History

Wednesday, 22 February 2023

සොක්කන් ලොක්කන් වීම

 සොක්කන් ලොක්කන් වීම

මේ ලිපි කියවන අය සිටින බව මා දන්නවා. ඔවුන්ගෙන් මා ඉල්ලා සිටින්නේ මේ ලිපිය කියවීමට පෙර යටින් පළ වී ඇති “හරිමි ගැමි කතා මම හරිනි ඔබ නිසා” ලිපිය කියවන ලෙස. අනෙක් අයට ලිපි දෙකට ම හා හා ලකුණු කර තම බුද්ධිමය කාර්යයක නිරත වෙන්න පුළුවන්.
අපේ රටේ දේශපාලනය තියෙන්නෙ ප්රභූ පංතිය (ඊනියා මාක්ස්වාදී පංති අරුතකින් නොවේ) හා නිර්ප්රභූ පංතිය අතර නො වෙයි. ජාතිකත්වය හා ජාතිකත්ව විරෝධය අතරත් දේශපාලනයක් තියෙනවා. ඒ අතර ප්රභූන් වීමට උත්සාහ කරන්නන් හා ප්රභූන් අතරත් සටනක් තියෙනවා. සමහර විට ඒ සටන් දෙකේ ම ඉන්න අයත් දකින්න පුළුවන්.
මා කතාව මගේ ළමා අවධියෙන් පටන් ගන්නන්. මගේ පියා සිංහල පාසල් ගුරුවරයෙක්, ගමේ ප්රභූ වරයෙක්. එහෙත් පණදුරේ ඊට වඩා ප්රාදේශීය ප්රභූන් හිටියා. පියාට ඒ ප්රභූන් ඇසුරු කරන්න පුළුවන්කම තිබුණා. එහෙත් ගමේ සාමාන්ය මිනිසුන්ට අපේ පියා හමුවීමට පුළුවන්කම තිබුණත් අර ප්රභූන් ඇසුරු කිරීමට නොහැකි වුණා.
දිනක් මා තාත්තාත් සමග අර ප්රභූවරයකු මුණ ගැසෙන්න ගියා. ඔහු තාත්තා සමග කතා කරන අතර මගෙන් ඇහුවා මොන පාසලට ද යන්නෙ කියා. මා රාජකීය විදුහලට බව කී විට ඔහු අමුතු කතාවක් කිවුවා. ඔහු ද කලක් රාජකීය විදුහලට ගිය බවත් එහෙත් එහි සිසුන්ගේ අහංකාරබව නිසා අස් වී ශාන්ත තෝමස් විදුහලට ගිය බවත්. පාණදුරේ බොහෝ ප්රාදේශීය ප්රභූන් ඉගෙන ඇත්තේ ශාන්ත තෝමස් විදුහලේ. මට එදා ඒ ප්රභූවරයා කී කතාව තේරුණේ නැහැ. ඒ 1957 හරි 58 හරි වෙන්න ඕන. මට වයස අවුරුදු දහතුනක් දහහතරක් වෙන්න ඇති. ඒ දිනවල ශාන්ත තෝමස් විදුහල රාජකීය විදුහලට වඩා ප්රභූ කියායි මා හිතන් හිටියේ.
එහෙත් කල් යෑමේ දී එහි අරුත මට වැටහුණා. රාජකීය විදුහල ආරම්භ කෙරී ඇත්තේ 1835 දි. ඒ ඇංග්ලිකන් ක්රිස්තියානි පෞද්ගලික පාසලක් ලෙස. එහෙත් අවුරුද්දකින් පමණ ඉංගිරිසි ආණ්ඩුව පාසල රජයට පවරා ගෙන. ඒ අර්ථයෙන් දිවයිනේ රජයට පවරා ගත් පළමු පාසල රාජකීය විදුහලයි. පාසල ආණ්ඩුවට පවරා ගෙන ඇත්තේ ඉතා ඉහළ ප්රභූ අධ්යාපනයක් සිසුන්ට ලබා දීමට. බොහෝ සිසුන් කොළඹ අවට ඉහළ ප්රභූ දෙමවුපියන්ගේ පුතුන්. බොහෝ දෙනා ඇංග්ලිකන් ක්රිස්තියානි.
