History

Monday 27 February 2023

රනිල්දාසට සිනමා සම්මානයක් හා නූතනත්ව කුණුහරුප

 රනිල්දාසට සිනමා සම්මානයක් හා නූතනත්ව කුණුහරුප  

 

ඊයේ වි පෙ උද්ඝෝෂණ රැලියේ තිර පිටපත නම් එතරම් හොඳ නැහැ. රඟපෑම් නම් නරක නැහැ. අනුර කුමාර දිසානායකට රිංගීමට කඩේ දොර හරියට ඇරල තිබුණ වගේ. පොලිස් ආරක්‍ෂාව පිට කඩේට රිංගූ බවක් තමයි පේන්න තිබුණෙ. ඒකට කමක් නැහැ කියමු. එය වෙනත් අයටත් රූගත කරන්න ඉඩ දුන්නෙ මොකද? තමන් රූගත කරනවා වගේ නොවෙයි. දැන් ඒක අර කියන්න වගේ ජාත්‍යන්තරයට ගිහිල්ල. ඇමරිකාවෙ ඉන්න මටත් ලබුණා. මා නම් දැක්කෙ ටිකක් පමා වෙලා. එක එක රටවලට ඉර එන්නෙ එක එක වෙලාවට නෙ.

 

මා අහන්නෙ නැහැ අනෙක් නායකයන් විශේෂයෙන් ටිල්වින් සිල්වා හා ලාල්කන්ත කොහෙද ගියෙ කියල. සහෝදරයන් ඉන්න ඇති නෙ ආරක්‍ෂා සහිත එක්ක යන්න. වුණත් වි පෙ මේ රවටන්න හදන්නෙ කාවද කියන එක ප්‍රශ්නයක්. මට සෙනග නම් ප්‍රශ්නයක් නො වෙයි. මා බලාපොරොත්තු වූ තරමට සෙනග හිටි බවයි පේන්න තිබුණෙ.

 

උද්ඝෝෂණය පළාත් සභා මැතිවරණය කල් දැමීමට විරුද්ධ . රනිල් කිවුවට ඡන්දයක් නැහැ කියල ඡන්දෙට දින නියම කරල තිබුණෙ. ඡන්දෙ කල් දාල. ඕක පවත්තන ඡන්දයක් නොවෙයි. මා ඡන්දෙ තියනකම් බලා හිටියෙ ජාතික ජන බලවේගයට ලැබෙන ඡන්ද ප්‍රමාණය බලා ගන්න. තමයි වැඩි ඡන්දයක් ගන්න තිබුණෙ. ජා බලවේගයටත් ආයතන කිහිපයක් හරි ලැබෙන්න තිබුණ. එහෙම නම් අර වැවු දසදහසෙ දෙවැනි අදියර බලා ගන්න තිබුණා.

 

පරගලය වි පෙ හරි පෙරටුගාමීන් හරි මෙහෙයවපු එකක් නො වෙයි. සජිත් රනිල්දාස ගුණරත්නම් විතරක් නොවෙයි චම්පකත් ඒක ඩැහැගන්න බලා හිටියා. පරගලය අස්සෙ ඒක ඩැහැ ගැනීමට අරගලයක් තිබුණා. සජිත්ට පහර දුන්නෙත් අරගලය නිසා. චම්පක වෙනුවෙන් පරගලයට හාමුදුරුවරු වැඩියා. කාදිනල්තුමාත් නිතර දකින්න පුළුවන් වුණා. එතුමා පාස්කු ප්‍රහාරයෙ මහා මොළකරු හෙවුවා. හමුදාවෙ ඉහළ තැන්වලත් බලාපොරොත්තු තිබිල තියෙනවා. කොහොම හරි සෙප්පන්ට තරමක වාසියක් තිබුණා. රනිල් ඇවිල්ල කාගෙත් බලපොපොරොත්තු බිඳ දැම්ම.

 

රනිල් ඡන්ද තියන්න බලාපොරොත්තුවක් නැහැ. ඔහු ජනාධිපතිවරණය තියනකම් වෙන ඡන්ද තියන එකක් නැහැ. ජනාධිපතිවරණයත් කවද තියයි කියල රනිල්වත් දන්නෙ නැතුව ඇති. රනිල් පත් කරගත්තෙ අර ගෝටාගෝහෝම් ගමේ නාගරිකයන් නූණත් ඔවුන් එයට වග කියන්න ඕන. ඔවුන් විතරක් නො වෙයි ආණ්ඩුවෙන් අස්වෙලා ස්වාධින වුණු අයත් වග කියන්න ඕනෙ. දුර දිග බලන්නෙ නැතුව කරපු වැඩ නිසා දිග කාලයක් බලන් ඉන්න වෙයි.

