History

Friday, 14 April 2023

රිබෙයිරෝගෙන් නොක්ස්ට

 

රිබෙයිරෝගෙන් නොක්ස්ට

 

මේ දැනට වසර කිහිපයකට පෙර මා ලියූ ලිපියක කොටසක්. රිබෙයිරෝ ගැන මා ඊයේ පුරාවිද්‍යා උරුම මධ්‍යසථානය සංවිධානය කළ සුම් මගින් පැවැත්වූ දේශනයේ දී සඳහන් කළා.

 

 

“1685 දි පමණ රිබෙයිරො නම් පෘතුගීසි කපිතාන්වරයකු ඔහුගේ දෙවැනි පේදුරු රජුට පොතක් පිළිගන්නලා තිබෙනවා. එය කැලිස්ටස් නානායක්කාර මහතා විසින් සිංහල ද්වීපයේ ඓතිහාසික ඛෙදාන්තය ලෙස සිංහලට පරිවර්තනය කෙරී තිබෙනවා. එහි මෙසේ සඳහන් වෙනවා. “ එහෙත් මේ සියලු දෙවියන්ට වඩා ඔවුන් ගරු කරන දෙවියෙක් වෙයි. ඔවුහු ඔහු බුධ නමින් හඳුන්වති. …….. .. ඔහු මෙම දිවයිනේ යහපත් ජීවිතයක් ගත කළ මහා දෙවියෙකැයි ඔවුහු කියති. ඔවුන් විසින් අවුරුදු නමින් හැඳින්වෙන ඔවුන්ගේ වර්ෂ (මාර්තුවේ අලුත් දවාලෙන් ඇරඹෙන) ඔහු නැවතී දින සිටි දිනයේ සිට ගණන් ගනිති. ” මෙය ඉතා වැදගත්. මේ බුදුන් වහන්සේ ලංකාවට වැඩම කිරීම ගැන සඳහනක්. බුදුන් වහන්සේ මෙරට නැවතී සිටි දිනයක් ගැන මෙහි දී කතා කෙරෙනවා. මේ වැඩම කිරීම මාර්තුවේ අමාවකින් පසු දිනය ලෙස සලකන්න පුළුවන්. අප මාසය පටන් ගන්නේ අමාවකින් පසුව. අලුත් .දවාල කියන්නෙ අමාවකින් පස්සෙ දවස. අපේ දවස පටන් ගන්නෙ රෑ දොළහට නොව ඉර උදාවත් සමග.  රිබෙයිරො මේ සඳහන් කරන්නේ බුදුන් වහන්සේ බක් මහ ලංකාවට වැඩම කළ දවස ගැන. එය අමාවක වූ බවයි මෙහි කියන්නේ. සමහරවිට ආදි සිංහලයන් යම් ආකාරයක වර්ෂයක් එදින පටන් ගන්න ඇති. කෙසේ වෙතත් බක් මහ උළෙලත් බුදුන් වහන්සේ මෙරටට වැඩම කළ දිනයක් සමග සම්බන්ධ කියලා හිතන්න පුළුවන්.”

 

රිබෙයිරෝ මේ කියන්නේ යම් ආකාරයක වසරක් පටන් ගැනීමක් බවයි මා මෙහි කියා ඇත්තේ. එය දැන් සිංහල අවුරුද්ද නමින් හැඳින්වෙන අවුරුද්ද නොවේ යන හැඟීමක් මට එකල තිබුණා. එහෙත් මා දේශනයේ දී සඳහන් කළ පරිදි රිබෙයිරෝ මේ කියන්නේ අපේ අලුත් අවුරුද්ද ගැනයි. රිබෙයිරෝට අනුවත් බුදුන්වහන්සේ වැඩම කළ බවට සිංහලයන් පිළිගෙන ඇත්තේ බක් මහා අමාවක දිනයක. මහාවංසය සඳහන් කරන්නේත් එහෙමයි. එහෙත් අද අපට අසන්න ලැබෙන්නේ බුදුන්වහන්සේ බක් මස පසළොස්වක දිනයක වැඩි බවයි. මා ලිපිවල කිහිප වතාවක් ගැන සඳහන් කර ඇති නමුත් කිසිවකු ගැන උනන්දුවක් දක්වන පාටක් පේන්න නැහැ. 