ඊට ටික කලකට පසු ඇංග්ලිකන් ක්රිස්තියානි පල්ලිය ශාන්ත තෝමස් විදුහලත් ඊටත් ටික කලකට පසු මහනුවර ත්රිත්ව විදුහලත් ආරම්භ කර තියෙනවා. ඒ ප්රාදේශීය ප්රභූවරුන්ගේ පුතුන්ට ඉගෙන ගැනීමට. මුල දී වැදගතුන් වූයේ රාජකීය විදුහලේ ආදි සිසුන්. අර ප්රාදේශීය ප්රභූන් කොළඹ ප්රභූන් සමග සංසන්දනය කිරීමේ දී නිකමුන්. මේ නිකමුන් ඉංගිරිසි ආණ්ඩුව යටතේ වැදගතුන් බවට පත් කිරීම ශාන්ත තෝමස් ත්රිත්ව විදුහල්වල කාර්යභාරය වුණා. ඔවුන් ඇංග්ලිකන් ක්රිස්තියානින් වීම අවශ්ය වුණේ නැහැ. ඇංග්ලිකන් ගුරුවරු ඔවුන් සංස්කෘතියෙන් ඇංග්ලිකන් ක්රිස්තියානි කිරීමට කටයුතු කළා.
මාත් තාත්තාත් හමු වු ප්රභූවරයා රාජකීය විදුහලෙන් අස් වී ශාන්ත තෝමස් විදුහලට ගියේ නිකමකු වූ ඔහුට රාජකීය උෂ්ණය දරා ගැනීමට නොහැකි වීම නිසා. ඔහු ශාන්ත තෝමස් විදුහලේ අධ්යාපනය ලැබීමෙන් පසු වැදගතකු බවට පත් වුණා. කුමාරි ද සොයිසා ජයවර්ධනගේ නිකමුන්ගෙන් වෑදගතුන් බවට පොත කියෙවුවොත් එ අය වැඩි ප්රමාණයක් ශාන්ත තෝමස් විදුහලේ ආදි ශිෂ්යයන් බව වැටහේවි. මා දන්නා තරමින් නිකමුන්ගෙන් වැදගතුන් බවට යන්න ලංකාවේ දී ව්යවහාර කර ඇත්තේ ක්රිස්ටොෆර් ඔබේසේකර. ඔහු අමද්යප ව්යාපාරයේ නායකයන් හඳුන්වා දී ඇත්තේ වැදගතුන් බවට පත්වීමට දඟලන නිකමුන් ලෙස.
ඔබේසේකරලා ගැනත් වචනයක් කියන්න ඕනෙ. ඔවුන් පැවත එන්නේ පෘතුගීසි නිලධාරියකුගෙන්. අහංගම කතළුව පැත්තේ සිංහල කාන්තාවක සමග විවාහ වී තම ෆර්ඩිනැන්ඩස් කියන නම වෙනුවට හාමුදුරුනමකගේ උපදෙස් පරිදි ඔබේසේකර නම අරගෙන, එහි තේරුම ඔබේ නායකයා යන්න යැයි කියනවා. ඒ කෙසේ වෙතත් සියනෑ කෝරළයේ බණ්ඩාරනායකලා සමග ආවාහ විවාහවලින් ඔබේසේකරලා වැදගතුන් බව පත් වී තියෙනවා.
ඔය අවධියේ වැදගතුන් බවට පත් වූ බොහෝ අය ඉංගිරිසින්ගේ ආධාරයෙන් ගොවිගම කුලවැද්දමුක් ලබා ගෙන තියෙනවා. එ ඇංග්ලිකන් ක්රිස්තියානි වීමට අමතර ව. ඔබේසේකරලා පමණක් නොව බණ්ඩාරනායකලා සේනානානයකලා ජයවර්ධනලා ද එසේ වැදගතුන් වූ අය. තම්බි මුදියන්සේ ගැන කවුරුත් පහේ දන්නවා. බණ්ඩාරනායකලාගේ ඉතිහාසයත් බොහෝ දෙනා දන්නවා. සේනානායකලාත් කලකට පෙර බතෝලමියුස්ලා. ඔවුන් බෝතලේ වලවුකාරයන් වෙලා. සබරගමුවේ රදළ කියන අය ඉංගිරිසින් විසින් රදළ බවට පත් කෙරුණු අය. බණ්ඩාරනායක නම් අධ්යාපනය ලැබුවේ ගෙදර. ඔහු පසු කලෙක ශාන්ත තෝමස් විදුහලේ විදහල්පතිගේ (වෝඩ්න්) නිවසේ නැවතී ඉගෙන ගත් බව කියනවා.
