History

Saturday, 27 May 2023

සිංහලයෝ හා අමනුෂ්‍යයෝ

සිංහලයෝ හා අමනුෂ්‍යයෝ

 

සමහරු කියල තිබුණ මා ලිපි පන්දාහකට නොව දහදාහකට ආසන්න ප්‍රමාණයක් ලියල ඇති කියල. මා දන්නෙ නැහැ. මෙය වැඩියෙන් ලිපි ලිවීමේ තරගයක් හරි වැඩියෙන් ලිපි ලියා වාර්තා පිහිටුවීමේ වෑයමක් හරි නො වෙයි. බුද්ධිමතුන් හා උගතුන් කියන්නේ මා මිථ්‍යාව පතුරවන රාජපක්‍ෂලාට කඩේ යන මැන්ටලයක් කියාමා සමග වැඩ කළ බොහෝ දෙනකු කියන්නේත් මා මිථ්‍යාව පතුරවනවා කියා. එක් එක් අය තම තමන්ගේ මතවල ඉන්නවා. මා කියන දේ සමග එකඟ වන විට ලිපි හොඳයි කියනවා. එහෙත් මා තම මතය සමග එකඟ නොවන විට ඔවුන් මට මිථ්‍යා දෘශ්ටිකයා සිංහල බෞද්ධ විරෝධියා ආදී වශයෙන් බැණ වදිනවා.

 

මහාවංසය අකුරක් නෑර විශ්වාස කරන අමනුෂ්‍යචාදීන් විජයට පෙර ලංකාවේ කිසිවක් තිබුණේ යැයි මනුෂ්‍යයන් හිටියේ යැයි පිළිගන්නේ නැහැ. අමනුෂ්‍යවාදීන් කියා මා කියන්නේ විජයට පෙර මෙරට හිටියේ අමනුෂ්‍යයන් යැයි කියන අයට. ඔවුන් හිතන්නේ සිංහලකම වෙනුවෙන් පෙනී සිිටින්නේ තමන් කියා. එහෙත් සිංහල බෞද්ධ විරෝධීන් ඔවුන් ඉන්නවා කියාවත් දන්නේ නැහැ. කෙසේ වෙතත් මා දන්නවා සීගිරියේ අවුරුදු පන්දහකට පෙර ඉදි කළ කොටස් හමු වෙලා තියෙන බව. ඒව නම් විජය තියා පැරණි වංග රජකුවත් කළ දේ වෙන්න බැහැ. මෙරටට වංගයෙන් (බංග්ලා දේශ, බටහිර බෙංගාලය) කාලිංගයෙන් (ඔඩෙස්සා හෙවත් ඔරිස්සා) හා ආන්ද්‍ර ප්‍රදේශයෙන් විවිධ කාලවල ජනයා පැමිණ තියෙනවා. ඔවුන්ගේ ජාන සිංහලයන් අතර ඇති. එමෙන් සංස්කෘතික සම්බන්ධතා ඇති. අද තමිල්නාඩුව කියන ප්‍රදේශයේ උතුරේ බෞද්ධ බලපෑම තිබී තියෙනවා. අද තමිල්නාඩුව වුණාට එදා ආන්ද්‍ර වෙන්න පුළුවන්. මෙරට ආන්ද්‍ර නම ඇති අන්ද්‍රාහැන්නැදිගේ වගේ වාසගම් තියෙනවා.

 

බුද්ධඝෝෂ හිමියන් පැමිණියෙත් ආන්ද්‍ර ප්‍රදේශයෙන්. නිශ්සංක මල්ල පැමිණ ඇත්තේ ඊට ටිකක් උඩ කාලිංගයෙන්. ඔහු පැමිණ ඇත්තේ තමාට හිමි රජකම ලබා ගැනීමට. කාලිංග මාඝ කොහේ සිට පැමිණියත් රජකම ලබා ගැනීමට පැමිණි කාලිංගයෙක්. ආඬි කියන්නෙත් ආන්ද්‍ර  යන්නෙන් බිඳී එන්නක්. සීතාවක රාජසිංහ රජු දවසත් අරිට්ටකි වෙන්ඩු වැනි ආඬින් පැමිණ තියෙනවා. අදත් තඹුත්තේගම ආඬි ජනකොටස් ඉන්නවා. අනුරාධපුරේ ගියා ඔවුන්ගෙන් සාත්තරයක් අහගන්න පුළුවන්.

