History

Saturday, 6 May 2023

තුන්වැනි චාල්ස්

 

තුන්වැනි චාල්ස්

 

අද චාල්ස්ගේ මෞලි මංගල්‍යය. ජනාධිපති රනිල් එයට සහභාගි වෙන්න ලන්ඩනයට ගිහින්. අපත් පොදුරාජ්‍ය මණ්ඩලයේ රටක්. 1972 වන තුරු අපේ රැජන වුණේ එලිසබෙත් වින්ඩ්සර්. අප එදා ජනරජයක් නොවන්න චාල්ස් අපෙත් රජු වෙන්න තිබුණා. අවස්ථාව අපට නැති කෙළේ බණ්ඩාරනායක මැතිණිය. තවමත් කැනඩාව ඕස්ත්‍රේලියාව නවසීලන්තය හා තවත් රටවල් කිහිපයක රජු චාල්ස්.  මැතිණියගෙ ආණ්ඩුවෙන් වතු රජයට ගැනීම සම්බන්ධයෙන් මෙරට ඇතැම් පිරිසක් තවමත් ඇයට විරුද්ධයි. ජී එල් පීරිස්ලගෙ වතුත් රජයට ගත්තා. ඔවුන් කාලෙ ජා පක්‍ෂයෙ. සමහරු කියනවා මා රාජපක්‍ෂලට විතරක් නො වෙයි බණ්ඩාරනායකලටත් කඩේ යනව කියලා. කමක් නැහැ දැන් බණ්ඩාරනායකලත් රාජපක්‍ෂලත් දේශපාලනිකව ඉවරයි.

 

චාල්ස්ගෙ මෞලි මංගල්‍යය පැවැත්වෙන්නෙ එලිසබෙත් මෞලි මංගල්‍යයට අවුරුදු හැත්තෑවකට පස්සෙ. 1953 අවුරුද්ද. මා එකල තර්ස්ටන් විදුහලේ තුන්වැනි පංතියේ සිසුවෙක්. රැජනගේ පුතාගෙ දුවගෙ නම් අපි දැන ගෙන හිටියා. කාලෙ හිටියෙ චාල්ස් හා ඈන් පමණයි. ඇන්ඩෘ හා එඩ්වඩ් උපන්නෙ ඊට පස්සෙ. සහෝදර සහෝදරියන් අතර එතරම් සුහදතාවක් නැති බවයි කියැවෙන්නෙ. ඇන්ඩෘ මෞලි මංගල්‍යයට සහභාගි වෙනව කියන එක ප්‍රශ්නයක්.

 

කොහොම වුණත් එකල, 1953 පසු, කතාවක් තිබුණ අවසානයේ දී ඉතිරිවන්නෙ රජවරු පස්දෙනයි කියල. කඩදාසි කුට්ටමේ රජවරු හා බිරිතානි රජු. චාල්ස් තවමත් රටවල් පහළොවක රජු. පොඩි වැඩක් නොවෙයි. ඔහුගෙ සීයා හිරු නොබසින අධිරාජ්‍යයෙ රජු. හයවැනි ජෝර්ජ්. අප එංගලන්තයට යටත් වුණෙ 1815 දි තුන්වැනි ජෝජ්ගෙ කාලෙ. දැන් තුන්වැනි චාල්ස්ගෙ කාලෙ. අපි තාමත් යටත්. 

 

1953 දි පාසලෙන් අප එක්කන් ගියා එලිසබෙත් මෞලි මංගල්‍යය චිත්‍රපටය බැලීමට. එදා තමයි මා රීගල් සිනමා හලේ චිත්‍රපටයක් බලපු පළමුවැනි දවස. එලිසබෙත් 1954 දි ලංකාවට ආවා. අපත් කොළඹ ගියා ඇගේ  රිය පෙරහැර නැරඹීමට. අප පෙරහැර නැරඹුවෙ තුන්මුල්ලෙ අද ලක්සල තියෙන තැන ඉඳන්. මා සියල්ල සඳහන් කෙළෙ අපි 1953දිත් මානසික කෙතරම් යටත් කියල කියන්න.

 

ඒත් 1998දිත් අප යටත් හිටියෙ. නිදහසේ පනස්වැනි සැමරුමට චන්ද්‍රිකා චාල්ස් හෙවත් වේල්ස් කුමාරයා ගෙන්න ගත්තා නුවරට. නුවර තමයි උත්සවේ පැවැත්වුණෙ. චන්ද්‍රිකා එදා ඉංගිරිසියෙන් කතා කෙළේ. සිංහලෙන් කතා කළාට චාල්ස්ට තේරෙන එකක්යැ. අපි එදා දේශප්‍රේමි භික්‍ෂු පෙරමුණත් සමග එකතු වී වෙල්ලස්සට ගිහින් වෙල්ලස්සේ කුමරු සැමරුවා. ඉංගිරිසින්ට විරුද්ධ සටන් කරපු සිංහල නායකයන් සැමරීමට. නැහැ මා චන්ද්‍රිකාට කඩේ ගියේ නැහැ.

