History

Saturday, 18 February 2023

වරද්දාගත් පරම්පරාවට අනුව ගොබ්බ කතාවක්

 වරද්දාගත් පරම්පරාවට අනුව ගොබ්බ කතාවක්

 

මා මෙටාවේ පළ කරන ලිපි ඇතැමුන් තම මිතුරන් අතර බෙදා හරිනවා. මට එය වළක්වන්න බැහැ. ඊයේ පළ කළ වරද්දාගත් පරම්පරාව ලිපිය එසේ බෙදා හැර තිබුණා. එවැනි එක් අයකුට හොඳ ප්‍රතිචාරයක් ලැබී තිබුණා. එය මෙසේයි. “මේ ගොබ්බයගෙ post share කරන්ඩ එපා.” එකී පරම්පරාවේ අය මට විවිධ නම් පටබැඳ තියෙනවා. මේ තවත් නමක් පමණයි. මා ගැන උරණ වන්නේ නැහැ. ඔය පරම්පරාවට කලින් පරම්පරාවත් මූණට නැති වුණත් මා විවිධාකාරයෙන් හඳුන්වන බව මා දන්නවා. නලියා යන්න ඇතැම් හාමුදුරුවරුනුත් යොදා ගන්නවා. සමහරවිට විශ්වවිද්‍යාලයේ උගන්වපු අය අතරින් වැඩියෙන් නම් තියෙන්නෙ මට වෙන්න ඕන.

 

වරද්දාගත් පරම්පරාව බිහිවුණේ සකර්බර්ග් හින්ද නො වෙයි. ඔහු ක්‍රියාදාමය වේගවත් කළා පමණයි. මේ ක්‍රියාදාමයට වසර සීයකට වැඩියි. දෙසීයකට ආසන්නයි කියන්න පුළුවන්. ඉංගිරිසින් අපට බටහිර දැනුම දෙන්න පටන් ගත්තු කාලයෙ ඉඳලා එය තියෙනවා. හාමුදුරුවරුන් ක්‍රමයෙන් ජාතියේ ගුරුවරුන් ලෙස සැලකීම අත්හැරි දිනය දක්වා එය දිව යනවා. උන්වහන්සේ එකල අර්ථයෙන් මෙන් ධර්මයෙන් ගිහියන්ට අනුශාසනා කළා. දැන් ගිහියන් හාමුදුරුවරුන්ට බුදුදහමත් උගන්වනවා. අද විශ්වවිද්‍යාලවල ඊනියා බෞද්ධ දර්ශනය බෞද්ධ සංස්කෘතිය ආදිය උගන්වන්නෙ වැඩිපුර ගිහියන්.

 

හාමුදුරුවරුන් බෞද්ධ සමාජයේ නායකත්වයෙන් ඈත් කෙරී ගිහියන් නායකත්වයට පත් වුණා. ඕල්කට්තුමාත් එයට වග කියන්න ඕන. සිංහල ජාතිය හා බුදුදහම වෙන් කෙරුණා. සිංහල බෞද්ධයන් සිංහල බුද්ධාගම්කාරයන් වුණා. ඕල්කට් බෞද්ධයන් අතර සිටියා. ඔවුන් ඊනියා ජාත්‍යන්තර බෞද්ධයන්. අප ගුවන් විදුලියේ පසුව රූපවාහිනියේ පිරිත් අහල පහල ගෙවල්වල අයට අහන්න සැලැස්සුවා. අප ඇහුවේ නැහැ. ගුවන් විදුලියත් රූපවාහිනියත් පිරිත් ප්‍රචාරය කරලා ඉන්පසු තමන්ගෙ වැඩ සටහන් ප්‍රචාරය කළා.

 

අධ්‍යාපනයෙන් බිහි වූ මධ්‍යම පංතිය ගුවන් විදුලිය හා රූපවාහිනිය විසින් තව තවත් නන්නත්තාර කෙරුණා. අපේ බොරු ෂෝක් අතරට බුද්ධාගමත් එකතු වුණා. මධ්‍යම පාංතික බුද්ධාගම්කාරයකු කියන්නේ බොරු ෂෝක්කාරයකු පමණයි. අපි හැමදාමත් බණ අහනවා. ඒත් බණ පිළිපදින්නෙ නැහැ. සිරීපාදෙ අනුරාධපුරේ වන්දනා ගමන් ට්‍රිප් බවට පත් වුණා.

