුණානන්ද හිමියන් සිංහල බෞද්ධ සංස්කෘතියට කර ඇති සේවය අගය කිරීම වෙනත් ලිපිවලින් කෙරෙනු ඇතැයි මා විශ්වාස කරනවා.

 

දෙවැනි කරුණ ගිහියන් වාදවල කථිකයන් ලෙස සහභාගි නො වීම. දහනවවැනි සියවස අගභාගය වන විටත් මෙරට ශාස්ත්‍රීය අධ්‍යාපනයේ නායකත්වය දැරුවේ භික්‍ෂූන් වහන්සේ. සිංහල බෞද්ධ සංස්කෘතියේ විඤ්ඤූන් වූයේ භික්‍ෂූන් වහන්සේ. මෙය අනුරාධපුර යුගයේ සිට පැවත එන්නක්. ඉඳහිට ගිහියන් ශාස්ත්‍රීය කටයුතුවලට සහභාගි වුණත් ශාස්ත්‍රීය කටයුතු කෙරුණේ් භික්‍ෂුන් වහන්සේ විසින්. භික්‍ෂූන් වහන්සේ තමයි සිංහල බෞද්ධ සංස්කෘතියේ ගුරුවරු. භික්‍ෂූන් වහන්සේ හුදෙක් ආගමික නායකයන් වුණේ නැහැ. සිංහල බෞද්ධයන්ට ආගමක් තිබුණේ නැහැ. අද භික්‍ෂූන් වහන්සේත් සිංහල බුද්ධාගම්කාරයන් විසින් තවත් ආගමික නායකයන් පිරිසක් පමණක් බවට පත් කෙරිලා. පොඩි වෙනසකට තියෙන්නෙ අසුනට ඇතිරිල්ලක් දැමීම පමණයි. ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවේ නම් ඒක කෙරෙන්නෙත් නැහැ. භික්‍ෂූන් වහන්සේ පාර්ලිමේන්තු වඩින්නේ අහවල් දේකට ? 

 

පංච මහා වාදවලින් පසුව තමයි එසේ  තත්වය වෙනස් වීමට පටන් ගත්තෙ. පාණදුරා වාදය පිළිබඳ ප්‍රසිද්ධියක් ඇතැම් අංශවල ඇති වුණා. හේතුවෙන් ඕල්කට්තුමා මෙරටට පැමිණියා. එතුමා බෞද්ධයකු නො වෙයි. එතුමා පරම විඥානාර්ථවාදියෙක්. මෙරටට පැමිණියේත් ඉන්දියාවේ මදුරාසියේ පරම විඥානාර්ථ මූලස්ථානයේ සිට. පරම විඥානය බුදුදහමට පටහැණියි. බුදුදහම ඊනියා විඥානවාදයක් නො වෙයි. බුදුදහම විඥානවාදයක්වත් භෞතිකවාදයක්වත් නො වෙයි. එය පදනම් වන්නේ පටිච්චසමුප්පවාදය මත කියාවත් මා කියන්නේ නැහැ. බුදුදහම පටිච්චසමුප්පන්නයි. එහි ඇති වාදයක් හරි ප්‍රවාදයක් හරි නැහැ. එය දහමක්. කලින් සඳහන් කළාක් මෙන් ජීවත් නොවීම සඳහා ජීවත්වීමට කියා දෙන දහමක්.

 

ඕල්කට්තුමා සහ භික්‍ෂූන් වහන්සේ අතර නොයෙකුත් මතභේද පැන නැගුණා. ඒ් පිළිබඳ විස්තර රාජකීය ආසියාතික සංගමයේ ඇතැම් පත්‍රිකාවල සඳහන් වෙනවා. ගුණානන්ද හිමියන් ධර්මපාලතුමා ඕල්කට්තුමාගෙන් ප්‍රසිද්ධියේ වෙන් වීම වැදගත් කරුණක්.

