History

Tuesday, 11 April 2023

යකා එන්නෙ නැහැ


 යකා එන්නෙ නැහැ

 

ජාත්‍යන්තර  මූල්‍ය අරමුදල (ජාමූල) කියන විධියට කටයුතු කරන්න රනිල්  සූදානම් නමුත් ව්‍යවස්ථාව එයට ඉඩ නොදෙන බවක් පෙනී යනවා. මහා බැංකු පනතේ වගන්ති සමහරක් ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රෙෂ්ඨාධිකරණය තීරණය කර ඇති බව පවසනවා. කතානායකතුමා හරි වෙනත් කවුරු හරි ගැන ප්‍රකාශයක් කරනවාද? එහෙම ප්‍රකාශ කරන්න ඕන නැද්ද? ප්‍රතිත්‍රස්ත පනතත් එලෙස ව්‍යවස්ථාවට හරස් වෙනවා.

 

ජේ ආර්ගෙ ව්‍යවස්ථාව ලෝකයේ ඇති හොඳ ව්‍යවස්ථාව නො වෙයි. එහෙත් ව්‍යවස්ථාවත් ජාමුලෙට ප්‍රශ්නයක්. වුණත් මේ ආණ්ඩුවේ බලවතුන් දන්නවා පාර්ලිමේන්තුවේ දි ව්‍යවස්ථා විරෝධි පනත් වුණත් සම්මත කර ගන්න විධිය. විධියට ජාමූලෙ පනත් සම්මත කර ගන්නත් ඉඩ තියෙනවා.

 

ප්‍රතිත්‍රස්ත පනත, මහා බැංකු පනත, දූෂණ විරෝධි පනත ආදිය සම්මත කර ගන්නෙ නැතුව ජාමූලෙ කොන්දේසි කිහිපයක් පනතක් මගින් රටේ නීතිය බවට පත් කරන්නෙ නැතුව ජාමූලෙ දෙවැනි ණය වාරිකය දෙන්නේ නැහැ. ණය නෑතුව අපට කන්න බැහැ. අපි ණයට කන ජාතියක්. කාපල්ලා බීපල්ලා ජොලි කරපල්ලා නිල නොවන ජාතික ගීය කරගත් ජාතියක්.

 

ඇතැම් විට ඡන්දදායකයන් කියන්න බැරි නැහැ ව්‍යවස්ථාව යකාට ගිය දෙන් අපට කන්න දියවු කියලා. මෙහි යකාට ගිය දෙන් කියන්නෙ කාට යෑමක් ගැන ? අර යක්‍ෂයන් ගැන මේ කියන්නෙ? කාශ්‍යප රජ්ජුරුවන්ගෙන් තමයි අහන්න වෙන්නෙ. අපි ඒක  දැනට පැත්තකින් තියමු. අපි ඔය ව්‍යවස්ථාව සම්මත කර ගත්තෙත් කන්න ඕන නිසා නෙ. බණ්ඩාරනායක මැතිණිය මේ දවස්වල බැනුම් අහනවා. තෙල් සමාගම් ජනසතු කිරීම සහ තවත් දේ ගැන.

 

දවස්වල ලෝකයේ අද වගේ දේශපාලන හා ආර්ථික ප්‍රශ්න තිබුණා. අපටත් හොඳට අමාරු වුණා. හාල් පොලු පාන් පෝලිම් තිබුණා. මිනිස්සු ටිකක් වගාවටත් බැස්සා. ජේ ආර් ඇවිත් කිවුව ඇට අටක් දෙන්නන් කියල. අපි ඔහුට ඡන්දෙ දුන්නා. කන්න ඕන කමට. ජේ ආර් බලයට ආවෙත් ආර්ථික අර්බුදයක් මැද්දෙන්. රනිල් බලයට ආවෙත් ආර්ථික අර්බුදයක් මැද්දෙන්. රනිල් ඡන්දයක් නොතියාම ජනාධිපති වුණා. ජේ ආර් පළමු වරට ජනාධිපති වුණෙත් ඡන්දයක් තියල නො වෙයි. රනිල් වගේ ව්‍යවස්ථාවෙන්. ඔහු ව්‍යවස්ථාවක් හදල ඒකෙ කිවුව ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසු එවකට අගමැති ජනාධිපති වෙනවා කියල. ඔහු ඡන්දයෙන් ජනාධිපති වුණෙ බණ්ඩාරනායක මැතිණියගේ ප්‍රජා අයිතිවාසිකම් නැති කරලා. ඔහුගෙ ව්‍යවස්ථාව අනුව නැවතත් අගමැති කෙනකු ජනාධිපති වෙලා.

