History

Friday, 11 August 2023

ගුරුත්වාකර්ෂණය තියෙන්නෙ ඇපල් වැටෙන නිසා

 

ගුරුත්වාකර්ෂණය තියෙන්නෙ ඇපල් වැටෙන නිසා

 

 

බටහිර විද්‍යාඥයන් ගුරුත්වාකර්ෂණය නම් බලයක් තිබෙන බව පවතින බව විශ්වාස කරන විට මෙරට විද්‍යාඥයන් එසේ නොවේ යැයි නොකියන බවට විශාල සම්භාවිතාවක්, ඉඩක් තියෙනවා. මෙරට විද්‍යාඥයන් කියන නිසා බටහිර විද්‍යාඥයන් පිළිගන්නවා කියන්නත් බැහැ. මෙරට ඉන්නේ ඉහළ ගණයේ විද්‍යාඥයන්. මෙරට එක් රසායන විද්‍යා මහාචාර්යවරයකුට නම් ගුරුත්වාකර්ෂණ බලය  ගැන ඉන්ද්‍රිය ගෝචර දැනුමක් තියෙනවා. මා දන්නේ නැහැ බටහිර විද්‍යාඥයකුට එවැනි දැනුමක් තියෙනවා කියා. මට ඔවුන් කිසිවකුගෙන් ගැන අහන්න බැරි වුණා.

 

 

මා නම් විද්‍යාඥයකු වීමට එංගලන්තයට ගොස් බැරුව ආපසු පැමිණි අයෙක්. ජෙප්පන් හා සෙප්පන් මා ගැන හොඳින් දන්නවා. ඔවුන්ට අනුව මා මියන්මාහි ලංකා තානාපතිකමත් කර ගන්න බැරුව ආපසු පැමිණි අයෙක්. ඒත් මට නොකෙුත් අදහස් හිතට එනවා. මාක්ස්ගේ ඊනියා විද්‍යාත්මක සමාජවාදය ලෝකයේ කිසිම රටක ඇති වුණේ නැති බව මට හිතන්න පුළුවන්. ඇතැමුන් ලෙනින්වාදී විප්ලව ගැන කතා කරනවා. ලෙනින්වාදී විප්ලවයකින් ඊනියා සමාජවාදයක් බිහි වෙන්නේ නැහැ.

 

 

ලෙනින්ගෙ විප්ලවෙන් රුසියාවේ රාජ්‍ය ධනවාදයක් නම් ඇති වුණා. ධනවාදයේ මූලික කටයුත්ත ධනය (වත්කම ධනයෙන් මැනීම) නිෂ්පාදනයයි. ඇමරිකාවේ රජය එයට මැදිහත් වන්නේ නැහැ. ස්විඩනය වගේ රටවල රජය සුභ සාධන වැඩවලට මැදිහත් වෙනවා. රුසියාවේ (සෝවියට් දෙශයේ) කලක් රාජ්‍යය ධනය නිෂ්පාදනය කළා. අද නම් චීනයේත් රුසියාවේත් පෞද්ගලික සමාගම් ධනය නිෂ්පාදනය කරනවා. ධනවාදයේ චංචල නිශ්චල දේපළවල (වස්තුවල භාණ්ඩවල) අගය (වත්කම) මැනෙන්නේ ධනයෙන්. ධනය සංඛ්‍යාත්මක ප්‍රකාශ කරනවා.

 

 

බොහෝ කලකට පෙර 1980 මාර්තුවේ දී පමණ මා මාක්ස්වාදය විද්‍යාත්මක කියා දීර්ඝ ලිපියක් ලියා නව සමසමාජ පක්‍ෂයෙන් අස් වුණා. එකල මට විද්‍යාව ගැන විශ්වාසයක් තිබුණා. අනූවේ දශකයේ මුල බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව වැටහුණා. පට්ටපල් බොරු කියන්නේ වියුක්ත ප්‍රවාදවලට නැත්නම් කතන්දරවලට. මෙරට බොහෝ අයට වියුක්ත (abstract) කියන්නේ මොකක් කියා තේරෙන්නේ නැහැ. වියුක්ත යන්නට ඇතැමුන් අමුර්ත කියාත් කියනවා.

