History

Saturday, 15 April 2023

ඉතිහාසයේ ප්‍රශ්නය

 

 ඉතිහාසයේ ප්‍රශ්නය


ඉතිහාසය කියන්නේ අමාරු විෂය හැටියටයි මට හැඟෙන්නේ. පහසු විෂය ගණිතය වෙන්න ඕන. කියන්නෙ ලංකාවෙ කියන හැටියට නම් ශූද්ධ ගණිතය. පාසලේ නවවැනි වසර (සාමාන්‍ය පෙළ පළමුවැනි වසර) වෙන තුරු මගේ ප්‍රියතම විෂය වුණේ ගණිතය හා ඉතිහාසය. දහවැනි වසරෙ ඉඳල ලංකාවෙ ව්‍යවහාරික ගණිතය කියන විෂයය. එහෙමත් නැත්නම් ගණිතමය භෞතික විද්‍යාව කියන්න පුළුවන්. අදත් මේ සියලු විෂය මා හදාරනවා.

 

ගණිතයෙ දි ලෝකයක් ගැන හිතන්න ඕන නැහැ. ඇරිස්ටෝටලීය න්‍යාය අනුව තර්කානුකූල වීම සංගතවීම නිරවුල් වීම  සුනම්‍යතාව ආදිය තමයි එහි දී වැදගත් වෙන්නෙ. එය ඉතාමත් වියුක්තයි. වරක් ඉහළ ගණිතඥයකු වූ හාඩි ගණිතඥයන්ගේ රැස්වීමක දී  ගණිතයට සවුදිය පිරුවා කියනවා මේ ගණිතයට, ඉන් කිසිවකුට කිසිම ප්‍රයෝජනයක් අත් නොවේවා කියා. මෙහි වියුක්ත බව කියන්නෙ ලෝකයෙන් ඈත්වීමක් කියා කාට හරි හිතෙන්න පුළුවන්. හාඩි කියන්නේ ලෝකයට වැඩක් නො වේවා යන්නයි. වියුක්ත බව කියන්නේ අමූර්ත නැත්නම් හිතෙන්වත් මවා ගන්න බැරි බව. මා නවවැනි වසරෙදි බව දැන හිටියා කියල මෙයින් කියැවෙන්නෙ නැහැ.

 

ඉතිහාසය කියන්නෙ ඒකෙ අනිත් පැත්ත. ඉතාමත් සංයුක්ත ලෝකෙත් එක්ක බැඳිච්ච විවිධ මතවලට තුඩු දෙන තමා දරණ මතයට (තම මතයට නො වෙයි. ලංකාවෙ පස්වැනි සියවසෙන් පමණ පසු තම මතයක් තිබුණෙ කුමාරතුංගයන්ට පමණයි කියා මා හිතන්නෙ) විරුද්ධ නම් කේන්ති යන්න පුළුවන් විෂයක්. ගණිතයෙ දි ලෝකෙ ගැන හිත හිත ඉන්න ඕනෙ නැහැ.  ඉතිහාසයෙ දි ලෝකය ගැන හිතන්නෙ නැතුව ඉන්න බැහැ. ව්‍යවහාරික ගණිතයෙ දි (ගණිතමය භෞතික විිද්‍යාවෙ දී) ගණිතයට අනුකූල ලෝකෙ ගැන හිතන්න ඕන. ඒත් එහෙම හිතන එක සාර්ථක කරන්න පුළුවන් සිත් පිත් නැති, ප්‍රාණයක් තබා ජීවයක්වත් නැති, වස්තු සඳහා පමණයි. ජීවය නො වෙයි අණු කිහිපයක් එකතු වුණත් ඒක අමාරුයි. රසායන විද්‍යාව ගණිතය එක්ක තරම් පෑහෙන්නෙ නැහැ. භෞතීය රසායන විද්‍යාව වෙනස් කතාවක්. රසායන විද්‍යාවෙ සමහරුන් අකමැති ක්‍ෂෙත්‍රය භෞතීය රසායන විද්‍යාව.  