 

වේල්ස් කුමරු ගැන කියන විට මට පැරණි වේල්ස් කුමරුවකු ගැන මතක් වෙනවා. 1876 දි මෙරටට පැමිණි ඇල්බට් එඩ්වඩ් නම් වේල්ස් කුමාරයා. ඔහු වික්ටෝරියා රැජනගෙ ලොකු පුතා. ඔහු වෙනුවෙන් සර් චාල්ස් හෙන්රි සොයිසා දුන් භෝජන සංග්‍රහය ගැන අපේ තාත්තා අප කුඩා කළ අප සමග පවසලා තියෙනවා. තාත්තා ඉපදුණෙ ඊට අවුරුදු තිස්පහකට පස්සෙ. අප කුඩා කලයේදිත් එනම් සිද්ධියෙන් අවුරුදු හැත්තෑපකට පමණ පසුවත් අපේ ගෙවල්වල ගැන කතා වුණා. චාල්ස් සොයිසා වේල්ස් කුමරු වෙනුවෙන් රන් පිඟන් ගැරූප්පු පිහි ආදිය සකස් කළ බවයි කියැවුණෙ.

 

කොහොම වුණත් වේල්ස් කුමරු වෙනුවෙන් චාල්ස් සොයිසා වේල්ස් කුමර විදුහලත් වේල්ස් කුමරි විදුහලත් මොරටුවේ ආරම්භ කළා. විදහල්වලින් සම්භාවනීය උගතුන් රාශියක් රටට දායාද කරල තියෙනවා. පසුගිය දා මිය ගිය මහාචාර්ය ප්‍රියානි සොයිසාත් වේල්ස් කුමරි විදුහලේ ආදි ශිෂ්‍යාවක්. මා හිතන්නේ කෞතුකාගාරය පිහිටා ඇති ඇල්බට් චන්ද්‍රවංකය ඇල්බට් නමින් නම් කරල තියෙන්නෙ කියා. වැඩි විස්තර රනිල් දන්නවා ඇති.

 

අප සරසවි සිසුන් සිටි අවධියේ රජයේ ශිෂ්‍යත්වවලට අමතර උපාධි පරීක්‍ෂණවලින් ඉහළින් සමත් වෙන අයට පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරුණා. මට මතක හැටියට වික්‍රමබාහුත් ශිෂ්‍යත්වලාභියෙක්. ඔහු කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයට ගියේ. දැන් ශිෂ්‍යත්ව නැහැ. රනිල් සමහර විට නැවත ස්ථාපිත කරාවි.

 

අවුරුදු හැත්තෑවකට පෙර මෞලි මංගල්‍යයට රටේ තිබුණු උනන්දුව අද නැහැ. අපේ යටත්විජිත මානසිකත්වය අඩුවෙලා හින්ද නො වෙයි. අද සංස්කෘතික ආධිපත්‍යය එංගලන්තයෙන් ඇමරිකාවට මාරු වෙලා. අද අප වැඩියෙන් කතා කරන්නෙ බයිඩන් ගැන ජූලි චන් ගැන. ලංකාවේ බිරිතානි මහාකොමසාරිස් ගැන වැඩි කතාවක් නැහැ. මට මතක හැටියට සාරා හල්ටන්. මා වැරදි වෙන්නත් පුළුවන්. ඔය තානාපති කාර්යාලයකට නරක පොසොන් දන්සලක් පැවැත්තුවා නම්. ජනයා හැතැප්ම ගණන් පෝලිමේ ඒවි. සුහදත්වය වැඩි වේවි.

 

රනිල්ට තාමත්  බිරිතානිය ගැන ඇල්මක් ඇති. අපේ අධ්‍යාපනය එහෙමයි. අප සාමාන්‍ය පෙළ පළමු වසරේ දී ඉංගිරිසි ඉතිහාසය හැදෑරුවා. අපට දැනුම් ආධිපත්‍යයෙන් මිදෙන එක පහසු කාර්යයක් නො වෙයි. යටත්විජිත විරෝධීන් කියන වමාලාත් දැනුම් ආධිපත්‍යයේ හිරකරුවන්. වෙසක් දින කියා ඔවුන් නිදහස් කරන්නේ නැහැ. නත්තලටවත් නිදහස් කරන්නේ නැහැ.

 

කොහොම වෙතත් අද වෙස්ට්මිනිස්ටර් දේවස්ථානයේ චාල්ස් දිවුරුම් දෙන්නෙ පිරිත් සජ්ඣායනා මැද නො වෙයි. එය ඇංග්ලිකන් ක්‍රිස්තියානි උත්සවයක්. මා හිතන්නෙ නැහැ එහි සර්වාගමික වත් පිළිවෙත් තියේවි කියා. ලන්ඩන් විහාරයේ විහාරාධිපතින් වහන්සේට මෞලි මංගල්‍යයට ආරාධනයක් ලැබුණ කියන්න දන්නෙ නැහැ. එංගලන්තයේත් විවිධ ආගමිකයන් ජනවාර්ගිකයන් ඉන්නවා. ඒත් එය ඉංගිරිසි ක්‍රිස්තියානි රටක්. කිසිම වමකු එහෙම නොවෙයි කියන්නෙ නැහැ. කැන්ටබරියේ හා යෝක්හි ආච්බිෂොප්වරුන්ට චාල්ස් එන විට නැගිටින්න වෙනවා. අටවැනි හෙන්රිගෙ සම්ප්‍රදාය අනුගමනය කරමින්. ඇංග්ලිකන් ක්‍රිස්තියානි සභාවෙ නායකයා චාල්ස් මිස බිෂොප්ලා නො වෙයි. 1953 මෞලි මංගල්‍යය චිත්‍රපටය නරඹන විට කුඩා මගේ මනසේ ඇති වුණු හැඟීම වුණේ ඇයි මේ පූජකවරු රැජන එන විට නැගිටින්නෙ කියන එක. ලංකාවෙ එහෙම පුරුද්දක් නැහැ.