History

Monday 20 March 2023

පුටින් රනිල් හා සකුරා මල්

 පුටින්  රනිල් හා සකුරා මල්

 

ඊනියා ජාත්‍යන්තර අධිකරණය පුටින්ට වරෙන්තු නිකුත් කරලා. පුටින් සහ රුසියාව මානව අයිතිවාසිකම් කඩ කරල කියන එක තමයි චෝදනාව. යුක්‍රේන යුද්ධය සම්බන්ධයෙන්. යුක්‍රේන යුද්ධය ආරම්භ කෙළෙ පුටින් කියන එක තමයි කතාව. මේ යුද්ධය කාගෙ වුවමනාවට පටන් ගත්තත් අද බටහිර රටවල ආර්ථික අර්බුදයක් ඇති වෙලා. බැංකු කඩා වැටෙනවා. බඩු මිල ඉහල යනවා. ජා මු ලෙට යන පාටකුත් නැහැ. ජා මූ ලෙට කරන්න පුළුවන් ඉටි ගෙඩියකුත් නැහැ. ඔවුන්ට කරන්න පුළුවන් අප වැනි රටවල් ණය හරහා තව තවත් දුප්පත් කරන එක පමණයි.

 

මෙරට සමහරු හිතනවා රුසියාව සමාජවාදී රටක් කියල. කොමියුනිස්ට් රටක් කියල හිතන අයත් ඇති. බොහෝ දෙනාට සංකල්ප ගැන නිරවුල් අවබෝධයක් නැහැ. මටත් නැහැ. නිසා තමයි නිරවුල් වෙන්න ලියන්නෙ. ඒත් සංකල්ප ගැන නිරවුල් අවබෝධයක් නැති බොහෝ දෙනා එහෙම හිතන්නෙ නැහැ. ඔවුන් රුසියාවට කැමතියි. රුසියාව සමාජවාදී කියල හිතාගෙන. පුටින් නම් මාක්ස්වාදියෙක් නො වෙයි. ඒත් මෙරට සිටින බොහෝ මාක්ස්වාදීන්ට ඒකෙන් වැඩක් නැහැ.

 

සෝවියට් රුසියාවවත් සමාජවාදී වෙලා තිබුණෙ නැහැ. නැති කම්කරු පංතිය බලයට පත් වෙලා තිබුණෙත් නැහැ. ලෙනින් හා පසුව ජෝසෆ් ස්ටැලින් (ගුරු සංගමයෙ නොවෙයි) මාක්ස්වාදයක නාමයෙන් රුසියාවෙ රාජ්‍ය ධනවාදයක් ඇති කරල තිබුණ. ට්‍රොට්ස්කිට නම් මෙය තරමක් තේරුණා. ධනවාදය ඇති වෙන්න ඉස්සෙල්ල සමාජවාදයට යන්නෙ කොහොමද කියන එක ඔහුට ප්‍රශ්නයක් වුණා. එය පැහැදිලි කරන්න කියල ඔහු සංකල්ප ටිකක් ගෙතුවා. පොතපත ලිවුවා. අර නොනවතින විප්ලවය වගේ පොත් මාත් තරුණ කාලෙ කියෙවුවා. පස්සෙ තේරුණා ඒව පට්ටපල් බොරුවත් නො වෙයි කියල. විප්ලවය නවතින්නවත් පටන් ගන්නෙ නැති එකක්. මාක්ස්වාදය විද්‍යාත්මක කියල දීර්ඝ ලිපියක් ලියල මා මාක්ස්වාදය සමග තිබුණු ඇයි හොඳයිකම් නැවැත්තුවා. 1980 මාර්තුවෙ තරම් ඈත කාලෙක. දැන් අවුරුදු හතළිස්තුනක් වෙනවා.

 

එක්තරා ආකාරයකින් ගත්තොත් අසූවෙ දශකය ආරම්භ වුණෙ ලිපියත් සමග. අසූවෙ දශකයෙ පහළ වෙච්ච බුද්ධිමතුන් රටේ හැම තැන පැතිරිලා. ඔවුන්ගෙ අනුගාමිකයනුත් ඉන්නවා. අපි සියල්ලන්ට අසූවෙ දශකයෙ බුද්ධිමතුන් කියමු. අයගෙන් අතිවිශාල බහුතරය මට විරුද්ධයි. ඔවුන්ගෙ දැනුම අනුව මා විප්ලවය පාවා දීලා, සමාජ අසාධාරණය පවත්වාගෙන යෑමට විවිධ ධනවාදී දේශපාලනඥයන්ට කඩේ යනවා.

 

කතාව පැත්තකින් තියමු. බටහිර රටවල් රුසියාවට විරුද්ධ මෙතරම් අමාරුකම් මැද තම රටවල ජනයා ආර්ථික වශයෙන් පීඩාවට පත් කරමින් යුද්ධ කරන්නේ ඇයි? පුටින්ට විරුද්ධ වරෙන්තු නිකුත් කරන්නේ ඇයි? රුසියාව සමාජවාදී රටක් නො වෙයි. එහෙනම් යුද්ධ කරන්නෙ ඇයි? මොකකට විරුද්ධව යුද්ධෙ? යුක්‍රේන යුද්ධය තවත් වියට්නාම් යුද්ධයක් වේවි ? මෙය තරමක් වෙනස් වෙන්නෙ රුසියාවට විරුද්ධ යුද්ධය කෙරෙන්නෙ රුසියාවෙ නොව යුක්‍රේනයෙ නිසා.      

