History

Tuesday, 4 July 2023

යක්‍ෂ ගඟ හෙවත් පර්සියන් ගඟ හෙවත් මහවැලි ගඟ

 

යක්‍ෂ ගඟ හෙවත් පර්සියන් ගඟ හෙවත් මහවැලි ගඟ

 

මහාවංසයේ මොනවා ලියා තිබුණත් මා යක්‍ෂයන් අමනුෂ්‍යයන් ලෙස පිළිගන්නේ නැහැ. කියන්නේ මා මහාවංසය ප්‍රතික්‍ෂෙප කරන බවක් නො වෙයි. මා අමනුෂ්‍ය කතාව නොපිළිගන්නේ මහාවංසය ආරක්‍ෂා කිරීම සඳහා.   කුවේණි එහෙමත් නැත්නම් කුවන්නා කියන්නේ අමනුෂ්‍ය කාන්තාවක් නො වෙයි. ඇය තරම් අපහාසයට ලක් වූ ගැහැණියක් මෙරට ඉතිහාසයේ නැතුවා වෙන්නත් පුළුවන්. ඇය යක්‍ෂ ජනකොට්ඨාසයට අයත් කාන්තාවක්. මාන්තොට (මන්නාරම තම්බපන්නිය) අවට ප්‍රදේශයේ ප්‍රධාන කාන්තාවක්. කුවේණි නැත්නම් කුවන්නා යන්නෙහි තේරුම දුර්වර්ණ තැනැත්තිය යන්නයි. එනම් කළු ගැහැණිය යන්නයි. දුඹුරු වෙන්නත් පුළුවන්. ඇය කළු සුදු දුඹුරූ කියා මා දන්නේ නැහැ. එහෙත් විජයත් සුදු කියා අප දන්නේ නැහැ. අංග වංග කාලිංග ප්‍රදේශවල එතරම් සුදු අය නැහැ. ඔවුන් ආර්යයන් වී ඇත්තේ සංස්කෘතියෙන් මිසක් වර්ණයෙන් නො වෙයි. සිංහලයන් ආර්යයන් වී ඇත්තේ සංස්කෘතික මිස ජෛවීය නො වෙයි. මගේ නම් ඇඟේ ඇති සුදක් නැහැ. ඇත්තේ ඇහේ සුද පමණයි.

 

මා මහාවංසය අදහන්නේ නැහැ. මා ඉතිහාසය හදාරා ඇත්තේ සාමාන්‍ය පෙළ පළමු වසරට පමණයි. මා ඉතිහාස ගවේෂණ කරන්නේ නැහැ. මට සෙල්ලිපි කියවන්න බැහැ. මා කිසිම ආකාරයක සමීක්‍ෂණ ගවේෂණ පර්යේෂණ කරන්නේ නැහැ. භෞතික විද්‍යාවේ මා පර්යේෂණ කර ඇත්තේ විශ්වවිද්‍යාලයේ පළමුවැනි වසරේ දී පමණයි. ඒත් විශ්වවිද්‍යාලයේ පරික්‍ෂණ කිරීම අනිවාර්ය වූ නිසා සහ පළමු වසර පරීක්‍ෂණයට ප්‍රායෝගික අංශයක් තිබූ නිසා.

 

