History

Wednesday, 22 March 2023

බටහිර දැනුමෙ උෂ්ණෙ හා අපේ පර්යේෂණ උෂ්ණෙ

 බටහිර දැනුමෙ උෂ්ණෙ හා අපේ පර්යේෂණ උෂ්ණෙ

 

ලංකාවේ විශ්වවිිද්‍යාල හා පර්යේෂණ ආයතනවලින් ලැබෙන ප්‍රතිලාභය කුමක් ? අප විශාල මුදලක් ආයතනවල ඊනියා පර්යේෂණ සඳහා යොදනවා. එහෙත් ඉන් ලැබෙන්නේ කුමක් ?

 

කවුරු හරි කියන්න පුළුවන් අරක කරල තියෙනවා මේක කරලා තියෙනවා. අහවල් අහවල් දේ හොයාගෙන තියෙනවා ආදී වශයෙන් කියන්න පුළුවන්. ඒත් අපි ණයයි. අපි ණයට ගන්නෙ භාණ්ඩ හා සේවා පමණක් නො වෙයි. අපි කාටද ණය අපිට කවුද ණය.

 

අපි බටහිර දැනුම ලබා ගන්නවා. එය ඇත්තට ණයක් නො වෙයි. එය හිඟා කෑමකුත් නොවෙයි. හිඟන්නන්ට අපහාස කරන්න මා කැමති නැහැ. ඔවුන් නිර්ධන පංතියේ හරි නිර්ප්‍රභූ පංතියෙ හරි නිසා නො වෙයි. හිඟන්නන් තමන්ට ලැබෙන දේට පින් දෙනවා. අපත් බටහිරට පින් දෙනවා. ඔය ඉඳහිට පැවැත්වෙන සම්මන්ත්‍රණවල දී ඊනියා වැඩ සමුළුවල දී අප අර ආයතනයට මේ ආයතනයට අර රටට මේ රටට පින් දෙනවා. තෑන්ක් යූ සෝ මච් කියනවා. ගුණ ගයනවා.

 

හිඟන්නකුට යමක් දෙන අයකු කිසිවක් ආපසු බලාපොරොත්තු වෙන්නෙ නැහැ.  ඒත් අපේ පර්යේෂණ ආයතන හා විශ්වවිද්‍යාල අර දුන් අය වෙනුවෙන් විශාල මෙහෙයක් කරනවා. අය දෙන්නේ සේවය බලපොරාත්තුවෙන්. අප ඔවුන්ගේ දැනුම බෙදා හැරීමේ කොන්ත්‍රාත්තුව භාර අරන්. එක සේවයක්. මෙහෙයක්.

 

ඉංගිරිසින්ට මෙරට විශ්වවිද්‍යාල පිහිටුවන්න අවශ්‍ය වුණේ නැහැ. කල්කටාවේ (කොල්කතාවේ) හා මදුරාසියේ (චෙන්නායිහි) විශ්වවිද්‍යාල පිහිටෙව්වත් කොළඹ හරි ගාල්ලෙ හරි නුවර හරි යාපනයෙ හරි විශ්වවිිද්‍යාලයක් පිහිටුවන්න ඔවුන්ට අවශ්‍ය වුණේ නැහැ. එයට හේතුවක් තිබුණා. මෙරට පාසල් ඔවුන්ට අවශ්‍ය කටයුත්ත ඕනැවටත් වඩා හොඳින් කළ නිසා වෙනත් ආයතන අවශ්‍ය වුණේ නැහැ.

 

වරක් ලලිත් ඇතුළත්මුදලි කොළඹ විශ්වවිද්‍යාලයේ ගුරුවරුන් අමතා කළ කතාවක දි හොඳ කාරණයක් කිවුවා. මට කතාවෙන් මතක එච්චරයි. ඔහු කිවුවා බටහිර දි කාගෙන් හරි ඇහුවොත් කොහෙද ඉගෙන ගත්තෙ කියල විශ්වවිද්‍යාලෙ නම කියනව ඒත් ලංකාවෙදි ඇහුවොත් කියන්නෙ පාසලේ නම කියලා. කිසිවකු නිකමටවත් යනව විශ්වවිද්‍යාල දෙකක් අතර තියෙන ක්‍රිකට් ක්‍රීඩා තරගයක් බලන්න. ඒත් මෙරට පාසල්වල සමහර ආදි ශිෂ්‍යයන් පිටරට ඉඳලා එනවා තම පාසලේ මහා තරගය බලන්න. විශ්වවිද්‍යාලෙ කොඩිය මොකක් කියල දන්නෙ කවුද?

