History

Monday, 30 October 2023

මෙරට ක්‍රිස්තියානි මොටා

 

මෙරට ක්‍රිස්තියානි මොටා

 

ඊයේ මා මෙරට ක්‍රිස්තියානි පාසල් ගැන සඳහන් කළා. විශ්වවිද්‍යාල කියන ආයතන ගැනත් වචනයක් දෙකක් කියන්න ඕන. අප රටේ අද ඇති වී තිබෙන ශෝචනීය තත්වයට ඉතා විශාල ප්‍රමාණයකින් වග කියන්න ඕන මෙරට විශ්වවිද්‍යාල කියන ආයතන. මා දන්නා තරමින් මෙරට විශ්වවිද්‍යාල නැහැ. මෙරට ඇත්තේ පාසල්වල දිගුවක් පමණයි. එහෙම කියන එකත් එතරම් හරි නැහැ. මෙරට ඇත්තේ මොටා.

 

බටහිර නොවෙයි විශ්වවිද්‍යාල යැයි කිව හැකි ආයතන මුලින් පටන් ගැනුණේ. විශ්වවිද්‍යාල ගැන කතා කරන විට ඇතැම් පඬි නැට්ටන් කියන්නේ බොලොඤ්ඤා විශ්වවිද්‍යාලයෙන් දහතුන්වැනි සියවසේ ආරම්භ වුණා කියා. සියල්ල දත් පඬි නැට්ටන් සමහර විට දන්නවා ඇති ඉතාලියේ ඇති ආයතනයක් කියා.

 

මා නම් දන්න තරමින් ලෝකයේ ප්‍රථම විශ්වවිද්‍යාලය කියන්න පුළුවන් මහාවිහාරයට. අභයගිරියත් ළඟින් තිබුණා. විශ්වවිද්‍යාලයකින් එදත් අදත් කෙරුනෙ කෙරෙන්න ඕන අලුතෙන් දැනුමක් අභිසංස්කරණය කිරීමයි. මහාවිහාරයෙන් හා අභයගිරියෙන් කලක් කටයුත්ත කෙරී තියෙනවා. එහෙත් පස්වැනි සියවසින් පමණ පසු එය නැවතී තියෙනවා. භාරතයේ නාලන්දා විශ්වවිද්‍යාලයත් මෙරට අභයගිරිය ඇසුරෙන් පටන්ගත් එකක් කියා හිතන්න පුළුවන්. එහෙත් පසු කලෙක මෙරට භික්‍ෂූන් වහන්සේ නාලන්දාවට වැඩම  කර තියෙනවා. මිහිඳු මහා රහතන් වහන්සේ වැඩම කිරීමෙන් කාලයකට පසු ඉතිහාසයේ යම් දිනයක අප දඹදිව සංස්කෘතියට යට වී තියෙනවා. එදා මෙදා තුර මෙරටින් බිහි වූ අලුත් දැනුමක් නැහැ.

 

අද නම් මෙරට ඇත්තේ අනුකාරක අනාථාගාර. මාත් විශ්වවිද්‍යාල නමින් හැඳින්වෙන මොටා තුනක වැඩ කර තියෙනවා. එකක් මා අස් වී ගිය පසු නැවත බඳවා ගත්තේ නැහැ. දෙවැන්නෙන් මා අස් කෙරුණා. තුන්වැන්නෙන් අස් කිරීමට පෙර මා ඉවත් වුණා. මා හිතන්නේ ලංකාව තමයි ඒක පුද්ගල මහාචාර්ය සංඛ්‍යාව වැඩි රට කියා. කියන්නේ මහාචාර්ය සංඛ්‍යාව රටේ ජනගහණයෙන් බෙදූ විට ලැබෙන සංඛ්‍යාව. මහාචාර්යවරුන්ට හොඳ වැටුපක් ලැබෙනවා.

 

වගේ මෙරට තරම් රිසර්ච් කරන රටක් තවත් නැතුව ඇති. මට ඇහිලා තියෙනවා ප්‍රථම උපාධි අපේක්‍ෂකයන් තම රිසර්ච් ගැන කතා කරනවා. බොහෝ විට ප්‍රථම උපාධිය සඳහාත් යම් ගවේෂණයක් කර නිබන්ධයක් ඉදිරිපත් කරන්න ඕන. සියල්ල රිසර්ච් ලෙසයි ගැනෙන්නෙ. රිසර්ච් යන්නෙහි මුල් තේරුම නම් නැවත සෙවීම කියන එක. අපි මුල් අර්ථයට බෙහෙවින් බැඳී සිටීම සතුටට කාරණයක්.

