History

Sunday, 27 August 2023

බෞද්ධ පුනර්ජීවනය හා හින්දු පුනර්ජීවනය

 

බෞද්ධ පුනර්ජීවනය හා හින්දු පුනර්ජීවනය

 

පාණදුරා වාදය සමග යාපනය පටලවා ගන්නේ මගේ ජාතිවාදය නිසා කියා කියන පඬි නැට්ටන් ඉන්නවා. එහෙත් මට ප්‍රශ්නයක් තියෙනවා. එවැනි වාදයක් හින්දුන් හා ක්‍රිස්තියානින් අතර ඇති නො වුයේ ඇයි? ප්‍රශ්නයට පිළිතුරක් සෙවීමටයි මේ ලිපි පෙළෙන් උත්සාහ කෙරෙන්නේ. හින්දු පුනර්ජීවනය බෞද්ධ පුනර්ජීවනයෙන් වෙනස් වූයේ ඇයි. ප්‍රශ්න අසන්නෙ නැති අයට පිළිතුරු අවශ්‍ය වෙන්නෙ නැහැ. වෙන කවුරු හරි ප්‍රශ්න අසා පිළිතුරු සපයන්න සූදානම් වෙන විට පඬි නැට්ටන්ට කේන්ති යනවා.

 

ගාල්ලට පැමිණි මෙතෝදිස්ත  දුත මෙහෙවරෙහි යෙදුනවුන් (මිෂනාරිවරුන්) 1814 දී රිච්මන්ඩ් විදුහලත් පසුව මඩකලපුවේ හා යාපනයේත් කොළඹත් පාසල් කිහිපයක් ඇති කළත් ඔවුන්ගේ වෑයම වූයේ තම ආගම පැතිරවීමයි. ඔවුන්ට සිංහල භාෂාවේ වර්ධනයට යමක් කිරීමට අවශ්‍ය වුණේ නැහැ. එහෙත් 1816 දී යාපනයට පැමිණි ඇමරිකන් ක්‍රිස්තියානි ආගමික දුතයන් පාසල් රාශියක් ඇති කළා පමණක් නොව දෙමළ භාෂාවෙන් ඉගැන්වීමට කටයුතු කළා.

 

එමෙන් ඔවුන් විසින් යාපනයේ ඇරඹුණු මෝනින් ස්ටාර් පුවත්පත ඉගිරිසියෙන් මෙන් දෙමළෙන් පළ කළා. බටගොඩ (වඩුකොඩෙයි) සෙමනේරියට ඉගැන්වීමට පැමිණ පසුව එහි ප්‍රධානාචාර්ය පදවියටබ පත් වූ හොයිසිංග්ටන් ශෛයිව හින්දු ආගම හා හින්දු තාරකා විද්‍යාව ඉගෙන ඉංගිරිසියට පරිවර්තනය කළා. මෙරට නොව ඉන්දියාවේ පළ කළ පොත්. එය මෙරටට පැමිණි ඇතැමුන් සිංහල හා පාළි පොත් ඉංගිරිසියට ජර්මන් බසට පරිවර්තනය කළාට වඩා වෙනස් දෙයක්.

 

ක්‍රිස්තියානි සෙමනේරියට හා ක්‍රිස්තියානි පාසල්වල ඉගැන්වීමට පැමිණි දූත මෙහෙවරෙහි යෙදුණු අයට අවශ්‍ය වුණේ හින්දු ආගම හා ක්‍රිස්තියානි ආගම් අතර ඇති ඇති සමානකමි හැදෑරීමට. ආගම් දෙක දේව නිර්මාණය විශ්වස කළා. තමයි ප්‍රධාන කාරණය. දුත මෙහෙවරෙහි යෙදුණු අයට බුදුදහම හා ක්‍රිස්තියානිය අතර සමානකම් දැක ගන්න බැහැ. අග්ගඤ්ඤ සූත්‍රය හා දේව නිර්මාණය අතර ඇති සමානකමක් නැහැ.

 

මෙහි දී මෙරට ඉන්න සුපිරි ජාතිකවාදීන් ගැනත් යමක් කියන්න ඕන. ඇතැමුන් හිතනවා ලංකාවේ ඇතැම් පෙදෙසක ගුරුත්වාකරෂණ ත්වරණය සුළු ප්‍රමාණයකින් අඩු නිසා වෙනත් ලෝකවලින් මෙරටට පළමුවෙන් ඇවිත් ජනාවාස කරන්න ඇතැයි කියා, ත්වරණ වෙනස මහා ලොකු වෙනසක් නො වෙයි. අභ්‍යාවකාෂයට යානයක් යැවීමට හැකි පිරිසකට වෙනස නොගිණිය හැකි තරම්. අනෙක් අතට අග්ගඤ්ඤ සූත්‍රයෙහි සඳහන් වන්නේ ආභස්සර බ්‍රහ්ම ලෝකයෙන් පැමිණි පිරිස් ගැන. ඔවුන්ට තවරණය සතපහක වටිනාකමක් ඇති එකක් නො වෙයි.

