History

Sunday, 30 July 2023

මැනිං යෝජනා හා වෙල්ලාල ජාතිවාදය

 

මැනිං යෝජනා හා වෙල්ලාල ජාතිවාදය

 

ලංකා ජාතික සංගමයේ පළමු රැස්වීම පවත්වා ඇත්තේ 1919 දෙසැම්බර් 11 වැනි දා. එහි මූලිකත්වය ගෙන ඇත්තේ දෙමළ වෙල්ලාලයන්. ඔවුන්ට අවශ්‍ය වුණේ ඊනියා සමානත්වයක් යටතේ  ඊනියා ලාංකික ජාතිකත්වයක් ඇති කිරීමට. ඔවුන් තේරුම් නොගත් දෙය නම් මෙරට අවුරුදු දහස් ගණනක් තිස්සේ සිංහල ජාතියක් පැවති බවත් වරින් වර භාරතයෙන් (ඉන්දියාවෙන්)  පැමිණි ජන කොටස් ජාතියට අවශෝෂණය වූ බවත්. ඊනියා ජාතික රාජ්‍ය යුරෝපයේ ඇති වීමට පෙර ලෝකයේ තිබුණේ සිංහල ජාතියත් චීන ජාතියත් බව ඔවුන් නොදැන ඉන්න ඇති.

 

දෙමළ ජාතියක් ලෝකයේ එදත් නැහැ අදත් නැහැ. දෙමළ කතා කරන ජනකොටස් නම් ඉන්නවා හිටියා. දකුණු ඉන්දියාවේ තිබුණේ උතුරු ඉන්දියාවේ මෙන් වාංශික රාජ්‍ය. එය මෞර්ය වෙන්න පුළුවන් එහෙමත් නැත්නම් පල්ලව වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් පාණ්ඩ්‍ය චෝල චේර කලාබර වෙන්න පුළුවන්. කිසිම තැනක දෙමළ මලයාලම් තෙළිඟු හින්දි ජාතියක් තිබුණේ නැහැ. වංශ ප්‍රදේශ පාලනය කළා පමණයි. එහි ආර්ය ද්‍රවිඩ වශයෙන් වර්ග කිරීමක් තිබුණෙත් නැහැ. උදාහරණයක් වශයෙන් ආර්ය සංස්කෘතියක් ඇති පල්ලවයන් පසු කලෙක දකුණු ඉන්දියාවේ ප්‍රදේශ පාලනය කළා.

 

සිංහල ජාතිය සිංහල භාෂාව සිංහල සංස්කෘතිය එකට බැඳී තිබුණා. මෙරටත් රාජ වංශ නොතිබුණා නො වේ. මෞර්ය ලම්බකර්ණ හා පසු කලෙක නායක්කාර් වංශ මෙරට පාලනය කළා. එහෙත් වෙනස ඔවුන් පාලනය කෙළේ සිංහල දේශය වීම. එහෙමත් නැත්නම් ඔවුන් සිංහල ජාතියේ රජවරු. වාංශික රජවරු නො වෙයි. ඔවුන් සිංහල ජාතියේ අහවල් වංසයේ රජවරු. මහාවංසය මේ සියලු වංස එක වංසයක් ලෙස පවත්වා ගෙන යෑමට පදනම දැම්මා. මෙරට ඉන්න ඊනියා උගතුන්ට මේ කාරණය වැටහෙන්නේ නැහැ. ඔවුන් දන්නේ බටහිරයන් උගන්වා ඇති ආකාරයට ඊනියා ජාතික රාජ්‍ය ආකෘතිය තුළ සියල්ල දැකීමට.

 

රාමනාදන් අරුණාෂලම් හා අනෙක් වෙල්ලාලයන්ට ආකෘතිය රටේ තම නායකත්වය තහවුරු කර ගැනීමට උපකාරී වුණා. ටී සබාරත්නම් ලියා ඇති Sri Lankan Tamil Struggle  කෘතියෙහි මේ කරුණු කියැවෙනවා. ලංකා ජාතික සංගමය පිහිටුවා ගැනීමෙන් පසු යාපා පටුනේ ඇතැම් කොටස් සතුටු වී ඇත්තේ දෙමළ නායකයන් ලාංකික ජාතිකත්වයක් ඇති කර ගැනීමට නායකත්වය සපයන බව පවසමින්. වෙල්ලාලයන් නිකමටවත් හිතන්නෙ නැතුව ඇති මෙරට සංස්කෘතිය සමග බද්ධ වීමට. ඔවුන් කරණීය මෙත්ත සූත්‍රයෙන් ගාථා කියන්න ඇති. එහෙත් සිංහල ජාතිය ගැන ඔවුන්ට කිසිම වැටහීමක් තියෙන්න නැතුව ඇති. අඩු තරමෙන් නායක්කාර් වාංශිකයන්ට තිබුණු වැටහීම වෙල්ලාලයන්ට තිබුණ නම් මෙරට නූතන ඉතිහාසය වෙනස් වෙන්න තිබුණා. මෙරටට පැමිණි විවිධ ජන කොටස් සිංහල සංස්කෘතියට අවශෝෂණය වූණු නමුත් වෙල්ලාලයන් එසේ කෙළේ නැත්තේ ඔවුන් මෙරටට ලන්දේසීන් විසින් ආනයනය කරනු ලැබූ පිරිසක් වීමත් ඔවුන්ට අවශ්‍ය වුණේ අස්වැන්න නෙළා ගැනීමෙන් පසු තම මව් රට වූ දකුණු ඉන්දියාවට යෑම වීමත්. 