 

ඉතිහාසය මොන තරම් අමාරු කියල හිතා ගන්න පුළුවන්. ඉතිහාසයෙ දි සාක්‍ෂි ඉල්ලනවා. ඒත් තමන් දරණ මතයට විරුද්ධ මතයක් දරණ අයගෙන්. තමන් දරණ මතයට සාක්‍ෂි දෙන්නෙ අර කියන්න වගේ ලාවට. මා පරණ අවුරුදු දා කළ දේශනයෙ දී බොහෝ දෙනා දරණ මතවලට විරුද්ධ මත ඉදිරිපත් කළා. මා බොහෝ කලක සිට කියන දේ. ඒත් සමහරු සමහර දේ ඇහුවෙ එදා. සමහරු රිබෙයිරො මෙහෙම කියල තියෙනවා කියන එකට කැමති නැහැ. ඔය පරංගියා මොනවා දන්නෙ කියල කියනවා. බුදුහාමුදුරුවො දෙවැනි වර ලංකාවට වැඩියෙ බක්මහ අමාවක දිනයෙ කියල පරංගියා දන්නෙ කොහොම කියල අහනවා. පරංගියා කියල තියෙන්නෙ එකල ලංකාවෙ මට හිතෙන හැටියට බස්නාහිර මුහුදුබඩ ප්‍රදේශවල ජීවත් වූ ජනතාව කී කතාවක්. ඒක මහාවංසෙත් තියෙනවා කිවුව කියනව මහාවංසෙ ලිවුවෙ සිද්ධියෙන් බොහෝ කාලෙකට පස්සෙ කියල. ඒත් සිද්ධිවලින් බොහෝ කාලෙකට පස්සෙ ලිවුව පළමුවැනි හා තුන්වැනි වර වැඩීම ගැන මහාවංසය කියන දේ පිළිගන්නවා. දෙවැනි වර වැඩීම ගැන කියන දේ පිළිගන්නෙ නැහැ. ඒක තමයි ඉතිහාසය.

 

මට අනුජ මංචනායක ලියා තිබූ සටහනකින් දැන ගන්න ලැබුණ නාගදීපයට වැඩීම හා සම්බන්ධ මහාවංස පාඨය පාළියෙන්. පාළි භාෂාවට අක්‍ෂර පද්ධතියක් නැති නිසා එය විවිධ අකුරුවලින් ලියනවා. මෙහි තියෙන්නෙ රෝම (ඉංගිරිසි) අක්‍ෂරවලින් ලියූ අදාළ කොටස. “Mahākāruṇiko satthā, sabbalokahite rato bodhito pañcame vasse, vasaṃ Jetavane jino. Mahodarassa nāgassa, tathā Cūḷodarassa ca; mātulabhāgineyyānaṃ, maṇipallaṅkahetukaṃ. Disvā sapārisajjānaṃ, saṅgāmaṃ paccupaṭṭhitaṃ; sambuddho Cittamāsassa, kāḷapakkhe uposathe”.

 

මා පාළි උගත්තෙ නවවැනි වසරෙ. මගේ ඉතා සීමිත පුස් කෑ පාළි දැනුම අනුව චිත්තාමාස කාලපක්ඛෙ කියන්නෙ අර චෛත්‍රය මාසෙ අවපක්‍ෂය කියන එක. මහාවංස ඉංගිරිසි පරිවර්තනයෙ එය සඳහන් වෙන්නෙ චිත්ත මාසෙ අන්ධකාර භාගෙ කියල. “at Jetavana  in the fifth year of his buddhahood, saw that a war, caused by a gem-set throne, was like to come to pass  "between the nagas Mahodara and Culodara, uncle and nephew, and their followers ; and he, the SamKuddha, on the uposatha day of the dark half of the month Citta, in the early morning, took his sacred alms-bowl and his robes, and, from compassion for the nagas, sought the…….”

 

මට තියෙන්නෙ සාක්‍ෂි දෙකයි. මහාවංස කතෘ හා රිබෙයිරො. අපට දැන් චූලෝදර මහෝදර සාක්‍ෂියට කැඳවන්න බැහැ. ඉතිහාසයෙ තියෙන මූලික ප්‍රශ්නය ඒකයි. අපට කවුරු හරි ලියපු දෙයක් ගැන එහෙම නැත්නම් මිනිසුන් විසින් තනන ලද ගොඩනැගිල්ලක් වැවක් යන්ත්‍රයක් වගේ දෙයක් ගැන යැපෙන්න වෙනවා. ඒවත් අර්ථකථනවලට යටත් වෙන්න වෙනවා.