 

රිබෙයිරෝගේ කියමන ගැන අපට කිහිප ආකාරයකට හිතන්න පුළුවන්. ඔහු ලංකාවේ වාසය කර ඇත්තේ එක්දහස් හයසිය හතළිස් ගණන්වල. අපට හිතන්න පුළුවන් ඔහු සඳහන් කර ඇත්තේ අලුත් අවුරුද්ද ගැන නොව වෙනත් අවුරුද්දක් ගැන කියා. එයට හේතුව අප දැන් පවත්වන අන්දමට එකල සූූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම අවුරුද්ද ලෙස සලකන්න ඇති යන උපකල්පනය. එහෙම නැත්නම් අපට හිතන්න පුළුවන් රිබෙයිරෝ වැරදි නිරීක්‍ෂණයක් කර ඇත කියා. කතෝලිකයකු වූ ඔහුට අපේ සිරිත් විරිත් ගැන වැටහීමක් නොතිබෙන්න ඇත යන පදනමෙන්. ඔහු බුදුන් වහන්සේ මෙහි වැඩ විසූ බවක් කියනවා. බුදුන් වහන්සේ දිවයිනෙහි දින කිිහිපයක් වැඩ සිටි බවට සිංහලයන්ගේ දැනුමක් වූ බවයි මෙයින් කියැවෙන්නේ.

 

එහෙත් පසුගිය දා මට වැටහුණේ රිබෙයිරෝ සඳහන් කරන්නේ අද අප අලුත් අවුරුද්ද යනුවෙන් හඳූන්වන්න කියා. සිංහලයන් එක ළඟ අවුරුදු උත්සව දෙකක් එහෙමත් නැත්නම් අවුරුදු උදාවන් දෙකක් පවත්වන එකක් නැහැ. රිබෙයිරෝ ලංකාවේ සිටි කාලයේ අවුරුදූ උදාව ලෙස සලකන්න ඇත්තේ හිරූ මීන රාශියෙන් මේෂයට සංක්‍රමණය වීමවත් රේවති නැකතින් අස්විද නැකතට සංක්‍රමණය වීමවත් නොව  අමාවකෙන් පසු දිනය.

 

අප නැකැත් කෙළි පවත්වා ඇත්තේ හිරු එක නැකතකින් ඊළඟ නැකතට සංක්‍රමණය වීම පදනම් කර ගෙන නොවෙයි යනු මගේ නිගමනයයි. මා දේශනයේ දී උත්සව (නැකැත් කෙළි) දෙකක් ගැන සඳහන් කළා. එකක් දේවානම්පිය තිස්ස රජුගේ මුව දඩයම එක් අයකු කලකට පෙර පුවත්පතක සඳහන් කර තිබුණා රජු මුවදඩයමේ ගිය මුවසිරස නැකතින් කියා. මට මතක හැටියට ඔහු වැඩිදුර විස්තරයක් කර තිබුණේ නැහැ.

 

මේ  නැකැත් කෙළි යොදා ගැනෙන්නේ පෝය මුල් කර ගෙන. මාසය පටන් ගැනීම අමාවක දිනයකින් සාමාන්‍යයෙන් වෙන්නෙ. එබැවින් වසරක පටන් ගැනීමත් අමාවක දිනයක වෙන්න ඕන. එයට වෙනස් වෙනවා නම් පසළොස්වක පෝයක වෙන්න ඕන. බුද්ධ වර්ෂය පටන් ගැනෙන්නේ පසළොස්වක පෝයක. අපේ අවුරුද්දත් පටන් ගන්න ඇත්තෙ රිබෙයිරො කියන ආකාරයට බක් මහා අමාවක දිනයක.  රිබෙයිරෝට වැරදීමක් සිදු වුණා කියා සිතන්න අමාරුයි.

 

එවිට ප්‍රශ්නයක් ඇති වෙනවා. අපේ අලුත් අවුරුද්ද අමාවක දිනයෙන් ලග්නයකින් ලග්නයකට හරි නැකතකින් නැකතකට හරි සංක්‍රමණය වන දිනයට වෙනස් වුණේ කෙසේ ? කාගේ බලපෑමකින් ? ගැන පොතපතේ සඳහන් වෙනවා ?  රොබට් නොක්ස් හිටපු දවස්වල අවුරුද්ද අමාවකින් සංක්‍රාන්තියට සංක්‍රමණය වෙලා. දෙදෙනා ලංකාවේ හිටියේ දෙවැනි රාජසිංහ රජු කාලයේ. නොක්ස් සඳහන් කරන්නේත් අමාවක ගැන ? ගැන අධ්‍යයනයක් කරන්න ඕන. කමක් නැහැ ඒක පැත්තකින් තියා අපි අද අවුරුදු පවත්වමු.


පොළොවට සාපේක්‍ෂ  ඉර ගමන් කරන බව පිළිගන්නා සැමට සුබ අලුත් අවුරුද්දක් වේවා නොපිළිගන්නා විද්වත් අනෙක් අයට අවුරුද්දක් නැහැ නිසා සුබ පතන්න බැහැ