 

ඕල්කට්තුමාගෙන් පසු සිංහල බෞද්ධ සංස්කෘතියේ නායකත්වය ගිහියන් අතට පත්වුණා. බෞද්ධයකු නොවීත් ඕල්කට්තුමාටත් බෞද්ධයන් අතර නායකත්වයක් ලැබුණා. සිංහල බෞද්ධයන් අතර වූ විවිධ නායකත්ව ප්‍රශ්නත් එයට හේතු වෙන්න ඇති බවක් පේනවා. බෞද්ධ පරම විඥානාර්ථ සමාගම නමින් සමාගමක් එතුමාගේ නායකත්වයෙන් මෙරට ඇති වුණා. බුදුදහම හා පරම විඥානය අතර පෑහීමක් නැති වුවත් සමාගම මෙරට ක්‍රියාත්මක වුණු බලවත් සමාගමක් වුණා. සමාගමේ නායකත්වයට පත් වූයේ ගිහියන්. භික්‍ෂූන් වහන්සේ ක්‍රමයෙන් කොන් වුණා.

 

ඉංගිරිසි ක්‍රිස්තියානි ආධිපත්‍යයට එරෙහි සටන් කිරීමට සිංහල බෞද්ධයන්ට සංවිධානයක් තිබුණේ නැහැ. පංච මහා වාද තාවකාලික ක්‍රියා දාමයක් පමණක් වුණා. බෞද්ධයන් සංවිධානගත වීම කෙරුණේ ඕල්කට්තුමාගේ උපදේශකත්වයෙන්. බෞද්ධ පරම විඥානාර්ථ සමාගම එක් සමිතියක් පමණයි. සමග හෝ ඉන් පසුව හෝ තරුණ බෞද්ධ සමිතිය, සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය ආදී සංවිධාන ඇති වුණා. සියල්ලෙහි නායකත්වය ගිහියන් අතට පත් වුණා. භික්‍ෂූන් වහන්සේ ඊනියා අනුශාසකත්වයකට පමණක් පත්වුණා. මා ඊනියා කියා කියන්නේ එය හුදු නිල චාරිත්‍රයක් පමණක් වූ නිසා. සිංහල බෞද්ධයන් මුලින් ඕල්කට් බෞද්ධයන් වුණා. පසුව බුද්ධාගම්කාරයන් වුණා. 

 

ඕල්කට්තුමා ඒමට පෙරත් මෙරට බෞද්ධ පාසල් කිහිපයක් ඇති කර තිබුණා. එහෙත් පාසල්වලත් උගන්වන්නේ කුමක් කියන එක සම්බන්ධයෙන් පැහැදිලිකමක් තිබී නැහැ. සිංහල බෞද්ධයනට පැරණි පිරිවෙන ආශ්‍රයෙන් නව අධ්‍යාපන ආයතන බිහි කර ගැනීමට ක්‍රමවේදයක් තිබී නැහැ. අපරදිග ශාස්ත්‍ර ගැන අවබෝධයක් තිබූ භික්‍ෂූන් වහන්සේ ලබාගත් අධ්‍යාපනය ආයතනගත කිරීමට ක්‍රමයක් ඇති කර තිබුණේ නැහැ.

 

රත්මලානේ පරම ධම්ම චෙතිය පිරිවෙන ඇති කෙළේ 1841 දී,  විද්‍යොදය පිරිවෙන 1873 දී, විද්‍යාලංකාර පිරිවෙන 1875 දී. 1880 ඕල්කට්තුමා පැමිණීමට පෙර. පිරිවෙන්වල බටහිර දැනුම ඉගැන්වීමට සැලසුවේ නැහැ. දැන් මෙය කියන එක ප්‍රමාද වැඩියි. එහෙත් පිරිවෙන් පිහිටුවිය යුතු තිබුණේ බටහිර දැනුම උගන්වන ආයතන ලෙස. වන විටත් ලංකාවේ බටහිර දැනුම උගන්වන පාසල් කිහිපයක් ඇති කර තිබුණා. 1814 දී රිච්මන්ඩ් විදුහල මෙතෝදිස්ත විදුහලක් ලෙස ආරම්භ කෙරී තිබුණා. 1835 දී රාජකීය විදුහල ඇංග්ලිකන් ක්‍රිස්තියානි පාසලක් ලෙස ආරම්භ වුණා. අතර යාපනයේ බටහිර දැනුම උගන්වන පාසල් ඇරඹී තිබුණා. බටහිර දැනුම ක්‍රමයෙන් මෙරට අධිපතිවාදී දැනුම ලෙස ස්ථාපිත වෙමින් තිබුණා. පිරිවෙන්වල බටහිර දැනුම නූගැන්වීමෙන් පිරිවෙන පැරණි අධ්‍යාපනයට පමණක් සීමා වූ ආයතන බවට පත් වුණා. අප කළ යුතු තිබුණේ බටහිර දැනුම ගැන විවේචනයක් සමගින් එය ඉගැන්වීම. බටහිර දැනුම් ආධිපත්‍යයට යට නොවී එය ඉගැන්වීම.