 

පළාත් පාලන ඡන්දෙත් එක්ක වි පෙරමුණට ජනතා ආකර්ෂණයක් තිබුණා. කලකට පෙර වි පෙ හැව ඇරල වගේ ජා බලවේගයක් ඇති කරන් තිබුණ. එතන තියෙන්නෙ ටිල්වින් අනුර භේදය. වි පෙ නායකයා ටිල්වින්. ජා නායකයා අනුර. පැරණි වම කතා කෙළේ කම්කරු පංතියට. විජේවීර කතා කෙළේ ඊනියා නිර්ධන පංතියට. ටිල්වින් කතා කරන්නෙ නිර්ප්‍රභූ පංතියකට. ඕවා පංති කියල අහන්න වෙන්නෙ අලුක්කාල් මාක්ස්ලගෙන්. සමාජයේ නිෂ්පාදන ක්‍රියවලිය මත පදනම් වෙන පංති අලුක්කාල් මාක්ස්ලට නැහැ.

 

අනුර විජිත හේරත් හරිණි සහ තවත් අය නිර්ප්‍රභූන් නම් නොවෙයි. ටිල්වින්ලටත් අවශ්‍ය ප්‍රභූන් වෙන්න. ඒකට විප්ලවයක්  ඕන කියල හිතනවා. දැන් මේ පළාත් පාලන ආයතන ඡන්ද කල්දැමීමත් එක්ක විප්ලවයට පොටක් පෑදිලා. අර තමන්ට ආකරෂණය වුණු ජනතාවත් එක්ක විප්ලවය කරන්න තමයි වි පෙ සූදානම. ඒත් රනිල්දාසට ඕන විප්ලවයක් නැහැ. ඊයෙ උද්ඝෝෂණය ක්‍රියා මාර්ග දෙක අතර එකක්. ඒක සාර්ථක වුණෙ නැහැ. දැන් වි පෙ විප්ලවය අත්හරින්න සූදානම් ? මේක හරියට ගෙදර ගියොත් අඹු නසී මග හිටියොත් තෝ නසී වගේ වැඩක්.

 

විප්ලව කරන්න ගියොත් රනිල්දාස ඉන්නෙ නැහැ. ඔහු කඩේට රිංගන්නෙ නැහැ. සිරිකොතට රිංගන්න ඉඩක් තියෙනවා. මලික් සමරවික්‍රමගෙන් තමයි අහන්න වෙන්නෙ. කොහොමටත් රනිල් විප්ලවේ කුඩු පට්ටම් කරනවා. මා රනිල් වෙනුවෙන් කතා කරනවා කියල ඉලන්දාරි ටික කියන්න ඉඩ තියෙනවා. විප්ලවේ අතහැරියොත් සෙප්පන් එය අල්ල ගන්නවා. ජෙප්පන්ට විශ්වවිිද්‍යාලවල වුණු එකේ අනෙත් එක වෙනවා.

 

අර ඉලන්දාරි ටික ගැනත් වචනයක් කියන්නෙ ඕන. ඔවුන් මට ආදරේට කියන්නෙ සීයා කියලා. මා ලිපිවලට ප්‍රතිචාර දක්වන්න දෙන්නෙ නැති වෙලාවට ඔවුන් කියනවා අපට ඉඩ දෙන්නකො උත්තර දෙන්න කියලා. ඉඩ දුන්න ඔවුන් වැල් බයිලා කියනවා. මා හිතුවෙ ඔවුන් නූතනත්වයෙ ඉහළ අය ලෙස මට මොනව හරි උගන්නාවි කියා. ඔවුන් අඩු තරමෙන් නූතන කුණුහරුපයක්වත් ඉගැන්නුවෙ නැහැ. ඔවුන් ලියන කුණූහරුපවලට වඩා ඉස්තරම් ඒවා මා පාණදුරේ වැල්ලෙ දි අහල තියෙනවා. ඉලන්දාරින්ට බැරි සීයට නූතනත්ව කුණුහරුප ටිකක් උගන්නන්න. අනෙ මගෙ කට කිවුවලු.