History

Thursday, 14 September 2023

රුවන්වැලිසෑය සිංහල බෞද්ධ ද?

 

රුවන්වැලිසෑය සිංහල බෞද්ධ ?

 

මහාචාර්ය ජගත් වීරසිංහවත් රාජ්‍ය ඇමති ආචාර්ය සුරේන් රාඝවන්වත් කිසිවකුට කඩේ යනවා කියා මා කියනනේ නැහැ. කඩේ යනවා යන්න වමාලා පඬි නැට්ටන් ජෙප්පන් ආදීන්ගේ ව්‍යවහාරයක්. ඔවුන් කිසිවකුට කඩේ යන්නේ නැතුව වෙන්න ඇති. එහෙත් රුසියාව චීනය කියුබාව වගේ රටවල් ජෙනීවාහි දී රාජපක්‍ෂලාට කඩේ යනවා. මේ දිනවලත් කඩේ යනවා. ඔවුන් මෙරට වමාලා ජෙප්පන් පඬි නැට්ටන් ආදීන් තරම් වමේ නොවන නිසා වෙන්න පුළුවන්. කවුරු කාට කොහේ කඩේ ගියත් වීරසිංහ හා රාඝවන් කිසිවකුටවත් කඩේ යන්නේ නැහැ.

 

ඔවුන් බටහිර පුරාවිද්‍යාවේ බුදුදහම ආශ්‍රිත දේශපාලනයේ හසල බුද්ධිමතුන්. ජගත් වීරසිංහට ප්‍රශ්නය වෙලා තියෙන්නෙ කුරුන්දිය සිංහල බෞද්ධ ආශ්‍රමයක් කියා හැඳින්වීම. ඔහුට  වාස්තවික නාමයක් අවශ්‍ය වෙනවා. කුරුන්දියට කියන්න පුළුවන් වාස්තවික නාමය ලාංකික ආරාමයක් කියා ? මට මෙහි දී මෙයට සම්බන්ධ කරුණු තුනක් මතක් වෙනවා. මතක තබා ගන්න අපේ ආචාර්යවරුන්ට මෙන් මට ශාස්ත්‍රාලීය ලිපි ලියන්න බැහැ. අර කවුද කිවුව වගේ මට නාභිගත (focus)  වෙන්න බැහැ. එයට එක් හේතුවක් වන්නේ මා අල්තාරයේ සිට දේශනා නොකිරීම. අපේ හාමුදුරුවරුන් මෙන් මා එකිනෙකට සම්බන්ධ විවිධ කරුණු කියනවා.

 

මට මතක් වෙන පළමු කරුණ තමයි ආචාර්ය ආනන්ද කුමාරස්වාමි ලියූ මධ්‍යකාලීන සිංහල කලා කෘති යන ග්‍රන්ථය. කුමාරස්වාමි අර පොන්නම්බලම් කුමාරස්වාමි පවුලේ අයෙක්. ඔහු ලිවුවේ සිංහල කලා කෘති ගැන. ඔහු දෙමළ කලා කෘති ගැනවත් ලාංකීය කලා කෘති ගැනවත් ලිවුවේ නැහැ. මෙරට ඇත්තේ සිංහල කලා කෘති පමණයි. එයින් මා අදහස් කරන්නේ ස්වතන්ත්‍ර නිර්මාණ ඇත්තේ සිංහලයන්ට පමණයි කියන එක. සොළීන් පන්සල් යටකර කෝවිල් හදන්න ඇති. එහෙත් නව නිර්මාණවත් මෙරට දෙමළ කතා කරන ජනයා කළ නිර්මාණවත් නො වෙයි. මෑත යුගයේ පවා මෙරට දෙමළ කතාකරන ජනයා නව නිර්මාණ කර නැහැ. මෙහි ඇත්තේ දකුණු ඉන්දියානු අනුකරණ පමණයි. ආනන්ද කුමාරස්වාමි එලෙස සිංහල කලා කෘති ගැන ලිවුවත් මෑතක දී පඬි නැට්ටකු කියා තිබුණා  කුමාරස්වාමි ලාංකීය කලා කෘති ලොවට හඳුන්වා දුන්නා කියා. සමහර විට ජගත් වීරසිංහ සමග එකඟ වේවි. 

 

දෙවැන්න අපේ චිත්‍රකලා බිතු සිතුවම් අජන්තා වෙල්ලෝරා ආදියෙහි අනුකරණ කියා කීමට ඇතැම් කලා විචාරකයන් ඉදිරිපත්වීම. එහෙත් එය වැරදි බව කුසුම්සිරි කොඩිතුවක්කු මහතා පෙන්වා දී තියෙනවා. මා දන්නා චිත්‍ර කලාවක් නැහැ. මට චිත්‍රකර්මයට ලකුණු විස්සකට වඩා කිසි දා ලැබී නැහැ. සිංහල නිර්මාණ එලෙස හඳුන්වන්නේ නැතුව මිනිස් නිර්මාණ කියා හඳුන්වන්න ?

