History

Monday, 4 September 2023

සංඛ්‍යා වහල්ලු

 

සංඛ්‍යා වහල්ලු

 

අඩසිය වසකටත් එහා පැත්තෙ මා කියවපු එංගල්ස්ගෙ ස්වභාවයේ අපෝහකය හරි ද්වන්දාත්මකය හරි ද්විඝඨනාත්මකය හරි (Dialectics of Nature) කියන පොතේ තිබුණ කියා මතකයි ප්‍රමාණාත්මක වෙනස්කම් ගුණාත්මක වෙනස්කම්වලට හැරීමක් ගැන. ඒත් මට මතක නැහැ ඒකෙ අනෙක් පැත්ත සඳහන් කර තිබූ බවක්. කියන්නෙ ගුණාත්මක වෙනස්කම් ප්‍රමාණාත්මක වෙනස්කම්වලට හැරීමක් ගැන. මෙය ඉංගිරිසියෙන් කියන ක්වොන්ටිටි හා ක්වොලිටි අතර කතාවක්. මෙහි ඇති ඊනියා අපෝහකයක්වත් ද්විඝඨනයක්වත් නැහැට. මෙය රූපික ද්විකෝටිකය පමණයි.

 

මාර්ටින් වික්‍රමසිංහ මේ ගැන කියා ඇති දෙයක් මට මතක නැහැ. කොහොමටත් ඔහු අලුතෙන් යමක් කිවුවෙ නැහැ. ඉංගිරිසි පොත්වල තියෙන දේ තමන් තේරුම්ගත් ආකාරයට සිංහලෙන් කීම තමයි ඔහු කෙළේ. ද්විඝඨනය පිළිබඳ විශාරදයන් වූ අරියදේව හිමියන් හා තිරාණගම මොනව කියල තියෙනවා කියාත් මා දන්නේ නැහැ. අරියදේව හාමුදුරුවන් කියන්නෙ අභයගිරියෙන් නාගර්ජුන හාමුදුරුවන් සමීපයට වැඩම කළ හාමුදුරුවන් නො වෙයි. උන්වහන්සේ ඔය අපෝහක දැන හිටියෙ නැහැ. අප එකල දැන හිටියෙ චතුස්කෝටික න්‍යාය. සමහරුන්ට මාක්ස්ගෙන් එංගල්ස්ගෙන් ගැලවෙන්න බැහැ. ඔවුන් ජාතිකත්වය හා මාක්ස්වාදය අතර පාලම් හදනවා. ඇණ ගේන්නෙ කොහෙන් දන්නෙ නැහැ. හදන්නෙ වැල් පාලමක් වෙන්න බැරිත් නැහැ. ඔවුන්ට අනුව මා පට්ටපල් මෝඩයෙක් වෙන්න ඇති. 

 

ඒක එහෙම යැයි කියමු. මට අද ඕන එංගල්ස්ගෙ බහුබූත කියවන්න නො වෙයි. අප බටහිරයන් පසුපස ගොස් අපේ ගුණාත්මක විනිශ්චය නැති කර ගැනීම ගැන සඳහන් කරන්න. අප දැන් ජීවත් වෙන්නෙ ප්‍රමාණාත්මක විනිශ්චිත (නිර්ණිත) ලෝකයක. එහෙමත් නැත්නම් තීරණ ඊනියා ප්‍රමාණ මත පදනම් වෙන ලෝකයක. සාමාන්‍යයෙන් ප්‍රමාණාත්මක හිතන්නෙ පිරිමි. ගැහැණුන් හිතන්නෙ ගුණාත්මක . ඒකෙන් කියන්නෙ හැම පිරිමියෙක් ප්‍රමාණාත්මක හිතන බවවත් හැම ගැහැණියක් ගුණාත්මක හිතන බවවත් නො වෙයි. ලංකාවෙ නම් පිරිමින් අතිවිශාල බහුතරය ප්‍රමාණාත්මක කතා කියමින් හිතන්නෙ ගුණාත්මක . උදාහරණ අවශ්‍ය නම් මෙටාවට හා මොටාවට යන්න.

 

ප්‍රමාණාත්මක හිතනවා කියන එකෙන් කියැවෙන්නෙ කිසි විටෙකවත් ගුණාත්මක හිතන්නෙ නැහැ කියන එක නො වෙයි. කිසිම අයකු ප්‍රමාණාත්මක පමණක් හිතන්නෙ නැහැ. සංගීතයට සවන් දෙන විට ශබ්ද තරංගවල සංඛ්‍යාතය ගැන කල්පනා කරන අය ඉන්නවා කියා මා හිතන්නෙ නැහැ. එහෙත් අද බටහිරයන් ප්‍රමාණාත්මක හිතන්න පුරුදු වේගන යෑම භයානක ප්‍රතිඵල ගෙන දේවි. අප ඉතින් බැරි මර ගාතෙ හරි බටහිරයන් කරන දේ කරන්න හදනවා.