 

සාත්තරේ නැති වුණත් වංගයේ සිට ආන්ද්‍ර ප්‍රදේශය හා වත්මන් තමිල්නාඩුවේ උතුර දක්වා අපට නැකම් තියෙනවා. අප වරක් කොල්කතාවේ සිට චෙන්නායි දක්වා දුම්රියේ පැමිණියා. අතරමග බෞද්ධ සිද්ධස්ථාන නරඹන්නත් ගියා. හින්දු කෝවිලුත් නැරඹුචා. ඒත මට තවම  අපේ මුත්තා වූ ථකුරගේ ගම වූ රාජස්ථානයට යන්න බැරි වුණා. අපට භාරතය සමග සම්බන්ධකම් අවුරුදු දෙදහසකට වැඩිය පැවතිලා තියෙනවා. සමහරවිට විජය එන්නට පෙරත් වංග කාලිංග ආන්ද්‍ර ප්‍රදේශවලින් ජනයා ලංකාවට එන්න ඇති. යක්‍ෂයනුත් සමහරවිට එසේ පැමිණි ජනකොටසක් වෙන්න ඇති. ඩේරියස් රජුගේ කාලයට පෙර වෙන්න ඕන. නාගයනුත් මෙරට ජීවත් වෙලා තියෙනවා. වැවු තැනීම ආරම්භ කෙළේ යක්‍ෂයන් හරි නාගයන් හරි වෙන්න ඕන. පණ්ඩුකාභය කුමරුට සෙල්ලම් කරන්න වැවක් හදන්න ඇත්තේ විජයගෙන් පසු වංගයෙන් පැමිණි අය වෙන්න බැහැ. වැවු කවුරු හැදුවත් දඹදිව අනුකරණයක් නො වෙයි. දඹදිව වගේ වැවු නැහැ.

 

දඹදිව වැවු විතරක් නොවෙයි පිරමිඩ් වැනි දාගැබුත් නැහැ. දාගැබ් කියන්නේ පිරමිඩ් වර්ගයක්. ගණිතයේ එහෙම උගන්වන්නෙ නැත්නම් මට කරන්න දෙයක් නැහැ. අපට දඹදිව සමග පමණක් නොවෙයි වෙනත් රටවල් සමගක් සම්බන්ධකම් තිබිල තියෙනවා. ගැන වැඩි කතාවක් නැහැ. කොහොම වෙතත් සිංහලයන් කියන්නෙ විවිධ ජනකොටස් මෙරට වැසියන් සමග මිශ්‍ර වීමෙන් හැදුණු ජාතියක්. අපට යම් බලපෑමක් ඇතැම් අංශවලින් වංගයේ සිට ආන්ද්‍රය දක්වා ප්‍රදේශවලින් ලැබෙන්න ඇති. අපේ සංස්කෘතියේ ඇතැම් ආර්ය ලක්‍ෂණ ඔවුන්ගෙන් විශේෂයෙන් වංගයෙන් හා කාලිංගයෙන් ලැබෙන්න ඇති. වංගයන් ආර්යයන් වී ඇත්තේ දඹදිව බටහිරින් පැමිණි ආර්ය සංස්කෘතිය අවශෝෂණය කර ගැනීමෙන් මිස ජානවලින් නො වෙයි. පසු කාලීන අපට චේරයෙන් නැත්නම් කේරළයෙන් සංස්කෘතිකාංග ලැබී තියෙනවා. ශ්‍රී වික්‍රම රජසිංහලා මදුරෙයි ප්‍රදේශයට උතුරෙන් එනම් ආන්ද්‍රයෙන් පැමිණි පිරිස්. ඔවුන් වඩිග වී ඇත්තේ උතුරෙන් පැමිණි නිසා. ඔවුන් කතා කළ බසට අප එදා ආන්ද්‍ර (අන්ඩර) දෙමළ කිවුවා.

 

අපේ ඉතිහාසය උත්තර භාරතීය කේන්ද්‍රීය විය යුතු නැහැ. මා සිංහලයන්ගේ මුල හොයන්න යනවා නො වෙයි. එහෙම මුල හොයන එක බෞද්ධ සංස්කෘතියකට එකඟ නැහැ. සිංහලයන් යනු විජයගෙන් පැවත එන ජාතියක් කීමත් එක් අතකින් මුල සෙවීමක්. මා දන්නවා  සිංහල බෞද්ධ විරෝධී බුද්ධිමතුන් වැඩියෙන් හිනා වෙන්නේත් මුග්ධයා කියන්නේත් මට බව. සුපිරි සිංහල බෞද්ධයන් එසේ කියන දිනය වැඩි ඈතක නො වෙයි.

 

කුමක් වුණත් භාෂාවේදීන්ටත් ඉතිහාසඥයන්ටත් ප්‍රශ්නයක් යොමු කරන්න ඕන. සඳහා උත්තර මා හැරෙන තැපෑලෙන් බලාපොරොත්තු වන්නේ නැහැ. මාගධියේ නැති හල් කිරීමක් සිංහලයේ ඇති වුණෙ කෙසේ ? මාගධියේ අකුරු බැඳ ලියනවා. අපි හල් කරනවා. මා ප්‍රශ්න අසන්නේ වයසට ගියත් මා බොහෝ දේ නොදන්නා නිසා.