 

ඉංගිිරිසි අධ්‍යාපනය හා ඉංගිරිසි ජීවන ක්‍රමය අපට වැදගත් වුණා. අපට බටහිර රටවල් දියුණු රටවල් ලෙස පෙන්වා දුන්නා. හැම එකක් නිර්වචනය කරන බටහිරයන් දියුණුව කියන්නෙ මොකක් කියල නිර්වචනය කරන්නෙ නැහැ. අප දියුණු වෙන රටවල් නැත්නම් නොදියුණු රටවල් බවට පත් කෙරුණා. අපි හැමදාමත් දියුණු වෙන්න හදනවා දියුණුව කියන්නෙ මොකක් කියල දන්නෙ නැතුව.

 

බටහිර දැනුම අපේ දැනුමට වඩා උසස් ලෙස සලකන්න අප පුරුදු කළා. සමහර පඬි නැට්ටන් (වලිග) කියන්න පටන් ගත්තා ඇත්තේ එක දැනුම් පද්ධතියක් කියල. ඒත් සිංහලයන්ට යුදෙවුවන්ට තරම් නොබෙල් ත්‍යාගලාභීන් බිහි කරන්න බැහැ. දැන් කවුරු හරි කියාවි ගොබ්බයාට නොබෙල් තෑග්ග වටිනවා වුණාට අපට නම් වටින්නෙ නැහැ කියලා. බටහිර දැනුම කියන්නෙ තවත් දැනුම් පද්ධතියක් පමණක් බවත් එය පදනම් වෙන චින්තනය බෞද්ධ නොවන බවත් පිළිගන්නේ අතළොස්සක් පමණයි. චින්තනය කියන්නෙ මොකක් කියන එක මගේ ලෝකයේ දෙවැනි උපග්‍රන්ථය කියවල නැති අය දන්නෙ නැහැ.

 

1921 විශ්වවිද්‍යාල ආයතනය පිහිටුවන කාලෙ වෙන විට බටහිර දැනුම පෙරදිග දැනුමට වඩා උසස් බව ඊනියා උගත් සමාජයේ පිළිගැනී ඉවරයි. නිසා තමයි ෆැක් නැත්නම් පෙරදිග අධ්‍යයන පීඨයේ ඉගෙන ගත් සිසුන් හරමානිස්ලා ලෙස හැඳින්වුණෙ. අනෙක් අය කුල්ටො නැත්නම් සංස්කෘතියක් ඇති අය. පෙරදිග අධ්‍යයන පීඨයේ සිසුවියන් කිහිප දෙනාට කිවුවෙ මොකක් කියන එක දැන ගැනීමට නැහැ.

 

මෙහි තවත් පැත්තක් තිබුණා. හාමුදුැවරුන් බටහිර දැනුම ගැන දැන සිටියත් පිරිවෙන්වල ඉගැන්නුවෙ නැහැ. 1840 ඇති කෙරුණු රත්මලානේ පරමධම්ම චෙතිය පිරිවෙනේ බටහිර දැනුම උගන්වා නැති බවයි කියැවෙන්නෙ. හාමුදුරුවරුන් බටහිර විද්‍යාව හා ගණිතය ඉගෙන ගත්තා නම් වෙනසක් වීමට ඉඩ තිබුණා. හාමුදුරුවරුන් කිහිප නමක් හැරෙන්න බටහිර  විද්‍යාව ඉගෙන ගත්තෙ නැති වීමත් උන්වහන්සේ දැනුම උසස් ලෙස සැලකීමට හේතුවක් වුණා. වගේ ඊනියා උගත් ගිහියන් හාමුදුරුවරුන් නූතන දැනුම නොදත් උන්වහන්සේලා හැටියට සලකන්නත් හේතුවක් වුණා.

 

බටහිර විද්‍යාව ඊනියා සත්‍යයක් සොයා යන බවට සමාජයේ මතයක් ඇති කෙරී තිබුණා. බටහිර විිද්‍යාව දැනුමේ මිනුම් දණ්ඩ බවට පත් කෙරුණා. එහි ප්‍රතිඵලය වුණේ බුදුදහම විිද්‍යාත්මක බව පෙන්වීමට තැත් කෙරීම. මා හිතන්නෙ නැහැ අවුරුදු දෙදහස් හයසීයක පමණ කාලයක බුදුදහමට එවැනි අගෞරවයක් කෙරී ඇත කියා.

 

මා අර කලින් සඳහන් කල සිංහල බෞද්ධයන් බුද්ධාගම්කාරයන් වීම ලිපියේ පළමු කොටස හෙට පළ කරනවා.