 

මා විශ්වවිද්‍යාලෙට ඇතුල්වෙලා අවුරුදු හැටක් වෙනවා. පහුගිය දා පේරාදෙණියෙ විද්‍යා පීඨයට 1963  ඇතුල් වුණු කණ්ඩායමේ සුහද හමුවක් තිබුණ. ලංකාවෙ හිටිය නම් මාත් යනවා. මිතුරන් හමුවෙන්න මිසක් විශ්වවිද්‍යාලය වෙනුවෙන් නො වෙයි. විශ්වවිද්‍යාලෙ කොඩිය ගෙනැල්ල එතැන වනන්නෙ නැහැ. කොඩියක් තියෙනවා කියල දන්නෙත් නැහැ.

 

ලංකාවෙ පාසල්වලින් තම අවශ්‍යතාව ඕනෑවටත් වඩා හොඳින් සිද්ධ වුණු නිසා විශ්වවිද්‍යාලයක් ඇති කරන්න ඉංගිරිසින්ට අවශ්‍ය වුණෙ නැහැ. පස්සෙ පාසල්වල ඉගෙන ගත්ත කිහිප දෙනකුගෙ බලවත් ඕනකමට ( අයගෙ නම්වලින් පේරාදෙණියෙ ශාලා හදල තියෙනවා) 1921 දි විශ්වවිද්‍යාල ආයතනය පිහිටෙවුවෙ අද ඔය කුමාරතුංග මුනිදාස මාවතේ  එවකට තිබූ රාජකීය විද්‍යාලෙ ගොඩනැගිලිවල. ගණිිත අධ්‍යනංශය පිහිටල තියෙන ගොඩනැගිල්ලට ඇතුල් වෙන තැන ඵලකයෙ සඳහන් වන්නෙ රාජකීය විිිදුහලේ ගොඩනැගිල්ල කියල. ඉංගිරිසින් රාජකීය විදුහලට ඊට වඩා හොඳ ගොඩනැගිල්ලක් අල්ලපු වත්තෙ හදලා දුන්නා. අදත් සමහර විට විශ්වවිද්‍යාලෙ තියෙන සැම්සන් බංගලාව එවකට රාජකීය විදුහලේ වැඩබලන විදුහල්පති සැම්සන් මහතා වාසය කළ නිල නිවාසය. කලකට පෙර විශ්වවිද්‍යාලෙ සෞඛ්‍ය මධ්‍යස්ථානය තිබුණෙ සැම්සන් බංගලාවෙ.

 

දැනුම අභිසංස්කරණය අතින් විශ්වවිද්‍යාලවලින් රටට වන දෙයක් නැහැ. විශ්වවිද්‍යාලවලින් බිහිවුණු ආර්ථික විද්‍යාඥයන් දසදහස් ගණනක් රටේ ඇති. ඒත් අපි ණයයි. ජාමූලෙ නැතුව කිසිවක් කරගන්න බැහැ. ලංකාවෙ විශ්වවිද්‍යාල හා පර්යේෂණ ආයතනවලින් කෙරෙන්නෙ කළු කුහරවලින් කෙරෙන දේ. මගෙන් අහන්න එපා මා කළ අභිසංස්කරණය මොකක් කියල. ඒක ජී එල් පීරිස්ගෙන් අහන්න. මා කලින් පළ කළ ලංකාවේ විශ්වවිිද්‍යාල හා පර්යේෂණ ආයතන සටහන පඬි නැට්ටන්ටත් විවෘත කළා. ඔවුන්ට ප්‍රශ්නය නාථ දෙවියන් අපේ දැනුම ඊනියා මිථ්‍යා විශ්වාස ආදිය. ඔවුන් සමහරවිට විශ්වවිද්‍යාලවලට නොගිය ඒත් ඒවයෙ උෂ්ණෙ වැදුණු අය. ඒකෙන් මැන ගන්න පුළුවන් බටහිර දැනුමේ උෂ්ණෙ කොච්චර කියලා.  ඒත් අද බටහිර විශ්වවේදයෙ විශාල අර්බුදයක් තියෙනවා. විශ්වය විවෘත සංවෘත කියල දන්නෙ නැහැ. ඒක ලංකාවෙ ආර්ථික අර්බුදයට හපන්.

 

මොනව වුණත් අපි  විශ්වවිිද්‍යාලවලට ණයයි. අර තානාපතිකමෙන් ලැබුණු දීමනාව හැරෙන්න අවුරුදු දොළහක් රැකියාවක් නැතුව හිටියත් අපි 1967 සිට 2016 පමණ වන තෙක් අවුරුදු පනහකට කිට්ටු වෙන්න යැපුණෙ විශ්වවිද්‍යාලවලින් ලැබුණු වැටුපෙන්. අදත් අපට ඇති ප්‍රධාන වත්කම විශ්වවිද්‍යාලයීය අර්ථසාධක අරමුදලින් ලබා ගත් බැංකු ස්ථාවර තැන්පත්. ඊට අමතර ඇත්තෙ අර අවුරුද්දක් විතර තානාපති රස්සාවෙන් ලැබුණු දීමනාවෙන් ඉතිරිවුණු මුදලින් ලබා ගත් ස්ථාවර තැන්පතු.