 

ඕල්කට්තුමා පැමිණීමෙන් පසු මෙහි අනෙක් පැත්ත සිදු වුණා. ඉන් පසු ඇති වූ බෞද්ධ පාසල්වල බටහිර දැනුම ප්‍රධාන දැනුම ලෙස ඉගැන්වූ අතර බුදුදහම හුදු දැනුමක් ලෙස ඉගැන්වුණා. 1886 දී ආරම්භ කළ ආනන්ද විදුහලේ පළමු විදුහල්පතිවරයා වූයේ එංගලන්තයෙන් පැමිණ පසුව ක්‍රිස්තියානි පූජකවරයකු වූ ලෙඩ්බීටර් මහතා. මේ සියල්ලෙන් සිදු වුණේ සිංහල බෞද්ධ දැනුම පසුගාමී පැරණි දැනුමක් බවටත් බටහිර දැනුම නවීන දැනුමක් ලෙසටත් හැඳින ගැනීමක්. 

 

අප කළ යුතුව තිබුණේ ආනන්ද විදුහල බටහිර දැනුමත් උගන්වන පිරිවෙනක් බවට පත් කිරීමයි. එසේත් නැතහොත් පරම ධම්ම චෙතිය පිරිවෙනේ රාජකීය විදුහලේ ඉගැන්වූ බටහිර දැනුමත් ඉගැන්වීමයි. මෙය කළ නොහැක්කක් නො වෙයි. අවුරුදු ගණනකට පෙර එවැනි ආයතනයක් පිහිටුවීමට යෝජනා කළ නමුත් කිසිවකු එයට ඇහුම්කන් දුන්නේ නැහැ. දේශපාලනඥයන් නොව භික්‍ෂූන් වහන්සේවත් යෝජනාව ගණන් ගත්තේ නැහැ.

 

බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම භික්‍ෂූන් වහන්සේ නොදැනීමත් සමග උන්වහන්සේ අප සංස්කෘතියේ විඤ්ඤුන් බවෙන් ඈත් වුණා. එමෙන් බෞද්ධ සමිති සමාගම්වල භික්‍ෂූ නායකත්වයක් නැති වීමෙන් මෙරට සංස්කෘතියේ වෙනස්කම් ඇති වෙන්න පටන් ගත්තා. අනුරාධපුර යුගයේ කුල ක්‍රමය පොළොන්නරුවේ කුල භේදයක් බවටත් ලන්දේසින්ගෙන් පසුව කුල පීඩනයක් බවටත් පත් වීම භික්‍ෂූන් වහන්සේට බලපෑවා. අමරපුර නිකාය බිහි වුණේ දහනවවැනි සියවසේ මුල.

 

අවුරුදු සීයකට වැඩි කලක් තිස්සේ ඇති වූ වෙනස්කම් හේතුවෙන් විසිවැනි සියවසේ මුල් දශක දෙකේ සිංහල බෞද්ධයන් වෙනුවට සිංහල බුද්ධාගමක් සහිත සිංහල බුද්ධාගම්කාරයන් බිහි වුණා. අපි බුද්ධාගම්කාරයන් වුණා. අද වන විට සිංහල බෞද්ධ සංස්කෘතියෙහි ඇත්තේ බුද්ධාගමක්. අද අප බෞද්ධ දැනුමක් ගැන කතා කරන්නේ බණ සම්බන්ධයෙන් පමණයි. අපට බටහිර දැනුම සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය කර ගන්න බැරි වෙලා. අඩු තරමෙන් බටහිර දැනුමට බෞද්ධ ආරෝපණයක් දෙන්න බැරි වෙලා.