මා තාරකා විද්‍යාව හා විශ්වවේදය පශ්චාත් උපාධියට හැදෑරුවත් දුරේක්‍ෂකයකින් අහස බලා නැහැ. මා දන්නේ කතන්දර ගොතන්න පමණයි. එහෙමත් නැත්නම් හිතළු ඉදිරිපත් කරන්න පමණයි. එහෙමත් නැත්නම් මොටාවේ අය කියන විධියට උපන්‍යාස (hypotheses) ඉදිරිපත් කරන්න පමණයි. ඉතිහාසයේ වේවා විශ්වවේදයේ වේවා මා දන්නේ, කරන්නේ හිතළු ඉදිරිපත් කරන්න පමණයි. හිතළු අනෙක් අයගේ නිරීක්‍ෂණ ගවේෂණ ආදිය  විස්තර කරන්න පුළුවන් නම්, කියන්නේ හිතළුව වැඩ කරන්නේ නම් මා සෑහීමකට පත් වෙනවා. වැඩ කරන්නේ නැත්නම් වෙනත් හිතළුවක් කතන්දරයක් ගොතනවා. හිතළු අනෙක් කරුණු සමග හැකිතාක් සංගත වෙන්න ඕන. අනෙක් කරුණු බලන හැටියෙන් ස්වායත්ත ස්වාධින වෙන්නෙ නැති බව මා දන්නවා. සංගත කියන එකට ඉංගිරිසියෙන් කියන්නෙ consistent කියලා. ඇතැමුන් ලියන කියන දෙයින් පැහැදිලි වන්නෙ සංගත කියන වචනයෙහි තේරුම ගැන ඔවුන්ට තේරුමක් නැති බවයි.

 

නිරීක්‍ෂණ ගවේෂණ සමික්‍ෂණ ආදිය මගින් හරි වෙනත් ක්‍රමයකින් හරි ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන්. ප්‍රශ්නය විස්තර කරන්න එහෙමත් නැත්නම් තේරුම් ගන්න කතන්දරයක්, හිතළුවක් ගොඩනගන්න ඕන. ඔය ජනමාධ්‍යවේදීන් නිතර කියන පරීක්‍ෂණ නිරීක්‍ෂණ නිගමන කතා විද්‍යාවේ නැහැ. නිගමන කියා වර්ගයක් ඇත්තේ නැහැ. තාරකා විද්‍යාවේ පර්යේෂණ කියා වර්ගයක් ඇත්තෙත් නැහැ. මොකෝ තාරකාවක් හදන්න යැයි. නිරීක්‍ෂණ පැහැදිලි කරන්න විස්තර කරන්න හිතළුවක් ගොතනවා, එය යම් වපසරියක වැඩ කරනවා නම් එය පිළිගන්නවා. එපමණයි. මූලික පියවර තමයි ප්‍රශ්නයක් තිබීම. එය නිරීක්‍ෂණ ගවේෂණ සමීක්‍ෂණ හරි වෙනත් ක්‍රමයකින් හරි ලැබෙන්න පුළුවන්. ප්‍රශ්නයට උත්තර දීම තමයි අර හිතඵවලින් කෙරෙන්නෙ. හැබැයි හිතළුව වැඩ කරන්න ඕන. නැත්නම් හිතළුව ප්‍රතික්‍ෂෙප වෙනවා. නිවුටන් ඇපල් වැටෙන්නෙ කොහොම කියන ප්‍රශ්නයට පිළිතුරක් හිතළුවක් ගෙතුවා. එය සීමිත වපසරියක වැඩ කරනවා. අයින්ස්ටයින් වෙනත් හිතළුවක් ඉදිරිපත් කළා, එය අරිට වඩා විශාල වපසරියක වැඩ කරනවා. එහෙත් අයින්ස්ටයින්ගෙ හිතළුවත් ඊනියා අඳුරු ද්‍රව්‍යය අඳුරු ශක්තිය ආදිය සම්බන්ධයෙන් වැඩ කරන්නෙ නැහැ. 

 

වැදි ජනතාව මෙරට ඊනියා ආදී වාසින් කියන සංකල්පය බටහිරයන් ඇමරිකාව කැනඩාව ඕස්ත්‍රේලියාව නවසීලන්තය වගේ රටවල් දිහා බලා හදාගත්ත සංකල්පයක්. ලංකාවෙ එය වැඩ කරන්නෙ නැහැ. වැදි ජනතාව මෑතක් වන තුරු අවුරුදු දෙහසකට වැඩි කාලයක් සිංහල ජාතියට අචශෝෂණය වීම ප්‍රතික්‍ෂෙප කළ ජන කොටසක්. හිතළුව ඉදිරිපත් කරන්න මා ඔවුන් සමග සාකච්ඡා පොජ්ජක් කෙළේ නැහැ. මට බව ගෙදර ඉඳන් කියන්න පුළුවන්. එහෙත් එය වැඩ කරනවා. එය කතන්දරයක් වෙනවා. අවශ්‍ය නම් එයට ප්‍රවාදයක් (theory) කියන්න.  අද වන විට මෙරට ඉංගිරිසින්ගේ සිරිත් විරිත් අනුකරණය කිරීම නිසා වැදි ජනතාව   සිංහල බවට පත්වේගෙන යනවා.