 

තුන්වැන්න බටහිර සංකල්ප යෙදීම ගැන. මෙරට වැදි ජනයා ඊනියා ආදිවාසීන් කියා හඳුන්වනවා.   ඉංගිරිසින් උතුරු ඇමරිකාවට ඕස්ත්‍රේලියාවට නවසීලන්තයට හොස් එහි බලය අතට ගෙන එකල වාසය කළ ජනයා ඇබොරිජින් ආදී වශයෙන් හැඳීන්වීම අනුකරණය කරමින්. අද ඔවුන් නේටිව්ස් ලෙස හැඳන්වෙනවා. සිංහලයන් කියන්නේ භාරතයේ විවිධ පැතිවලින් පැමිණි ජනයා මෙරට එකල සිටි වැසියන් සමග මිශ්‍ර වීමෙන් සැදුණු ජාතියක්. වැදි ජනයා පමණයි මුසුවීම ප්‍රතික්‍ෂෙප කර තියෙන්නේ. ඔවුන් පමණක් නිසා ආදිවාසි වන්නේ නැහැ.

 

කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශය තම පාඨමාලා සනාතන සභාවට ඉදිරිපත් කිරීමේ දී ආදිවාසි යන සංකල්පය යොදා ගෙන තිබුණා. මා එහි වරද පෙන්වා දුන් විට පුරාවිද්‍යා අධ්‍යනාංශය නිහතමානී එය පිළිගත්තා. ගැන මා අධ්‍යනාංශයට කෘතඥ වෙනවා.  අප බටහිර සංකල්ප යොදා ගැනීමේ දි කල්පනාකාරී විය යුතුයි. බටහිරයන් කියන නිසා ඊනියා වාස්තවික වීමට ගොස් අපේ අනන්‍යතාව නැති කර ගත යුතු නැහැ. කුරුන්දිය අදත් එදත් සිංහල බෞද්ධ සිද්ධස්ථානයක්.

 

කුරුන්දි විහාරය භික්‍ෂුන් වහන්සේ නමකට භාර දීමෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අදාළ ආඥාපනත් කඩ කර තියෙනවා කියනවා. ඔය ආඥාපනත් කවදා පැනවූ ඒවා කියන්න මා දන්නේ නැහැ. එහෙත් විහාරස්ථානයක් භික්‍ෂූන් වහන්සේ නමකට භාරදීමට ආඥාපනත් අවහිරයක් නම් කළ  යුත්තේ ආඥාපනත් සංශෝධනය කිරීමයි. මතක තබා ගත යුතු කරුණ නම් මෙරට පෘතුගිසි ලන්දේසි ඉංගිරිසි පුරාවිද්‍යා නටබුන් තිබිය හැකි මුත් බෞද්ධ පුරාවිද්‍යා ස්ථාන නොමැති බවයි.

 

ජගත් වීරසිංහ කියනවා කුරුන්දිය රුවන්වැලිසෑය මෙන් අද ජනතාව වන්දනාමාන කරන තැනක් නො වේය කියා.  කලකට පෙර පුරාවිිද්‍යාඥයකු කියන්න තිබුණා රුවන්වැලිසෑයත් වන්දනාමාන කරන තැනක් නො වේ කියා. අටමස්ථාන සොළොස්මස්ථාන ආදිය ජනතාව වන්දනාමාන කළ තැන්. එහෙත් යටත්විජිත සමයේ ජනතාව   සිද්ධස්ථානවලින් ඈත්වුණා. සමහරවිට කෝට්ටේ කාලයේ දී සිද්ධ වෙන්න ඇති. එහෙත් එයින් කියන්නේ නැහැ සිද්ධස්ථාන පුරාවිද්‍යා නටබුන් කියා. සිංහල බෞද්ධ සංස්කෘතිය අඛණ්ඩව රටේ පවතිනා තෙක් යම් සිද්ධස්ථානයකින් යම් හේතුවක් නිසා මිනිසුන් ඈත් වුණත් රටේ සිංහල බෞද්ධ සංස්කෘතිය නැති වී නොමැති බැවින් සිද්ධස්ථාන සිංහල බෞද්ධ සංස්කෘතියේ. ඊනියා පුරාවිද්‍යා වස්තු නො වෙයි.

 

ඉංගිරිසි පුරාවිද්‍යා සංකල්ප අනුව හිතන්න ගියා නම් රුවන්වැලිසෑය ප්‍රතිසංස්කරණය නොකළ යුතු තිබුණා පමණක් නොව එහි භික්‍ෂූන් වහන්සේ සඳහා ආවාස ගෙවල් තැනීමත් නොසිදුවිය යුතුව තිබුණා. ඡායාරූපයෙන් දිස්වෙන්නේ 1891 දී රුවන්වැලිසෑය පැවතුණු අකාරය. රනිල් වික්‍රමසිංහ එකල ජනාධිපති සිටියා නම් පුරාවිද්‍යා කතා කියා ප්‍රතිසංස්කරණය කිරීමට ඉඩ නොදෙන්න තිබුණා ? අද අභයගිරිය හුණු පිරියම් නොකරන්නේ ඇයි? බටහිර පුරාවිද්‍යා ප්‍රතිසංස්කරණය හා උරුමය රැකීම කියන්නේ දෙකක් බව පැහැදිලියි. බටහිර පුරාවිද්‍යා කතන්දර නිසා උරුමය නොරැකෙනවා නොව උරුමය පාවාදීමක් සිදුවෙනවා. අද කුරුන්දියට කියන්න හදන ආකාරයට එදා රුවන්වැලිසෑය සිංහල බෞද්ධ නොවේ කියන්න තිබුණා.      (මතු සම්බන්ධයි)