 

 

වියුක්ත කියන්නේ සිතෙන් මවා ගන්න පුළුවන් දේට නො වෙයි. සිතෙන් මවා ගන්න බැරි දේට. අපේ සංකල්ප දළ වශයෙන් කොටස් තුනකට බෙදන්න පුළුවන්. පංචෙන්ද්‍රිය අධාරයෙන් මනස තනන සංකල්ප. පුටුව මේසය බල්ලා විශ්වවිද්‍යාල ගොඩනැගිලි ආදිය සඳහා උදාහරණ. දෙවනුව සෘජු පංචෙන්ද්‍රිය ආධාරයක් නොමැතිව එහෙත් පංචෙන්ද්‍රිය ඇසුරෙන් මනස මවා ගන්නා සංකල්පවලට. අයිස්ලන්තය දැක නැති වුවත් අපට අයිස්ලන්තයක් මනසෙන් මවා ගන්න පුළුවන්. එය දැක ඇති අයත් ඉන්නවා. ඔවුන්ට අයිස්ලන්තය පළමු ගණයේ සංකල්පයක්.

 

 

අපට දිව්‍ය ලෝකය අපාය වගේ ස්ථානත් හිතෙන් මවා ගන්න පුළුවන්. පරසතු මල් සිළුමිණි සෑය හිතෙන් මවා ගන්න පුළුවන්. සිළුමිණි සෑය වඳිම් රම්‍ය තව්තිසා බවනේ ඇහෙන විට අපට එක් එක්කෙනාට යම් චිත්‍රයක් හිතේ මැවෙනවා. එහෙම නැත්නම් මවා ගන්න පුළුවන්.

 

 

තුන්වැනි සංකල්ප වර්ගය හිතෙන් මවා ගන්නවත් බැහැ. කියන්නේ අප දන්නා ඉන්ද්‍රිය ගෝචර සංකල්ප ඇසුරෙන් මවා ගන්න බැහැ. යුදෙවු දෙවියන් වහන්සේ සරල රේඛාව සඳහා උදාහරණ. දෙවියන් වහන්සේ සිතෙන් මවා ගන්න බැහැ. නිසා උන්වහන්සේගේ චිත්‍රයක් අඳින්න බැහැ. පිළිමයක් නෙළන්න බැහැ. එබ්‍රහිමික ආගමික සිද්ධස්ථානවල දෙවියන් වහන්සේගේ චිත්‍ර හරි පිළිම හරි නැහැ. සරල රේඛා අඳින්න බැහැ. පාසල් ළමුන් අඳින්නේ සරල රේඛා නොව පුංචි මෝල්ගස්වල ද්විමාන ප්‍රක්‍ෂේපණ. හරියට ත්‍රිමාන වස්තුවල ද්විමාන චිත්‍ර වගේ. දිගක් මිස පළලක් ඝනකමක් නැති සරල රේඛාවක් හිතෙන් මවා ගනන බැහැ.

 

 

ක්වොන්ටම් අංශුත් හිතෙන් මවා ගන්න බැහැ.  හිතෙන් මවා ගන්න පුළුවන් වස්තුවලට හයිසන්බර්ග් අනිශ්චය මූල ධර්මය (Uncertainty Principle) අවශ්‍ය නැහැ. ක්වොන්ටම් ජාගොඩහෙන් අහන්න. බටහිර විද්‍යාඥයන් දැන් නම් කියන්නේ ක්වොන්ටම් අංශු කියන්නේ ක්වොන්ටම් ක්‍ෂෙත්‍රවල උත්තේජන කියා. ඔය ක්‍ෂෙත්‍ර (fields) කතාවේ පියා මැක්ස්වෙල්. ඔහු තමයි විද්‍යුත් චුම්බක ක්‍ෂෙත්‍ර ගැන කතා කළ තැනැත්තා. ක්‍ෂෙත්‍රයක් කියන්නේ ගණිතමය සංකල්පයක්. සරල රේඛාව වගේ. දැන් අහන්න එපා ක්‍ෂෙත්‍රයේ දිග කීය කියලා.