 

අපි තවදුරටත් මේ ගැන පසුව කියමු. එහෙත් දැනට ඉතා කෙටියෙන් කරුණු කිහිපයක් කියන්න ඕන. මහාවංසය සඳහන් කරන්නෙ චිත්ත මාසය කියල මිස බක් කියල නො වෙයි. කාලෙ බක් කියල කිවුවෙ නැද්ද එහෙමත් නැත්නම් බක් මහට පාළියෙන් කිවුවෙ චිත්ත මාස කියල මට කියන්න බැහැ. මට සාක්‍ෂි නැහැ. ඒත් මට වෙනත් සාක්‍ෂියක් තියෙනවා. අපි අද මාසෙට කියන්නෙ අප්‍රේල් කියල. වඩාත් හොඳට නම් ඒප්‍රිල් කියල. නැහැ මේ ඒප්‍රිල් ෆූල් කතාවක් නො වෙයි. බක් මහ අකුණුත් නො වෙයි.

 

මහාවංසෙ විජය ගැන කියනවා. හැරෙන්න කාලෙ හදපු ගොඩනැගිල්ලක් හරි වෙනත් දෙයක් ගැන හරි සාක්‍ෂි නැහැ. ඒත් අපි යක්‍ෂයන් ගැන සාක්‍ෂි ඉල්ලනවා. පණ්ඩුකාභය කුමරු හැංගුනා කියන වැව හැදුවෙ කවුද කියලත් කවුරුවක්වත් කියන්නෙ නැහැ. මා යක්‍ෂයන් ගැන අවධාරණය කරනවා නො වෙයි. ඔවුනුත් මුල සිංහලයන්. අපට ඔවුන් අමතක කරන්න බැහැ. මහාවංසය ඔවුන් අමතක කරනවා. එයට හේතුවක් තියෙනවා කියා මට හිතෙනවා. යක්‍ෂයන් සමහර පිරිසක් බුදුදහමට හරි මහාවිහාර ආධිපත්‍යයට හරි විරුද්ධ වීම. මට නම් හිතෙන්නෙ බුදුදහමට නොව මහාවිහාර ආධිපත්‍යයට එරෙහි වීම කියා.

 

මා බොහෝ කලකට පෙර අපි මහාවිහාරෙ කියා ලිපියක් ලිවුවා. මට මතක හැටියට එය දැනට අවුරුදු විසිපහකට පෙර මගේ පියාගෙ වියෝවත් සමග ලියූ ලිපියක්. අපි තවමත් මහාවිහාරෙ. අප ජාතියක් ලෙස එකමුතු කෙළෙ බුදුදහම. මා පළමුවෙන් සිංහල බෞද්ධයෙක්. මා හිතන්නෙ නැහැ කාශ්‍යප රජු බුදුදහමට විරුද්ධ වුණා කියා. සමහර විට මහාවිහාරෙට විරුද්ධ වෙන්න ඇති. මට සාක්‍ෂි නැහැ. ඒත් එතුමා වෙස්සගිරියට හා ඉසුරුමුනියට ආධාර කර තියෙනවා. මහාවිහාරෙ එතුමාට විරුද්ධ වුණු බව නම් පැහැදිලියි. ඉසුරුමුනියෙ අශ්ව හිස ගැන මොකද කියන්නෙ?

 

දැන් මුල සිංහලයන් කවුරුත් නැහැ. ඔවුන් සිංහලයන් වෙලා. අද මහාවිහාර ආධිපත්‍යයකට  විරුද්ධ අය සාමාන්‍ය සිංහලයන් අතර නැහැ. ඉතිහාසය හරි බුදුදහම හරි ගැන තරම් කියවල නැති සාමාන්‍ය සිංහල බෞද්ධයකු වූ මට මහාවිහාරෙ ගැන තියෙන්නෙ ඇතැම් දේවල දි එකඟ නුණත් අපි මහාවිහාරෙ කියන හැඟීම. මහාවිහාරෙටත් ප්‍රශ්නයක් තිබුණා. අහන්න එපා මා කාලෙ හිටිය කියල. හිටියත් මා හරි අන් අයකු හරි නො වෙයි. ප්‍රශ්නෙ මොකක් කියල පස්සෙ කියන්නම්.