History

Thursday, 30 March 2023

සීගිරි නොයන ඉතිහාසඥයෝ

 සීගිරි නොයන ඉතිහාසඥයෝ

 

වසර කිහිපයකට පෙර මා හර්ෂ විජේවර්ධන ලියූ ලිපියක් කියවින විට සීගිරියේ ගඩොල්වල ගණන් කිරීම සඳහා සංඛ්‍යා සටහන් කර තිබූ බවත් එහි ශූන්‍ය සඳහා හල්කිරීම යොදා තිබුණු බවත් දුටු විගස මා දැන ගත්තා එය යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ වැඩක් කියා. මා වන විටත් ශූන්‍ය සඳහා බිංදුව යොදා ගැනීම ගැන විමසිල්ලෙන් හිටියේ. එලෙස බිංදුව යොදා ගත් පැරණිම පුවරුව තියෙන්නෙ කාම්බෝජයේ. දැනට එය ඇත්තේ කාම්බෝජයේ ජාතික කෞතකාගාරයේ. එහෙත් එය හමු වී ඇත්තේ පන්සලක. මා කාම්බෝජයේ දී දැක බලා ගත්තා. එහි කොටසක ඡායාරූපයක් මේ සමග ඇති.

 

පුවරුවේ සඳහන් වන්නේ වෙළෙන්දකුගේ ගණු දෙනුවක් බව කියනවා. එහි සඳහන් වන්නේ එය ශක වර්ෂ 605 දී ලියන ලද්දක් බව. එනම් කිතු වසින් 673 දි බව. කියන්නෙ හත්වැනි සියවසේ. ඡායාරූපයේ දෙවැනි පේළියේ 0 යන්න තිතකින් සටහන් වෙනවා. තිත දෙපැත්තේ ඇත්තේ 6 සහ 5 දැක්වෙන අක්‍ෂර. කිනම් අක්‍ෂර දැයි මා දන්නේ නැහැ. එහෙත් සීගිරියේ අංක වෙනුවට යොදා ගෙන ඇති අක්‍ෂර සමග සංසන්දනයක් කරන්න පුළුවන් නම් හොඳයි.

 

සීගිරියේ ශූන්‍යය සඳහා යොදා ගෙන ඇත්තේ හල්කිරීම. පස්වැනි සියවසේ. හල්කිරීම සඳහා යොදා ගත්තේ ඇයි දැයි මා ලිපි කිහිපයක සඳහන් කර ඇති. මගේ මතය නම් ශූන්‍යය සඳහා සංකේතයක් සකස් කිරීමට බුදුදහමේ කියැවෙන ශූන්‍යය හා චතුස්කෝටික න්‍යාය දැන සිටිය යුතු බවයි. දැනුම එකල සිංහලයන්ට තිබුණා. මහාවංසය කියන විධියට නම් චතුස්කෝටිකය ගැන දැනුමක් දේවානම්පිය තිස්ස රජුටත් තිබෙන්න ඕන. නෑයනුත් නොවන නොනෑයනුත් නොවන කතාවත් අඹ ගහේ කතාවත් විමසා බලන්න.

 

මා සිංහල ශුන්‍යය නැත්නම් හල්කිරීම ගැන ලියූ කිසිවක් මෙරට උගතුන්ට බුද්ධිමතුන්ට බිංදුවකවත් අගයක් නෑති වුණා. සීගිරිය නගින්න මට දැන් බැහැ. පුරාවිද්‍යාඥයන් යැයි කියන කිහිප දෙනකුටත් මා ගැන කී නමුත් ඔවුනුත් එය බිංදුවක්වත් ගණන් ගත්තේ නැහැ. මෙරට ඊනියා පුරාවිද්‍යාවක් දැනට නැහැ. අප තවමත් ඉන්නේ එකල සංස්කෘතියේමයි. වෙනස්කම් නැතුවා නො වෙයි. උදාහරණයක් ලෙස අප දැන් හිතන්නේ නැහැ.

 

අපේ හිතීම පස්වැනි සියවසෙන් පමණ පසු ඇණ හිටලා. මා එසේ කී විට සමහරු කියන දෙයින් නිගමනය වන්නේ මහින්ද රාජපක්‍ෂ පස්වැනි සියවසට පෙර ඉන්න ඇති කියා.  මා මහින්ද රාජපක්‍ෂ හිතන බවක් කියන්නේ යැයි ඔවුන් දරණ මතයයි. තවත් ඇතැමුන් සීගිරිය යක්‍ෂයන්ගේ වැඩක් යැයි කී විට යක්‍ෂයන් කලු සුදු කියා අහනවා. ඔවුන් හඳුනාගන්නේ කොාහොමද කියා අහනවා. මගේ රාජස්ථාන ලක්‍ෂණ තියෙනවා ? අවුරුදු දාහකට වැඩි කලක් තිස්සේ මෙරටට සංක්‍රමණය වූ ජනයා දැන් මිශ්‍ර වෙලා. යක්‍ෂ නොවෙයි දේව නාග වර්ගවත් දැන් හඳුනා ගන්න බැහැ.