 

මේ අතර ඉන්නවා මෙරට මොටාවකට ඇතුල් වීමට නොහැකි විවිධ ක්‍රම මගින් පිටරට විශ්වවිද්‍යාලවලට  ඇතුල් වී උපාධි ලබා ගත් අය. එහෙමත් නැත්තන් මෙරටින් බාහිර උපාධියක් ලත් අය.  ඔවුන්ගෙන් සමහරකු තම දැනුම ප්‍රදර්ශනය කිරීමට ඉමහත් වෙහෙසක් ගන්නවා. තමන් කියවා ඇති පොතපත ගැන තමන්ට හමු වී ඇති විද්වතුන් ගැන ඔවුන් නිතර කියවනවා. ඔවුන්ට නාථ දෙවියන් නම් හමු වී නැහැ.

 

සියලු දෙනා පඬි නැට්ටන්. ඔවුන් බටහිර පඬියන් කියන දේ අනුව තම නැට්ට (වලිගය) වනනවා. මේ සියල්ලන්ට දියුණු වෙන්න ඕන. රට දියුණු වෙනවා දකින්න ඕන. මෙහි දී ඔවුන් බටහිර ක්‍රමයට අනුව නම් පළමුවෙන් දියුණුව කියන්නෙ මොකක්   කියල නිර්වචනය කරන්න ඕන. අපි දියුණු වෙනවා කියන්නෙ මොකක් කියල දන්නෙ නැතුව දියුණු වෙන්න හදන ජාතියක්.

 

ඔය මොටාවල කෙරෙන්නෙත් පාසලේ වගේ ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලබා දීම. ඊටත් නරුම ආකාරයකට අපේ දැනුම හෑල්ලුවට ලක්කරමින්. ඔවුන් දැනුම අභිසංස්කරණය කිරීමක් ගැන දන්නේ නැහැ. ඔවුන් දන්නේ තොරතෝංචියක් නැතුව අපේ දැනුමට ගරහන්න. ඉඩක් ලැබුණු විටක සිංහල බෞද්ධ සංස්කෘතියට පහර දෙන්න. එහෙත් ඔවුන්ට අනුව (නිර්වචනයක් නැති වුවත්) දියුණු යැයි කිව හැකි ජපානය චීනය ඉන්දියාව තම සාම්ප්‍රදායික දැනුම අත්හැර නැහැ. එයට මිථ්‍යා කියන්නේ නැහැ. ජපානයේ මළවුන්ගේ අවුරුදු දා පවත්වනවා. සරච්චන්ද්‍රයන්ට එය නවකතාවකට මාතෘකාවක් වුණා. ඉන්දියාවේ චන්ද්‍රයානය යැවූ විද්‍යාඥයන් තිරුපති ගියා. චීනයේ කොන්ෆියුෂියස් දහම අහක දාන්නේ නැහැ. ඒකට අපි.

 

ඔය කැලණිය මොටාවෙ බෝධීන් වහන්සේ නමක් වැඩ ඉන්නවා. රෝපණය කිරීමට ගිය අවස්ථාව මට මතකයි. මොටාවෙ පඬි නැට්ටන් එයට විරුද්ධ වුණා. මෙය විශ්වවිද්‍යාලයක් මිස පන්සලක් නො වේ කිවුවා. ඔවුන් එක්කෝ නොදැන සිටි නැත්නම් අමතක කළ කරුණු දෙකක් තිබුණා. එකක් කැලණිය කියන්නේ විද්‍යාලංකාරය බව. අප කළ ලොකුම වරදක් නම් විද්‍යොදය විද්‍යාලංකාර පිරිවෙන් ඊනියා විශ්වවිද්‍යාල බවට පත් කිරීම. දෙවැන්න බටහිර රටවල විශ්වවිද්‍යාලවල දේවස්ථාන ඇති බව. මා කලක් ගත කළ සසෙක්ස් විශ්වවිද්‍යාලයේත් දේවස්ථානයක් තියෙනවා. ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලවල පල්ලි ඕන තරම් තියෙනවා. කුරුස ලකුණූ හැම තැන. නිවුටන් හිටි ත්‍රිත්ව විද්‍යාලයෙ (Trinity College) නමත් ශුද්ධ ත්‍රිත්වයට සම්බන්ධයි. ඡායාරූපයේ දැක්වෙන්නේ ත්‍රිත්ව විද්‍යාලය.

 

කැලණියෙ මොටාවෙ පඬි නැට්ටන්ට අවශ්‍ය වුණේ දේවස්ථානයක් හැදීම වෙන්නත් පුළුවන්. බටහිර ආකෘතියෙ විශ්වවිිද්‍යාල කියන්නේ ක්‍රිස්තියානි ආයතන.