 

මිනිසුන්ගේ නිර්මාණාත්මක හැකියාවන් අගයන්නේ කොහොම ? එහෙමත් නැත්නම් දක්‍ෂතා අගයන්නේ කොහොම ? හෙට අනිද්දා උසස් පෙළ පරීක්‍ෂණයේ ප්‍රතිඵල පිටවෙන බව අධ්‍යාපන ඇමතිතුමා කියනවා. ඇමතිතුමාලටත් තියෙන වැඩ. ඒ් පරික්‍ෂණයෙන් දිවයිනෙන් පළමුවැන්නා පළමු දහදෙනා දිස්ත්‍රික්කයේ පළමු විසිපස්දෙනා කවුද කියා දැන ගැනීමට උනන්දුවක් පවතිනවා. බොහෝ ජනමාධ්‍යවේදීන් එවැන්නන් අතර නොවුවත් ගැන උනන්දුවක් දක්වන්නේ හුදෙක් ජනතාව නමින් හැඳින්වෙන පිිරිසක් සඳහා කියන්න බැහැ. දේශපාලනඥයන් මෙන් ජනමාධ්‍යවේදීන් ඊනියා ජනතාව වෙනුවෙන් සේවය කරන්නන්. ඒත් ඊනියා ජනතාව ජනමාධ්‍යවේදීන් නම් තෝරා ගෙන නැහැ.

 

කොහොම වුණත් උසස් පෙළ උසස් ලෙස සමත්වන අය හා අනෙක් බොහෝ අය අතර එතරම් වෙනසක් නැති බව මෙටාවෙන් හා මොටාවෙන් පැහැදිලි වෙනවා. පරීක්‍ෂණයක ප්‍රතිඵල ලකුණු (සංඛ්‍යාවක්) අනුව දෙන්නක්. ගණිතයේ දී වුවත් පිළිතුරක් සඳහා ලකුණු ලබා දීම පරීක්‍ෂකයා මත රැඳෙනවා. එය අවමයක් කීරීමටයි පරීක්‍ෂක මණ්ඩල ආදිය තියෙන්නෙ. වාක්‍ය රචනාවකට දෙන ලකුණු ප්‍රමාණය තීරණය කරන්නේ කෙසේ ? එහෙත් ලංකාවේ ඇති තරගය නිසා ඊනියා ලකුණු (සංඛ්‍යා) මත පමණක් පදනම් වෙන්න වෙලා.

 

බටහිරයන් බුද්ධි ඵලකය (Intelligence Quotient) කියා සංඛ්‍යාවක් යොදා ගන්නවා බුද්ධිය මැනීමට. එහෙත් එයින් මැනෙන්නේ රටා හඳුනාගැනීම ගැටළු විසඳීම ආදී හැකියාවන් කිහිපයක් පමණක් කියනවා. එයවත් මනිනවාද යන්න ප්‍රශ්නයක්. ඔය ලකුණු දීම් ප්‍රශ්න ආදියත් සංස්කෘතියට සාපේක්‍ෂයි. එහෙත් අප කෙසේ හෝ සංඛ්‍යාවකින් බොහෝ දේ ප්‍රකාශ කරන්න උත්සාහ ගන්නවා. එසේ කරන්නේ සංඛ්‍යාවල ඊනියා නිරපේක්‍ෂ අගයක් ඇත යන උපකල්පනයෙන්. මගේ බුද්ධි ඵලකය කීය කියා මා දන්නේ නැහැ. එය මොන මිම්මෙන්වත් එතරම් ඉහළ  අගයක් කියා මා හිතන්නේ නැහැ.

 

රටවල් අතර ඉහළ සාමාන්‍ය බුද්ධි ඵලකයක් ඇත්තේ චීන සම්භවයක් ඇති හොංකොං සිංගප්පූරුව තායිවානය වැනි ප්‍රදේශවල කියනවා. පකිස්ථානය ඉන්දියාව ලංකාව  බංග්ලාදේශය ඇත්තේ පිළිවෙළින්  74 82 86 88 තැන්වල. වෙනස් වෙනවා, සැම දා එක අගයක් ගන්නේ නැහැ. කෙසේ වෙතත් අප වැහි සමයේ ක්‍රිකට් ක්‍රිඩා කරමින් ආසියා කුසලානට තරග කරන්නේ නිසා කියා අහන්න එපා. ඔය සංඛ්‍යාවල එතරම් තේරුමක් නැහැ. භෞතික විද්‍යාවට නොබෙල් තෑග්ග දිනූ ෆයින්මාන්ගේ බුද්ධි ඵලකය 120ක් කියනවා. ඊට ඉහළ බුද්ධි ඵලක ඇති සිංහලයන් දහස් ගණනක් රටේ ඇති.

 

අද බටහිර වෙදකම සංඛ්‍යා මත රැඳෙනවා. අර පරීක්‍ෂණය මේ පරීක්‍ෂණය ආදියේ ප්‍රතිඵල සංඛ්‍යා. රුධිර පීඩනයත් සංඛ්‍යාවක්. මෙටා හා මොටා ලිපි කියවන මා සංඛ්‍යාව ගැන විමසිලිමත් වෙනවා. සංඛ්‍යාව දැක්ක රුධිර පීඩනය තවත් වැඩි වෙනවා දන්නේ නැහැ. ඒත් නාඩි අල්ලා බලන එක මිථ්‍යාවක් ලෙස අප සලකනවා. නාඩි ඇල්ලුවා සංඛ්‍යාවක් ලැබෙන්නේ නැහැ.

 

බටහිර ඊනියා දියුණුවේ දිශානතිය ගැන එතරම් හොඳක් කියන්න බැහැ. ඔවුන් සංඛ්‍යා වහලුන් වෙලා. ගුණාත්මක විනිශ්චයක් දීම එතරම් වටින දෙයක් ලෙස සැලකෙන්නේ නැහැ. මෙහි කෙළවර දකින්න මා ජීවත් නොවීම ගැන නම්  සතුටු වෙනවා