 

 

විද්‍යාවේ කෙරෙන්නේ ඉන්ද්‍රිය ගෝචර නිරීක්‍ෂණ විස්තර කරන්න බොහෝ විට වියුක්ත කතන්දර හදන එක. කතන්දර වැඩ කරනවා නම් පිළිගන්නවා. වැඩ කරනවා කියන්නේ යම් වපසරියක වැඩ කරනචා කියන එක පමණයි. ඇපල් වැටෙන්නෙ කොහොම කියන එක විස්තර කරන්න නිවුටන් හදපු කතන්දරේ තමයි ගුරුත්වාකර්ෂණය. එය අපේ අහළ පහළ වැඩ කරනවා. ඒත් බුධ සහ අනෙක් ග්‍රහ වස්තු සඳහා වැඩ කරන්නේ නැහැ. ඒත් අපට උගන්වනවා ගුරුත්වාකර්ෂණය සර්වත්‍ර නියමයක් (Universal Law) කියා.

 

 

කාට කියන්න ? කියන එකක් අහගෙන ඉන්නවා මිසක්. ගුරුත්වාකර්ෂණය කියන්නෙ ඇපල් වැටෙන්නෙ කොහොම කියල විස්තර කරන්න නිවුටන් ගොතපු කතන්දරයක් පමණයි. නිවුටන්ගේ එක්තරා වපසරියක වැඩ කරන හිතළුවක් පමණයි.  ඇපල් වැටෙන්නෙ ගුරුත්වාකර්ෂණය නිසා නොව ගුරුත්වාකර්ෂණය තියෙන්නෙ ඇපල් වැටෙන නිසා.

 

 

ගුරුත්වාකරෂණය  අර මැක්ස්වෙල්ගෙ වගේ ක්‍ෂෙත්‍ර කතාවක් නො වෙයි.පස්සෙ කාලෙක දී අයින්ස්ටයින් ඇපල් වැටෙන්නෙ  කොහොම කියල විස්තර කරන්න ක්‍ෂෙත්‍ර කතන්දරයක් ගෙතුවා. අයින්ස්ටයින්ට වැඩේට අවුරුදු දහයක් ගියා. ඒක චතුර්මාන අවකාශ කාලයක වැඩක්. දැන් චතුර්මාන අවකාශ කාලය වියුක්ත වියුක්ත කතාවක්. ඒකෙ වක්‍රතාව සිළුමිණි සෑය වගේ නෙවෙයි, හිතෙන් මවා ගන්න බැහැ. කියන්න බැහැ ලංකාවෙ එහෙම පුළුවන් අය මොටාවෙ ඉන්න බැරි නැහැ.

 

 

බටහිර විද්‍යාඥයන් නම් කියන්නෙ අයින්ස්ටයින් ගුරුත්වාකර්ෂණය විස්තර කරන්න ඔය චතුර්මාන කතාව හැදුව කියලා. ඔවුන්ට මතක නැහැ නිවුටන් ගුරුත්වාකර්ෂණය හැදුවෙ ඇපල් වැටෙන එක විස්තර කරන්න කියා. ගුරුත්වාකර්ෂණය දැන් ජීර්ණ වෙලා නොවෙයි අජීර්ණ වෙලා. දවස්වල කැලණිය මොටාවෙ කවුද මට කිවුව උඩ තට්ටුවකට ගිහින් පනින්න කියා. එවිට ගුරුත්වාකර්ෂණය තියෙන බව තේරෙවි කියා. තේරෙන්නෙ මොන ඉන්ද්‍රියට කියල කිවුව නම් පැනල බලන්න තිබුණා.

 

 

එහෙම පැන්න තේරෙන්නෙ වැටෙන බව මිසක් ගුරුත්වාකර්ෂණයක් නො වෙයි. වැටෙන බවත් අපේ දැනුමක්. චලනය පහත වගේ ඉන්ද්‍රිය ගෝචර සංකල්ප නිසා තමයි අපි වැටෙනවා කියන දැනුම හදා ගෙන තියෙන්නෙ. එතකොට පහත චලනය ඒවත් අපේ සංකල්ප තමයි. අපේ දැනුම් තමයි. මනසෙන් හදා ගත් දැනුම් තමයි. මනසේ අභිසංස්කරණ. මනසෙන් හදා ගත්තෙ නැති සංකල්පයක් කතන්දරයක් කියන්න. මෙය ඊනියා විඤ්ඤාණවාදී කතාවක් නො වෙයි. මනස කියා එකකුත් පවතින්නෙ නැහැ. මනස පවතින විට අභිසංස්කරණ. මෙය පටිච්චසමුප්පන්න කතාවක්. අවිජ්ජා පච්චයා සංඛාරා.