 

අපේ එක ප්‍රශ්නයක් නම් විසිඑක් වැනි සියවසට අමතර අප පස්වැනි සියවසේ දී පමණ භාරතයට හිර කිරීමයි. අපට කියවන්න ඇත්තේ භාරතීය කේන්ද්‍ර ඉතිහාසයක්. යක්‍ෂයන් අමනුෂ්‍යයන් ලෙස සලකන්න පුරූදු කළ ඉතිහාසයක්. යක්‍ෂයන් බැහැර කළ ඉතිහාසයක්. වරක් කාලෝ ෆොන්සේකා කිවුවේ සිංහලයන්ට සංගීතයක් ලැබුණේ පෘතුගීසීන්ගෙන් කියා. ඔහු නොකියා කිවුවේ සිංහල සංගීිතය කතෝලික සංස්කෘතියෙන් ලැබුණු එකක් බව. ඉසුරුමුනියට ගොස් බලන්න එහි ඇති සංගීතඥයන් කැටයම් කර ඇති ආකාරය. ගෞරවනීය නොවුවත් විවිධ භාණ්ඩ වාදනය කරන අයගේ පිළිම එහි දැක ගන්න පුළුවන්.

 

මහාවංසය පමණක් විශ්වාස කරන අයටත් අර කුවේණිගේ මාමාගේ නිවසේ පැවති මංගල සාදයෙන් නැගුණු සංගීත රාවයට විජයත් සමග සවන් දෙන්න පුළුවන්. අපට යක්‍ෂයන් අත්හැර ඉතිහාසයක් ගොතන්න බැහැ. එහෙම ගොතන්න ගිහින් අනාථ වෙනවා. එවිට නාථ දෙවියන්වත් අපට නාථ වෙන එකක් නැහැ. යක්‍ෂයන් ඊශ්වර දෙවියන් මෙන් වෛශ්‍රවණ   අදහන්න ඇති. ඉසුරුමුනිය (ඉස්සර සමණ) වෙස්සගිරිය වෙනුවෙන් වෙන්න පුළුවන්. ඊශ්වර දෙවියන් හින්දු ආගමට ඇතුළු වෙන්න ඇත්තේ ලංකාවෙන් කියා මා හිතනවා. ඈත අතීතයේ වෛදිකයන්ට ඊශ්වර දෙවි කෙනෙක් ඉඳලා නැහැ.  අද ඊශ්වර දෙවියන් ශිව දෙවියන් සමග පැටලිලා. දෙදෙනා එක් දෙවියකු වෙලා. ලංකාවේ ඇති මුන්නේශ්වරම් ආදීි දේවාල අද හින්දු වෙලා. ඒවා අද කෝවිල් වෙලා. කතරගම දේවාලය නම් තාම තියෙනවා. කතරගම දෙවියන්ගෙ පිහිටෙන් එතුමා ගැන ඊනියා පර්යේෂණ කෘති ලියන අයට දර්ශන මහාචාර්ය පදවි ලබා ගන්න පුළුවන්.

 

කවුරු හරි ඉතිහාසඥයෙක් හර්ෂ විජේවර්ධන සමග සීගිරි යනවා ? ශූන්‍යයට අමතර   ලලිත කලා ඔප කරනා සීගිරි ලඳුන් බලා ගත්ත යක්‍ෂ කාන්තාවන් දැක ගන්න පුළුවන්. යක්‍ෂයන් පර්සියාවෙන් පැමිණි බවට මතයක් තියෙනවා. සිගිරි යක්‍ෂ ලඳුන් හඳුනා ගන්නා අයට තෑගි මල්ලක් දෙනවා. මෙරට ඉතිහාසය ගැන මට බෙහෝ දේ කියන්න තියෙනවා. මා ඉතිහාසඥයකු නොවීම මට ශක්තියක්.  ඉතිහාසඥයකු වුණා නම් මට ජී සී මැන්දිස්ගේ බටහිර ඇසින් ඉතිහාසය බලන්න වෙනවා.