පඬි නැට්ටන්ට නින්ද යෑම
මා
පාසලේ දි සිංහල සාහිත්‍යය හරි ඉංගිරිසි සාහිත්‍යය හරි හදාරල නැහැ. සාමාන්‍ය පෙළට සිංහල භාෂාවට නම් එකල පොතක් නියම කරල තිබුණෙ නැහැ. ඉංගිරිසි භාෂාවට නම් පොතක් නියම කරල තිබුණා. අපට කියවන්න තිබුණෙ දෙනුවර අන්දරය (A Tale of Two
Cities) කියන පොත. ලංකාවෙ පඬි නැට්ටන්ට නම් තියෙන්නෙ Tails of Two
Cities. නගර දෙක මොනවා ද කියල අහන්න එපා. මට නිකම් හිතෙනවා අපේ රජ කාලෙ අන්දරේ හොඳ අන්දර (කතා) කී අයෙක් කියලා. සමහරුනට ඔහු ඇන්ඩෘ වෙන්නත් පුළුවන්. කොහොමත් අපි කවුරුත් අන්දර (කතා) කියන එක තමයි කරන්නෙ. බටහිර විද්‍යාවෙ තමයි හිතෙන් මවා ගන්න බැරි වියුක්ත නැත්නම් අමුර්ත අන්දර තියෙන්නෙ.
පාසලේ
දි සාහිත්‍යය ඉගෙන ගත්තෙ නැතත් මට සාහිත්‍යය ගැන ඇල්මක් තිබුණා. සාහිත්‍යයෙ සංකල්පනා තියෙන්නෙ. දිලිත් ජයවීර කියනවා මා බොහොම කාලෙකට ඉස්සර ගාල්ලෙ ශාන්ත ඇලෝෂියස් විදුහලේ කළ කතාවක දි නිර්මාණ කරන්න පුළුවන් කලාවෙ කියල කිවුව කියා. මා කියා ඇති කතා බොහොමයක් මට මතක නැහැ. ඔය මතක තියෙන්නෙ මොළේ කියල තමයි බටහිර විිද්‍යාඥයන් නම් කියන්නෙ. ඒකත් කතාවක් තමයි. ඒත් මොළේ නැති අයකුත් ගණිතයෙන් ප්‍රථම පංතියේ උපාධියක් ගත් බවට සාක්‍ෂියක් තියෙනවා. ඒ කතාව තිබුණෙ කොහෙ ද කියලත් මට මතක නැහැ. ඒත් කතාව මතකයි.
මා
ශාන්ත ඇලෝෂියස් විදුහලේ දී කියන්න ඇත්තෙ නිර්මාණ කරන්න පුළුවන් කලාත්මක ව හිතන්න පුළුවන් අයට කියා වෙන්න ඇති. බටහිර විද්‍යාවෙ කතන්දර (කතා-අන්දර මේක ලයිට්-එළිය බෝඩ්-ලෑල්ල වගේ ව්‍යවහාරයක් ද? සංස්කෘත හෙළ එකතුවක් ද?) ගොතන අයත් කලාකාමී ව තමයි හිතන්නෙ. එහි දී වෙන්නෙ සංකල්පනාවක් පසුව වියුක්ත සංකල්පයක් බවට පත් කරන එක. අයින්ස්ටයින් අර ට්‍රෑම් කාරෙක යන ගමන් නගරයෙ ඔරලෝසු කනුවෙ ඔරලෝසුවෙන්
එන සංඥා
ගැන සංකල්පනා තමයි පහළ කර ගත්තෙ. එය සංකල්ප වුණෙ විශේෂ සාපේක්‍ෂතාවාදය මගින්. ලංකාවෙත් අප කුඩා කාලෙ ට්‍රෑම් කාර් තිබුණා. ඒත් අයින්ස්ටයින්ල බිහි වුණෙ නැහැ. අපි සංකල්පනාවලින් එහාට යන්නෙ නැහැ. අපට වියුක්ත සංකල්ප ගොතන්න බැහැ. ඒක සංස්කෘතික ප්‍රශ්නයක්.
මා
මුලින් සාහිත්‍යය ඉගෙන ගත්තෙ තාත්තගෙන්. තාත්තා පාසලේ සාමාන්‍ය පෙළට සාහිත්‍යය ඉගැන්නුව. අපට සාහිත්‍ය කතා අම්මා හා තාත්තා අතර වුණු කතා බහෙනුත් තාත්තා හා මිතුරන් අතර ඇති වුණු කතා බහෙනුත් අහන්න ලැබුණා. තාත්තා අප චිත්‍රපට නාට්‍ය බලන්න එක්කන් ගියා. කවි කිවුවා. මා පාසලේ පුස්තකාලයෙන් පොත් ගෙනත් කියෙවුවා. මා හිතනවා පියදාස සිරිසේන තමයි අපට හිටි හොඳ ම කතා කාරයා කියලා. ඔහු බටහිර නවකතා කියවන්න ඇති. ඒත් ඔහු පඬි නැට්ටෙක් වුණේ නැහැ. ඔහු අපට ම ආවේණික කතා කලාවක් පටන් ගත්තා. ඒත් එය වර්ධනය වුණෙ නැහැ. එය නැවැත්තුවෙ මාර්ටින් වික්‍රමසිංහ හා එදිරිවීර සරච්චන්ද්‍ර. සරච්චන්ද්‍රට වික්‍රමසිංහට වඩා ජාතිකත්වයක් තිබුණා. ඒ බව මනමේ සිංහබාහු නාට්‍යවලින් පේනවා. ඒත් ඔහුට මෙරටින් කතා සම්ප්‍රදායක් හොයා ගන්න බැරි වුණා. ඒ වගේ ම සංගීතඥයෙක් හොයා ගන්නත් බැරි වුණා. ඒ ගැන පස්සෙ කියන්න ඕන. මා දැන් නම් නවකතා කියවන්නෙ නැහැ. අද නවකතා පඬි නැට්ටන් අතර පල් වෙනවා. ඔවුන් ලියන්නෙ Tails of Two
Cities ගැන. ඒවට රාජ්‍ය සම්මාන ලැබෙනවා.
මා
මුලින් සඳහන් කළ පාඨය බූරු ඇඳකවත් නිදා ගැනීමක් ගැන නො වෙයි. සිංහල ව්‍යවහාරයක් තියෙනවා දැන් මිනිහට හොඳට නින්ද යනවා ඇති කියලා. ඒ කියන්නෙ නිදා ගන්නවා කියන එක නො වෙයි. ඒක සාහිත්‍ය කියමනක්. පඬි නැට්ටන් බොහෝ දෙනකු මා වගේ නො වෙයි. උසස් පෙළටත් සමහර විට පසුවත් සිංහල හදාරපු අය. ඒත් ඔවුන්ට ඒ පාඨය තේරිලා නැහැ. ඔවුන් ඇහුවෙ ඒ ඒ අයට නින්ද යෑම ගැන. පඬි නැට්ටන් නින්දෙන් ඇහැරිලා තමයි කියවන්නෙ. (මතු සම්බන්ධයි)