 

අප දැන් බුදුදහම බටහිරට අවශෝෂණය කරන්න වැඩ කරනවා. එහෙමත් නැත්නම් බුදුදහම බටහිරකරණයකට ලක් කරනවා. බුදුදහම තාර්කික යැයි කීමට විද්‍යාත්මක යැයි කීමට අප මහන්සි වෙනවා. කාළාම සූත්‍රයෙහි යමක් න්‍යායානුකූල නිසා පමණක්වත් තර්කානුකූල වූ නිසා පමණක්වත් පිළිගන්න එපා කියා  තිබිය දී. බුදුදහමෙහි චක්‍රීය ස්වභාවය අමතක කර, කොටින් ධම්මචක්ක පවත්තන සූත්‍රය අමතක කර ඇරිස්ටෝටල්ගේ රේඛීය චින්තනය අප අනුගමනය කරනවා. අපට අද අවශ්‍ය වී ඇත්තේ බටහිරයන්ට බුදුදහම විද්‍යාත්මක බව කීමට. මා හිතන්නේ අප දීන කමේ පතුළට වැටිලා.

 

අප අපේ සරල බව චාම් බව නැති කරගෙන. පොළොන්නරුවේ දී සුළුවෙන් පටන්ගත් බොහෝ දේ අද නාය යන තත්වයකට පත්වෙලා. එහෙත් අතර අප පන්සල් යනවා. ගමයි පන්සලයි අතර සම්බන්ධයක් නැහැ. ගමේ පන්සලක් තියෙනවා. අප උපදෙසක් ගන්න පන්සලට යන්නෙ නැහැ. අප පන්සල් යන්නේ මරණින් මතු සැපවත් ජීවිතයක් ගත කිරීමට. අප ශ්‍රද්ධාව වෙනුවට භක්තිය ඉස්මතු කරගෙන. බුදුදහම වත්මන් ජීවිතයට අදාළ නැහැ. බුද්ධාගම ජීවිතයේ පැත්තකින් තියෙනවා.

 

අද තරම් බණ  කීමක් මෙරට කිසි දවසක නොතිබෙන්න ඇති. බණ පරලොව සඳහා පමණයි. අද මෙලොවට බණ කියන්නේ ගිහියන්. 1921 විශ්වවිද්‍යාල ආයතනය පටන් ගැනීමෙන් පසු තත්වය බරපතල් වෙලා. බොහෝ විශ්වවිද්‍යාලවල බුදුදහම පිළිබඳ විශේෂඥයන් ගිහියන්. අද අප බුදුදහම ගැන ඉගෙන ගන්න ඊනියා පර්යේෂණ කරන්න එංගලන්තයට හා වෙනත් බටහිර රටවලට යනවා. හාමුදුරුවරුනුත් වඩිනවා. එකල බටහිර උගතුන් මෙරට භික්‍ෂූන් වහන්සේගෙන් ඉගෙන ගත් බවට අර්නස්ට් මාක් සාක්‍ෂියක්.

 

අද අපේ විඤ්ඤුන් බටහිර උගතුන් විද්වතුන්. ඔවුන් කියා ඇති දෙයක් අපට සිංහලෙන් කියා දෙන අය මෙරට උගතුන් බුද්ධිමතුන් ලෙස අප සලකනවා. හාමුදුරුවරුන් උගතුන් ලෙස සැලකෙන්නේ වැඩිම වුණොත් විනය පිටකය සම්බන්ධයෙන් පමණයි. අද අප දරුවන්ට ජාතක කතා කියා දෙන්නේ නැහැ. කියා දුන්නත් එහි ඇතැයි කියන ඊනියා යථාර්වාදයක් ගැන බොරු කතා කියනවා. අද මෙරට සමාජය ගැන අපට කියා දෙන්නෙත් බටහිර උගතුන්. ඊනියා සමාජ විද්‍යාඥයන් යැයි කියන අය. බුදුදහම ගැනත් කියා දෙන්නේ බටහිර උගතුන්.