 

ඊනියා ජාත්‍යන්තර අධිකරණයෙ වරෙන්තුව පුටින් රූබලයකටවත් ගණන් ගන්නෙ නැහැ. රුසියාව ඉතා පැහැදිලිව කියනව ඊනියා ජාත්‍යන්තර අධිකරණයට එහෙම වරෙන්තු නිකුත් කරන්න කිසිම බලයක් නැහැ කියල. පුටින්ට ශක්තියක් තියෙනවා. පුටින් කාටවත් ණය නැහැ. බටහිර යුරෝපයටවත් ඇමරිකාවටවත් ණය නැහැ.

 

අපි රුසියාව සහ ලංකාව සන්සන්දනය කරමු. ලංකාවටත් එරෙහි මානව හිමිකම් කඩකිරීම් චෝදනා තියෙනවා. දරුස්මාන් වාර්තාව, චැනල් 4 දැන් අමතක වෙලා.  ඒත් අවුරුද්දට දෙසැරයක් මාර්තුවේ හා සැප්තැම්බරයෙ              සූර්යයා නිරක්‍ෂය පසු කරන කාලයේ අපි ජෙනීවා ගියා. හැමදාම චෝදනා. අපි බයෙන් ගිහින් බයෙන් එනවා. ලොකු සද්දයක් තියෙනවා. මේ දවස්වලත් ජෙනීවාහි මානව හිමිකම් සංගමයේ සැසිවාරයක් තියෙනවා. අපේ නියේජිතවරිය එහි දී ප්‍රකාශයක් කළා. වැඩි සද්දයක් නැහැ. ජාතික සංවිධානවල නියෝජිතයනුත් ජෙනීවා යන පාටක් නැහැ. අපි දැන් චෝදනාවලින් නිදහස් වෙලා ?  සැප්තැම්බර සැසිවාරයෙදි මොනව හරි වෙයි ? 

 

අද බටහිර රටවල් තම සංස්කෘතික ආධිපත්‍යයට විරුද්ධ වෙන රටවල් සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන විධි කිහිපයක් තියෙනවා. ඊනියා ජාත්‍යන්තර අධිකරණය, ජෙනීවා මානව හිමිකම් සැසිවාර, රටවල ඊනියා රාජ්‍ය නොවන සංවිධාන, ශිෂ්‍යත්ව ප්‍රදානය ඉන් සමහරක්. ඔවුන් සමස්ත අධ්‍යාපන ක්‍රමය සකස් කරල තියෙන්නෙ තම සංස්කෘතික ආථිපත්‍යය පතුරවන්න. අපේ රටෙත් ඔය සියල්ල දකින්න පුළුවන්. බටහිරයන් අධ්‍යාපනයෙහි  අනෙක් රටවලට වඩා මෙරට සාර්ථකත්වයක් දරණවා. සංස්කෘතික ආධිපත්‍යයෙහි ප්‍රධාන කොටස ක්‍රියාත්මක වෙන්නෙ අධ්‍යාපනය හා ජනමාධ්‍ය හරහා.

 

බටහිරයන් රටවලට විරුද්ධව මානව අයිතිවාසිකම් හා වෙනත් අවි යොදා ගන්නෙ රටවල සංස්කෘතියට ජාතිකත්වයට එරෙහි මිසක් නැති සමාජවාදයකට එරෙහිව නො වෙයි. පුටින්ට ජාතිකත්වයක් තියෙනවා. ඔහු රුසියාවේ ඕතොඩොක්ස් සංස්කෘතිය වෙනුවෙන් පෙනී සිටිනවා. බටහිර රටවල් යම් ජාතිකත්වයක් හරි තියෙන නායකයන් ඉන්න රටවලට විරූද්ධව තම අවි යොදා ගන්නවා. අද ලෝකයේ ජාතිකත්ව ඇති නායකයන් රුසියාවේ චීනයේ උතුරු කොරියාවේ මියන්මාහි ඉන්නවා. බටහිරයන් ඔවුන්ට ප්‍රජාතන්ත්‍ර විරෝධියා ෆෑසිස්ට්වාදීයා මානව හිමිකම් කඩකරන්නා ආදී විවිධ චෝදනා නගමින් විවිධ මෙයෙහුම් කරනවා. ඉන්දියාවෙ මෝදිත් ජාතිකත්වයක් ඇති නායකයෙක්. එහෙත් චීනයට විරුද්ධ බටහිරයන්ට ඔහු අවශ්‍ය වෙනවා.

 

ලංකාවේ 2005 සිට 2022 දක්වා හිටියේ යම් ජාතිකත්වයක් ඇති නායකයන්. මහින්ද, මෛත්‍රිපාල, ගෝඨාභය ජනාධිපතිවරුන්ට අඩු වැඩි වශයෙන් ජාතිකත්ව තියෙනවා. දවස්වල ජෙනීවා විගඩම ඉතා තදින් නැටුවා. අද ජනාධිපති රනිල්. ඔහු මහජන ඡන්දයෙන් පත්වුණු ජාතිකත්වයක් ඇති ජනාධිපතිවරයෙක් නො වෙයි. ඔහු බටහිරයන් පත් කරගත් ජනාධිපති. මේ සකුරා මල් පිපෙන කාලයේ බටහිරයන් ඔහුට විරුද්ධ ලොකු දෙයක් කරන්නේ නැහැ. සකුරා මල් පිපිලා හරි පුදුමයි ජෙනිවා දොරකඩ කිසිවකු නැහැ නේ.