නැව ගිලුනත් බෑන් චූන්
හිඟා කන්නවත් බැරි ජාතියක් අද ඊනියා නිදහසේ හැත්තෑ පස්වැනි සැමරුම පවත්වනවා. ඒ සඳහා බිරිතානි රජ පවුලේ සාමාජිකයකු සහභාගි කර ගැනීමට නොහැකිවීම ගැන කණගාටු වන උදවියත් ඇති. මට මතක් වෙනවා කලින් පවත්වපු නිදහස් සැමරුම් දෙකක්. ඒ වගේ ම මට මතකයක් නැතත් 1948 නිදහස් දිනයෙ කොස් මාමා හෙවත් ආතර් වින්සන්ට් දියෙස් (ආතර් වී දියෙස්) තම නිවසේ කළු කොඩි දැමීමත් සඳහන් කරන්න ඕන.
අපි
ළඟින් පටන් ගමු. 1998 දි
අවුරුදු පනහෙ නිදහස් දිනය සමරන්න වේල්ස් කුමාරයා නැත්නම් චාල්ස් කුමරු ලංකාවට ආවා. ඒ චන්ද්‍රිකා නෝනගෙ ආරාධනයෙන්. අද ඒ චාල්ස් රජ වෙලා. චන්ද්‍රිකා නැති වෙලා. එදා නුවර තිබුණු උත්සවේ චන්ද්‍රිකා කතා කෙළේ ඉංගිරිසියෙන්. චාල්ස්ට තේරෙන්න. බොහෝ දෙනාට නොතේරෙන්න. එදා අප චින්තන පර්ෂදයෙන් වෙල්ලස්සට ගියා එයට විරුද්ධ ව වේල්ස් කුමරයා නොව 1817-18 ප්‍රථම නිදහස් සටනේ වෙල්ලස්සේ කුමරු සමරන්න. අපට චන්ද්‍රිකාගෙ නියෝජිත විජිතමුනි සොයිසා නිදහසේ රඟ පෙන්වන්න ආවා. අපි ඔහු තුට්ටුවකටවත් මායිම් නොකර අපේ නිදහස පෙන්නුවා.
මතකයට
එන දෙවැනි නිදහස් උත්සවය 1978. ඒ ජේ ආර් ජයවර්ධනගෙ දෙවැනි ජනරජ ව්‍යවස්ථාව බල ගැන්වූ දවස. එකල මා නව සමසමාජ පක්‍ෂයෙ. අපි තීරණය කරල තිබුණ නුවර පාරවල කළු දැන්වීම් (පෝස්ටර) අලවන්න. මට මතක හැටියට අපි අට දෙනෙක් පේරදෙණියෙ ඉංජිනේරු පීඨය ළඟින් තමයි වැඩේට බැස්සෙ. අපි කණ්ඩායම් දෙකකට බෙදිල ගියා. වික්‍රමබාහුගෙ කණ්ඩායම අත් අඩංගුවට ගැණුනා. මට මතක හැටියට නුවර ලලිත් අබේසිංහ ඒ කණ්ඩායමේ හිටියෙ. අනෙක් පස්දෙනා දැන් කොහෙ ඉන්නව ද කියලවත් දන්නෙ නැහැ. ඒ ව්‍යවස්ථාව අනුව අද රනිල් ජනාධිපති වෙලා. ඔහුට නිදහස සමරන්න සල්ලි නැහැ. ඒ තමයි ධන හිඟය නිසා වූ එක ම ධනාත්මක සිදු වීම. අවුරුදු හැත්තැපහෙන් හතළිස්පහක් ම අපි ජීවත් වෙලා තියෙන්නෙ ජේ ආර්ගෙ ව්‍යවස්ථාව යටතෙ.
අපි
පම්පෝරි ගැහුවට එකදු ලේ බිඳක්වත් නොසෙල්වා නිදහස දිනාගත්තා කියා 1817 ඉඳන් විශාල පිරිසක් නිදහස වෙනුවෙන් ලේ පූජා කරල තියෙනවා. සේනානායකලා ජයවර්ධනලා නම් ලේ නොසෙල්වන්න ඇති. ඔවුන් නිදහසෙන් පසු අනෙක් අයගේ ලේ සෙලෙවුවා. අපේ නිදහස් සටන්වලින් මෑතක වූ සටනක් ගැන කියන්න ඕන. ඒ අමද්‍යප ව්‍යාපාරය. මා හිතන්නෙ නැහැ පඬි නැට්ටන් ලිබරලුන් වේවා වමාලා වේවා එය නිදහස් සටනක් ලෙස සලකනවා කියා. පසු කලෙක අපේ තාත්තාත් ඒ සටනේ හිටියා.
අමද්‍යප ව්‍යාපාරයෙ කතාව1801 දක්වා දිව යනවා. 1801 දී
මෙරට ඉංගිරිසි ආදායම් නිලධාරියා වූ ජෝර්ජ් ග්‍රෙගරි එංගලන්තයේ ඉංගිරිසි ආණ්ඩුවට දන්වා
හිටියේ ආදායම් ලබා ගැනීමේ ක්‍රමයක් ලෙස අරක්කු තැබෑරුම් පිහිටුවන්න කියා. එකලත් ආර්ථික අර්බුදයක් තිබුණ ද කියා දැන ගන්න නැහැ. කොහොම වෙතත් 1815න් පසු ඉංගිරිසි හමුදා උඩරට පළාත්වලත් නැවැත්වීම නිසා ඔවුන්ට මත්පැන් සපයන්න සිදු වුණා. ඉංගිරිසින් සිංහලයන්ට මත්පැන් සිගරට්ටු පුරුදු කළා. හොර මත්පැන් ද පෑතුරුණා. මේ සියල්ලෙහි ප්‍රතිඵලයක් ලෙස 1818 දී මෙරට තැබෑරූම් ඇති කළා. එහි ප්‍රතිඵලය වූයේ සිංහලයන් මත්පැනට හුරු වීමයි.