 

යක්‍ෂයන්ගෙන් යම් පිරිසක් සිංහලයන් එගෙමත් නැත්නම් සිංහල බෞද්ධ වීම සෑහෙම කාලයක් ප්‍රතික්‍ෂෙප කරල තියෙනවා. චිත්‍රදේව කාළවේල ආදීන් පණ්ඩුකාභය සමයේ දී සිංහල වීමට එකඟ වෙලා. එහෙත් බොහෝ කාලයක් සිංහල බෞද්ධ නොවී සිටි යක්‍ෂයන් හිටියා. දේවානම්පිය තිස්ස රජුත් මිහිඳු මහා රහතන් වහන්සේ හමුවීමේ දී තිස්ස තිස්ස කියා ඇමතුවේ යක්‍ෂයකු කියා හිතා තියෙනවා. ඉන් පැහැදිලි වන්නේ එකල ඇතැම් යක්‍ෂයන් තිස්ස රජුගේ රාජ්‍යත්වය නොපිළිගත් බව හා ඔවුන් රජු නමින් ඇමතූ බවයි.  පස්වැනි සියවසෙත් සිංහල බෞද්ධ නොවූ යක්‍ෂයන් ඉඳලා තියෙනවා. මහාවංසය යක්‍ෂයන් අමනුෂ්‍යයන් කියන්නේ ඔවුන් සිංහල බෞද්ධ නොවීම නිසා, අඩු තරමෙන් මහාවිහාරයට විරුද්ධ වීම නිසා.

 

එළාර රජු ඉන්දියාවෙන් මෙරටට පැමිණි පාතියන් ජන කොටසට අයත් අයකු බව කියන්න පුළුවන්. ඔහු දෙමළ කියන කතාව සංගත නැහැ. එකල සොළීන් කොහොමටවත් බලවත් නැහැ. දකුණු ඉන්දියාවේ සංගම් සාහිත්‍යය වුණත් ගොඩ නැගෙන්නෙ ඊට කාලෙකට පස්සෙ. එළාර රජු පර්සියාවෙන් කෙළින් පැමිණි බවට සාක්‍ෂියක් නැහැ. එහෙත් ඔහු ඉන්දියාවෙ පුණ්ඩ්‍ර දේශයෙන් පැමිණි බව ග්‍රීකයෝ හා මෞර්යයෝ පොතේ සඳහන් වෙනවා. පාතියන් කියන්නේ පර්සියාවේ ජන කොටසක්.

 

එළාර රජුට මෙරට වැසියන් පිරිසක් ආධාර කර තියෙනවා. කවුද? ගැමුණු රජු මාගම සිට විජ්තපුරයට යන අතර එළාර රජුගේ කඳවුරු තිස් දෙකක් පරාජය කළ බව මහාවංසය කියනවා. කඳවුරු බැඳි පිරිස කවුද? මගේ නම් හිතළුව ඔවුන් ප්‍රධාන වශයෙන් යක්‍ෂ කියා. යක්‍ෂයන් යම් පිරිසක් ගැමුණු කුමරුට සහාය දක්වල තියෙනවා. දස මහා යෝධයන් අතර යක්‍ෂයන් කිහිප දෙනකු ඉඳලා තියෙනවා. එහෙත් විශාල පිරිසක් විරුද්ධ වෙලා තියෙනවා.