 

මා කියන්නේ සබාරත්නම් එසේ කියන බව නො වෙයි. ඔහු දක්වන කරුණු අනුව එය කියැවෙනවා. වෙල්ලාල නායකයන් සිංහල නායකයන්ට රටේ නායකත්වය දීමට කැමති වුණේ නැහැ. ප්‍රශ්නයේ මුල එයයි. සිංහල සංස්කෘතියේ විශේෂත්වය පිළිගැනීමට කැමති වුණේ නැහැ. මේ පසු බිමේ තමයි මැනිං ආණ්ඩුකාරයාගේ ව්‍යවස්ථාදායක සංශෝධන එංගලන්තයේ යටත්විජිත ලේකම්ගේ අනුමැතිය සහිතව 1920 අගෝස්තු 13 වැනි දා ප්‍රකාශයට පත් වුණේ.

 

කුල හෝ වෙනත් විවිධ හේතු හෝ නිසා හීනමාන ඇති කර ගත් ඇතැම් ඊනියා උගත් සිංහලයන් සිංහල සංස්කෘතියේ විශේෂත්වය පිලිගැනීමට කැමති නැහැ. සිංහලේ කියන්නේ බෙල්ජියම සිංගප්පූරුව  වැනි ඊනියා ජාතික රාජ්‍ය ආකෘතියේ රාජ්‍යයක් නොව රටක් රාජ්‍යයක් යන සංකල්ප සාමාන්‍ය ජනයා අතර මුල් බැසගත් රාජ්‍යයක් බව හැම සංකල්පයක් අපට බටහිරින් ලැබිය යුතු යැයි හිතන ජී සී මැන්දිස් පරපුරේ ලෙස්ලි ගුණවර්ධන වැනි උගතුන් හා ඔවුන්ගේ ගෝල බාලයන් තේරුම් ගන්නේ නැහැ.

 

මැනිංගේ යෝජනාවල හරය වුණේ ව්‍යවස්ථාදායක සභාවේ ආකෘතිය වෙනස් කිරීමයි. අනුව ව්‍යවස්ථාදායක සභාව නිල ලත් සාමාජිකයන් 14 දෙනකුගෙන් නිල නොලත් සාමාජිකයන් 23 දෙනකුගෙන් සමන්විත වුණා. පළමු වතාවට ව්‍යවස්ථාදායක සභාවේ නිල නොලත් සාමාජිකයන් සංඛ්‍යාව බහුතරය බවට පත් වුණා. එහෙත් මෙහි වෙනත් ප්‍රශ්න තිබුණා. නිල නොලත් සාමාජිකයන්ගෙන් 11 දෙනකු භූමිය මත පදනම් ඡන්දයෙන් තෝරා ගත යුතු තිබුණා. ඉතිරි අයගෙන් 11 දෙනකු ජන කොටස් මත පත් කෙරුණෙ. එක් අයකු වෙළෙඳ මණ්ඩලයෙන්. යුරෝපීයයන් 5 දෙනකු බර්ගර්වරුන් 2 දෙදෙනකු උඩරැටියන් 2 දෙදෙනකු  එක් ඉන්දියානුවකු හා එක් මුස්ලිම් අයකු වශයෙන් සාමාජිකයන් පත් කෙරුණා.

 

භූමිය මත පදනම් තොරාගත් 11 දෙනාගෙන් 4 දෙනකු බස්නාහිර පළාතෙන්. බස්නාහිර දකුණ A දකුණ B බටහිර කොළඹ හා කොළඹ නාගරික යනුවෙන් ආසන වෙන් කෙරුණා. ප්‍රශ්නය මතු වුණේ කොළඹ නාගරික අසුන වෙනුවෙන්. අරුණාශලම් එය තමාට හිමි විය යුතු බව කියා හිටියා. ලංකා ජාතික සංගමය එයට මුල දී එකඟ වී ඇති බව පේනවා. මෙය ජාතිවාදී ඉල්ලීමක්. වෙල්ලාලයන්ට කොළඹ අසුනක් තමන්ට වෙන් කර ගැනීමේ වුවමනාව තිබුණේ එමගින් ජාතික නායකත්වයට පත් වීමට. 1912 දී රාමනාදන් පත් කර ගැනීමෙන් සිංහල නායකයන් කළ වරද නැවතත් කිරීමට 1920 මුල දී කටයුතු කර තියෙනවා.

 

එහෙත් පසුව ලංකා ජාතික සංගමයේ සභාපති ධුරයට අරුණාශලම් වෙනුවට ජේම්ස් පීරිස් පත් වීමත් අමද්‍යප ව්‍යාපාරය ශක්තිමත් වීමත් එෆ් ආර් සේනානායක වැන්නන් කරළියට පැමිණීමත් සමග තත්වය වෙනස් වුණා. 1921 පැවති මැතිවරණයට අරුණාශලම් පත් කර ගැනීම සඳහා නාම යෝජනා දීමට ලංකා ජාතික සංගමය කැමති වුණේ නැහැ. වෙල්ලාලයන්ට රටේ නායකත්වය අහිමි වුණා.  සිංහලයන් අතර විවිධ කුලවල අය නායකත්වයේ සිටියත් දෙමළ හිටියේ වෙල්ලාලයන් පමණයි. අදත් උතුරු පළාතේ එහි වෙනසක් සිදු වී නැහැ.