1850
පමණ වන විට මත්පැන් උවදුර පැතිර ගිහින්. භික්‍ෂූන් වහන්සේ එකල බෞද්ධ සමාජයේ නායකත්වය දෑරුවෙ. උන්වහන්සේ හා අනෙක් අය කරුණු කීමේ ප්‍රතිඵලයක් ලෙස 1872 දී විලියම් ග්‍රෙගරි ආණ්ඩුකාරයා තැබැරූම් අඩු කිරීමට පියවර ගත්තා. ග්‍රෙගරි නමින් ඇති කුරුඳුවත්තේ ගිරිගෝරිස් මාවතේ කුමාරි ද සොයිසා ජයවර්ධන තම ගෙදර බිත්ති හීරූවා ම අරක්කු ගඳ එනවා යැයි පවසන්නේ අරක්කු රේන්දය ගත් අයට ප්‍රශංසාවක් හැටියට නො වෙයි.
එකල
ධර්මපාලතුමාගේ සුරා විරෝධී ව්‍යාපාරයකුත් තිබුණා. ආණ්ඩුවේ ආදායම පහත වැටුණා. 1912 දී
හෙන්රි මැකලම් ආණ්ඩුකාරයා සුරාබදු ප්‍රතිපත්තිය වෙනස් කරමින් තැබෑරූම් වැඩියෙන් පිහිටුවීමට අවසර දුන්නා. එයට විරුද්ධ ව තමයි අමද්‍යප ව්‍යාපාරය ඇරඹුනේ. ධර්මපලතුමා එෆ් ආර් සේනානායක ඩී එස් සේනානායක ආදීන් ද එහි හිටියා.
පාණදුරේ අරක්කු රේන්දය ගත් අයත් අමද්‍යප ව්‍යාපාරයට සහභාගි වුණා. රේන්දය නොගත් අයත් හිටියා. ආතර් වී දියෙස් මහතා එවැන්නෙක්. 1915 සිංහල
මුස්ලිම් ගැටුමේ දී මේ සිංහල නායකයන් හිරභාරයට ගැණුනා. ආතර් වී දියෙස් මහතාත් ඒ අතර සිටියා. අපේ ආච්චි අම්මා අපට කියා ඇති ආකාරයට ජී එල් පීරිස්ගේ සීයා වෝල්ටර් සල්ගාදුත් හිරභාරයට ගැණුනා. හෙන්රි පේද්‍රිස් ඝාතනය කෙරුණේ මේ සම්බන්ධ ඊනියා චෝදනා මත. අමද්‍යප ව්‍යාපාරයේ නායකයන් තමයි වැදගතුන් (somebodies) වීමට
දඟලන නිකමුන් (nobodies)
ලෙස ඉංගිරිසි ආණ්ඩුව පැත්තේ සිටි ක්‍රිස්ටෝෆර් ඔබේසේකර විසින් හඳුන්වනු ලැබුවේ.
ආතර්
වී දියෙස් මහතා දිවයින පුරා කොස් ඇට බෙදීමේ ව්‍යාපාරයක ද නිරත වුණා. එතුමා කොස් මාමා ලෙස හැඳින්වුණෙ එබැවින්. මුළු ලෝකෙ ම කන්න නැතුව මිය ගියත් අප කොස් ගස රැක ගත්තොත් බඩ කට පිරෙන්න කාල ඉන්න පුළුවන් කියන එක තමයි එතුමා කිවුවෙ.
අවුරුදු හැත්තෑපහකට පෙර ආතර් වී දියෙස් මහතා තම නිවසේ කළු කොඩියක් දැම්මා. එයට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නෙ අමද්‍යප ව්‍යාපරයෙ හිටි සේනානායකලා එය ඡන්ද දිනා ගැනීමට යොදා ගත් එකක් බවත් බලයට පැමිණි ඔවුන් ගැන විශ්වාසයක් තැබීමට නොහැකි බවත් එතුමාට අවබෝධ වී තිබීම.
නිදහස් දින පැවැත්වූ උත්සවයේ බෝතලේ වලව්වේ ඩී එස් සේනානායක බෝතලේ දීලා. මත්පැන් සංග්‍රහ කරලා. බොහෝ විට දේශපාලනඥයන් කටයුතු කරල තියෙන්නෙ ඡන්දෙ බලා ගෙන මිසක් ප්‍රතිපත්තියක් මත පිහිටලා නොවෙයි. දැන් බෝතලේට ඡන්ද වැඩ කරනවා. බෞද්ධයන් ලෙස ජීවත් වුණු සිංහලයන් වෙනුවට සිංහල බුද්ධාගම්කාරයන් ඇති වෙලා. අවුරූදු දෙසීයයක දී සිදු වෙල තියෙන වෙනස. අද අපට කන්න නැහැ. නැව ගිලුනත් මධ්‍යම පංතිය බෑන් චූන් කිවුවලු.