 

මහාවංසය කියන ආකාරයට වුණත් බුදුහාමුදුරුවන් යක්‍ෂ දමනය සඳහා මහියංගනයට වැඩම කර තියෙනවා. මහියංගනය යක්‍ෂයන්ගෙ ප්‍රධාන ප්‍රදේශයක් වෙන්න ඕන. මා විශ්වාස කරන්නේ නැහැ මහාවංසයේ තිබුණු නිසා බුදුහාමුදුරුවන් යක්‍ෂයන් ගිරි දිවයිනට (එය කොහේ වුණත්) පළවා හැරියා කියා. පළවා හැරීමේ කතාව බුදුහාමුදුරුවන්ගේ ශාන්තිනායක මහා කාරුණික ආදී ගුණ සමග සංගත වන්නේ නැහැ.

 

එළාර සමයේත් යක්‍ෂයන් මහවැලි ගඟ දිගේ පදිංචි වී සිටින්න ඇති. යක්‍ෂයන් ඉන්දියාව හරහා මෙරටට පැමිණි පර්සියන් ජන කොටසක්. ඔවුන් මගේ හිතළුව අනුව ඩේරියස් රජු සමයටත් පෙර ඉන්දියාවට පැමිණි අය. අදත් ඉන්දියාවේ සුළු ප්‍රතිශතයක් වුණත් යක්‍ෂයන් ඉන්නවා. ඔවුන් නම් අමනුෂ්‍යයන් නොවෙයි. ඇතැම් යක්‍ෂයන් සමහර විට බහුතරය පර්සියන් සම්භවයක් තිබූ එළාර රජුට පක්‍ෂපාත වීම පුදුමයක් නො වෙයි.

 

මේ සම්බන්ධයෙන් වැදගත් සාක්‍ෂියක් මිනුම් දෙපාර්තමේන්තුවේ සේවය කළ ඩෙනිස් ප්‍රනාන්දු මහතාගේ පත්‍රිකාවකින් හෙළි වෙනවා. මහතා පත්‍රිකාව රාජකීය ආසියාතික සංගමයේ සඟරාවෙ පළ කර තියෙනවා. ලිපියට අනුව ටොලමි මහවැලි ගඟ නම් කර ඇත්තේ පර්සියන් ගඟ ලෙස.

 

මේ සමග මා නැවත වරක් ටොලමිගේ සිතියම පළ කරනවා. මෙය ටොලමි සකස් කළ සිතියම නොවෙයි. ටොලමිගේ සිතියම ඇසුරෙන් ඩෙනිස් ප්‍රනාන්දු මහතා සකස් කළ සිතියමක්. මහවැලි ගඟ දෙවැනි සියවසේ සිටි ටොලමිටත් පර්සියන් ගඟ වී ඇත්තේ ඇයි කියා පැහැදිලියි. එළාර රජුගෙන් අවුරුදු තුන්හාර සීයකට පස්සෙ.

 

අපේ ඉතිහාසය එක් අතකින් පිටින් පැමිණි ජන කොටස් එකතු වීම, අවශෝෂණය වීම පිළිබඳ ඉතිහාසයක්. අප ගැන අභිමානවත් විය යුතුයි. අපට කල් ගිහින් හරි පොදු සංස්කෘතියක් ගොඩ නගා ගැනීමට හැකි වී තියෙනවා. අප එක් භාෂාවක් කතා කරනවා. අද ඇමරිකාවේ විවිධ රටවලින් පැමිණි ජනයා ඉන්නවා. ඔවුන් තම තමන්ගෙ භාෂා කතා කරනවා. මට ඔවුන්ගේ පොදු බව කුමක් කියා ප්‍රශ්නයක් තියෙනවා. එය මුදල් විය හැකියි. රැකියාව හරහා එන එකක්. ඔවුන්ට යම් පොදු බවක් ඇති කර ගැනීමට තව පරම්පරා ගණනාවක් යාවි.  සිංහලයන්ට ඇති පොදු බව ඊට වඩා පොහොසත්.   

 

මේ කතා කියන නිසා මා ජාතිකවාදී කඳවුරෙන් පන්නා දැමීමටත් ඉඩ තියෙනවා. එය මට ප්‍රශ්නයක් නො වෙයි. කුමක් වුවත් මා යක්‍ෂයන් අමනුෂ්‍යයන් කියා පිළිගන්නේ නැහැ.