 

අපට අද බුදුදහම ආගමක් පමණයි. බටහිර ලෝකය ක්‍රිස්තියානි ආගම ඇසුරෙන් සංස්කෘතීන් හා සභ්‍යත්වයක් සකස් කර ගනිද්දී අප අපේ සංස්කෘතියෙන් බුදුදහම ඈත්කර හුදු පරලොවට යෑමට උපකාර වන ආගමක් බවට පත්කරලා. අප අපේ සංස්කෘතිය බවට ක්‍රමයෙන් ක්‍රිස්්තියානි සංස්කෘතිය පත්කර ගනිමින් ඉන්නවා. එදා ජීවත් නොවීමට ජීවත් වූ අප අද ජීවත්වීම සඳහා ජීවත් වන්නේ නැහැ.  අපේ සරලබව නැහැ.ඇත්තේ පුහු ආටෝපයක් පමණයි. අප අද ලෝකෙට ණයයි.

 

අපේ ආර්ථික අර්බුදයට ප්‍රධාන හේතුව අප බුදුදහමෙන් ඈත් වීමයි. සිගාලෝවාද සූත්‍රය කාළාම සූත්‍රය පටිච්චසමුප්පදා සූත්‍රය ධම්මචක්කපවත්තන සූත්‍රය ආදිය අපේ ජීවිතවල නෙැහැ. බණට හා විභාගවලට පමණක් සීමා වෙලා. බණ අහන්නෙත් පරලොව දෙස බලාගෙන. බුද්ධාගමේ බණ. බුදුදහම නො වෙයි. සිගාලෝවාද සූත්‍රය අපේ ජීවිතවල තිබුණා නම් අප ණය වෙන්නේ නැහැ. අපේ අධිපරිභෝජනය, විලාසිතා, බොරු උගත්කම් එකඟ වන්නේ මොන බෞද්ධ සූත්‍රයට ?

 

එදා බුදුදහමට අපහාස කෙළේ ක්‍රිස්තියානි ආගමිකයන්. අද අපහාස කරන්නේ බෞද්ධ යැයි  කියන පවුල්වල උපන් නිරාගමිකයන්. එසේ කරන්නේ පාසල් හා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ජනමාධ්‍ය ආදිය මගින් ගෙනෙන බටහිර සංස්කෘතික ආධිපත්‍යය උපයෝගි කරගෙන. භික්‍ෂූන් වහන්සේ බටහිර දැනුමෙන් ඈත්වෙත් එසේ අපහාස කිරීමට පහසු වෙලා තියෙනවා. බුදුදහම බුද්ධාගමක් බවට පත්කර ගැනීම නිසා අප මෙලොව ඊනියා දියුණුවක් අත්කර ගැනීමට ක්‍රිස්තියානි සංකල්ප පස්සේ දුවනවා. අපට අද අවශ්‍ය වෙලා තියෙන්නෙ මෙලොච ස්වර්ගයක් කර ගන්න. ඒත් සඳහා ජීවත්වෙන්න අපට බැහැ. එබැවින් ස්වර්ගයේ ජීවත්වීම සඳහා අද අප ණය අරන්  ජීවත්වෙන්න බැරුව ඉන්නවා. එදා අප බෞද්ධයන් හැටියට ජීවත් නොවීම සඳහා ජීවත් වුණා. අප නිවීම සඳහා ජීවත් වුණා. අප කිසිවකුටවත් ණය වුණේ නැහැ. සිංහල බෞද්ධයන්ගේ හා සිංහල බුද්ධාගම්කාරයන්ගේ වෙනස. සිංහල බෞද්ධයන් කිසිවකුට ණය වුණේ නැහැ. සිංහල බුද්ධාගම්කාරයන් ලෝකෙට ණයයි.