රාජපක්ෂලාගේ ඉතිහාසය ගැන යමක් දැනගන්න බැරි වුණා. මහින්දගේ සීයා ඉංගිරිසි ආණ්ඩුව යටතේ ඉහළ වැලිකඩ කෝරලේ විදාන ආරච්චි තනතුර් හෙබවූ අයෙක්. ඔහු නමින් දොන් ඩේවිඩ් රාජපක්ෂ. දොන් කියන නාමය සේනානායකලාටත් තිබුණා. එය පෘතුගීසි ගෞරව නාමයක්. එහෙත් ඉංගිරිසින්ගෙ කාලෙ ඔවුන්ට පක්ෂපාත වුණු අයට එ නම දීල තියෙනවා. මහින්දගෙ තාත්තා දොන් ඇල්වින් රාජපක්ෂ රිච්මන්ඩ් විදුහලේ ක්රිකට් කණ්ඩායමේ නායකයා වී තියෙනවා. ඔහුගෙ සහෝදරයාගෙ පුතා ජෝරජ් රාජකීය විදුහලේ ක්රිකට් කණ්ඩායමේ නායකයා වෙලා තියෙනවා. නිරූපමා කියන්නෙ ජෝර්ජ්ගෙ දුව. මහින්ද ඒ සියල්ලන්ට ම වඩා ගේම් කාරයා.
විශේෂයෙන් ම නිදහස් අධ්යාපනයෙන් පසු අප වැනි ග්රාමීය ප්රභූන්ගේ පුතුන්ට ද රාජකීය විදුහලේ ඉගෙනීමේ අවස්ථාව ලැබුණා. මා හිතන්නේ නිදහස් අධ්යපනයෙන් පසු රාජකීය විදුහලේ උෂ්ණය ශාන්ත තෝමස් විදුහලේ උෂ්ණයට වඩා අඩු වුණා කියා. එහෙත් කොළඹ ඉහළ ප්රභූන්ගේ පුතුන් තවමත් රාජකීය විදුහලේ ඉගෙනීම ලබනවා. අද වන විට නම් ජාත්යන්තර පාසල් ද ඇති වී තියෙනවා. නිදහස් අධ්යාපනයෙන් මධ්ය මහා විදුහල්වල ඉගෙනීම ලෑබූ අයගේ දරුවනුත් අද ඉහළ ම ප්රභූ ජාත්යන්තර පාසල්වල ඉගෙනීම ලබනවා.
වැදගතුන් වූ නිකමුන් ප්රදේශීය ප්රභූන්ගේ දරුවන්. ලංකාව පාලනය කර ඇත්තේ පවුල් හතරක් කියනවා. ඔවුන් අඩුම තරමෙන් ප්රදේශීය ප්රභූන්ගෙන් පැවත එන්නන්. නිදහස් අධ්යාපනය නිසා ග්රාමීය ප්රභූන් නොවන්නන්ගේ දරුවන්ට මුණුබුරන්ට ද ඉහළ රැකියාවන්ට මෙන් ම ජාතික දේශපාලනයට ද පිවිසෙන්න අවස්ථාව ලැබුණා. ඒ දරුවන් තවදුරටත් ග්රාමීය නොවෙයි. අධ්යාපනයෙන් ඔවුන් නාගරික කරලා. ඒ නාගරික අධ්යාපනයෙන් කැඩෙන එක ලෙහෙසි නැහැ. අනුරලා විජිතලා හරිනි මෙන් ම නාගරිකයි. එහෙත් ප්රශ්නයක් තියෙනවා. ප්රභූන් ඔවුන්ට සලකන්නේ නැහැ.
එදා තිබුණේ නිකමුන් වැදගතුන් බවට පත්වීමේ දේශපාලනයක්. අද තියෙන්නෙ සොක්කන් වැදගතුන් බවට පත් වීමේ දේශපාලනයක්. ඒ මිස කිසි දා ප්රභූන් හා නිර්ප්රභූන් අතර සටනක් තිබුණේ නැහැ. නිකමුන්ට අවශ්ය වුණේ වැදගතුන් වෙන්න මිසක් වැදගතුන් පළවා හැරීමට නො වෙයි. ඒ නිකමුන්ගේ උත්සාහයට වැදගතුන් අකුල් හෙළුවා. එහෙත් පසුව ඔවුන් එකතු වුණා. අද ඇත්තේ සොක්කන්ට ලොක්කන් වීමේ වුවමනාව. එයට දැනට ඉන්න ලොක්කන් අකුල් හෙළනවා. ලොක්කන් පළවා හරින්නෙ නැහැ. සියල්ලන් ම ක්රීඩා (සටන්) කරන්නේ ඉංගිරිසින් හැදූ පිට්ටනිවල. කවුරුත් නාගරික දේශපාලනයක යෙදෙන්නෙ. නවක වදයත් මාස කිහිපයක් හරි ලොක්කන් වීමට අවශ්ය සොක්කන් විසින් කෙරෙන්නක්. (මතු සම්බන්ධයි)