 

මෙහි දී මා ගුරුත්වාකර්ෂණ ත්වරණය කියන්නේ ගුරුත්වාකර්ෂණ බලයක් ඇත යන අර්ථයකින් නොවන බව අවධාරණය කරන්න ඕන. ත්වරණයක් (දළ වශයෙන් නම් වේගය වෙනස් වීමක්) නිරීක්‍ෂණය කරන්න පුළුවන්.  ගුරුත්වාකර්ෂණ බලයක් වේය යන්න යම් වපසරියක වැඩ කරන නිවුටන්ගෙ හිතළුවක් පමණයි. අයින්ස්ටයින්ට ගැන වෙන හිතළුවක් තිබුණා. ගුරුත්වාකර්ෂණ බලය කියා බලයක් වෙනුවට අයින්ස්ටයින් අවකාශ කාලයෙහි වක්‍රතාවක් ගැන කියනවා.

 

බටගොඩ සෙමනේරිය 1828 තරම් ඈත කාලයක දෙමළ ගුරුවරුන් පුහුණු කිරීම ආරම්භ කළා. 1830 වන විට සංගම් සාහිත්‍යයේ තිරුක්කුරල් වැනි කාව්‍යය ඉගැන්නුවා. රාමායනය පසුව එකතු කළා. මේ ක්‍රිස්තියානි දේශකයන් පුහුණු කළ ආයතනයක් බව අමතක කරන්න එපා. මෙරට පමණක් නොව දකුණු ඉන්දියාවේ හින්දු පුනර්ජීවනය ක්‍රිස්තියානි කතෝලික පූජකවරුන් විසින් ආරම්භ කෙරුණක්. එහි ප්‍රධාන කාර්යභාරය ඉටු කෙරී ඇත්තේ බටගොඩ සෙමනේරියෙන්. එහෙත් බෞද්ධ පුනරජීවනය  ක්‍රිස්තියානි පූජකවරුන්ගේ අපහාසවලට විරුද්ධ හටගත් එකක්.

 

මෙරට හින්දු පුනර්ජීවනයේ ස්වදේශික ප්‍රධානියා අරුමුගම් නවලාර්තුමා. ඔහු ජීවත් වූයේ 1822 හා 1879 වසර අතර. පංච මහා වාද ඇති වුණේ ඔහුගේ ජීවිත කාලයෙහි අවසන් වසරවල. වන විට හින්දු පුනර්ජීවනය ඇති වී ටිකක් කල්. නවලාර්තුමාට අවශ්‍ය වුණේ හින්දු ආගම පුනර්ජීවනය කරන්න. එහි දී ඔහුගෙන් දෙමළ භාෂාවේ පුනර්ජීවනයටත් මෙහෙයක් සිදු වුණා.

 

නවලාර්තුමා වෙල්ලාලයෙක්. ඔහුගේ සේවය වෙල්ලාල කුලයට. ඔහුගේ පුනර්ජීවනය වෙල්ලාල හින්දු පුනර්ජුවනයක්. ක්‍රිස්තියානි දූත මෙහෙවරහෙි යෙදුණු අය පාසල් ඇති කෙළේ වෙල්ලාලයන්ට පමණයි. එය බෞද්ධ පුනර්ජීවනය සමග සසඳන්න. බෞද්ධ පෙදෙස්වල ක්‍රිස්තියානි දුත මෙහෙවර විසින් පිහිටුවන ලද පාසල් සියලු කුලවලට විවෘත වුණා. බෞද්ධ පුනර්ජීවනය සිංහල බෞද්ධ පුනර්ජීවනයක් මිස අහවල් කුලයේ බෞද්ධ පුනර්ජීවනයක් නො වෙයි. පංච මහා වාදවල ප්‍රධාන දේශකයාණන් වහන්සේ වූයේ අමරපුර නිකායට අයත් සලාගම කුලයෙන් පැවදි බිමට ඇතුළත් වූ පූජ්‍ය මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමපාණන් වහන්සේ. උන්වහන්සේට වෙනත් කුලවලින් පැවිදි බිමට ඇතුළත් වු විවිධ නිකායවල විවිධ පාර්ශ්වල භික්‍ෂූන් වහන්සේගෙන් උපදෙස් හා ආධාර ලැබුණා. පාණදුරා වාදයේ සංවිධානාත්මක කටයුතු කරාව කුලයේ ප්‍රධානත්වයෙන් කෙරුණා. පංච මහා වාද එක් නිකායකට එක් කුලයකට සීමා වුණේ නැහැ. (මතු සම්බන්ධයි)