 

මේ කතාව මාමයි බෑනයි කියල නම් කරන්නත් පුළුවන්. ඔවුන් බලයට පැමිණි ආකාරවල සමානකම් තියෙනවා. වෙනස්කම් නැතුව නො වෙයි. අද පොහොට්ටුවෙ ප්‍රජා අයිතිවාසිකම් නැති කරල වගේ. පොහොට්ටුව පොඩි පට්ටම් කරලා, මට හිතෙන්නෙ හැත්තෑගණන්වල හිටපු මිනිසුන්ටත් වඩා දැන් ඉන්න අය රට කාලා හරි බඩ පුරව ගන්න කැමති කියලයි. ඔවුන් ව්‍යවස්ථාව උල්ලංඝනය කරල හරි කන්න දියවු කියල  කියන්න ඉඩ තියෙනවා. මා එය අනුමත කරනවා නො වෙයි. ජේ ආර්ගෙ ව්‍යවස්ථාව රකින්න කියන එකත් නො වෙයි මා කියන්නෙ. අපට පිළිවෙළකට හිතන්න බැරි කමේ ප්‍රශ්නයක් අවුරුදු එක්දහස් පන්සීයක් තිස්සෙ තියෙනවා කියන එක පැහැදිලියි. අපි සංඛ්‍යා ලියන්න ඉලක්කම් තියෙද්දි අකුරෙන් ලියපු ජාතියක්. අපටත් පොඩි කාලෙ වාක්‍ය ලියන විට සංඛ්‍යා අකුරෙන් ලියන්න කියල තමයි ඉගැන්නුවෙ.

 

රනිල් නුවරඑළි ගිහින්. ඉංගිරිසින් කරපු විධියට අපිත් මේ කාලෙ නුවරඑළියට යනවා. සැනකෙළි පවත්වනවා. ජාතික රූපවාහිනියෙ ජාතික සැනකෙළිය. මා වරදක් කියනවා නො වෙයි. අවුරුද්දට නෑගම් යන්නත් එපායැ. ඒත් ප්‍රශ්නය අර පනත් සම්මත කර ගන්නෙ කොහොමද කියන එක. පොහොට්ටුව පනත්වලට ඡන්දෙ දෙනවා ? ඡන්දෙ දුන්නෙ නැත්තන් ඡන්දදායකයන් මොනව කරයි ?

 

අර කවුද ඉංගිරිසි ජාතිකයකු කොහෙද පාසලකට ගිහින් අඩු ආදායම් ලාභීන්ගෙ දරුවන්ට තෑගි බෝග අරගෙන. ඔහු එහි දී දැකල තියෙන්නෙ ස්මාට් ෆෝන් පාවිච්චි කරන අඩු ආදායම් ලාභීන්. දැන් මගෙන් අහන්න එපා ළමයි වර්ගවල දුරකථන පාවිච්චි කරන එක වරදක් කියලා. ප්‍රශ්නය ඒක නො වෙයි. පෞද්ගලිකවත් ජාතියක් ලෙසත් අපේ ප්‍රමුඛතා ලැයිස්තු හදා ගන්න අප දන්නෙ නැහැ. අපට ඒක කියල දෙන්නෙ කවුද? පන්සල පාසල රූපවාහිනිය පාර්ලිමේන්තුව ?

 

අවුරුදු 1500 කට පස්සෙ හරි අපි ටිකක් කල්පනා කරමු ? එහෙම නැත්නම් නැව ගිලුනත් බෑං චුන් කියමු ? ව්‍යවස්ථාව යකාට ගියත් යකා එන්නෙ නැහැ.