History

Thursday, 5 October 2023

හඳ පායා සිනාසේවී

 

හඳ පායා සිනාසේවී

 

 

හඳ පායා සිනාසේවී

ඔබගෙ මූණේ උදා වී

රස පෑරූ ගමේ

මනහාරි මගේ

මනහාරි මගේ මැණිකේ

…….. .. .. ….. ..


 

මේ දේවානන්ද වෛද්‍යසේකර හා චන්ද්‍රාණි ගුණවර්ධන ගයන ගීයක්. මගේ ප්‍රියතම ගීයක්. මා ගීය විචාරයට ලක් කරන්නේ නැහැ. ඒත් ඉතා කෙටියෙන් කීවොත් අනෙක් සෑම දෙයක මෙන් මෙහි ඇති වාස්තවිකත්වයක් නැහැ. හඳ පායා සිනාසෙන්නේ මැණිකේගේ මූණේ උදා වී. මෙහි මැණිකේ සාපේක්‍ෂ බව පැහැදිලියි. මගේ මැණිකේ ඔබේ මැණිකේ නොවෙයි. මගේ හඳත් ඔබේ හඳ නොවෙයි.

 

අන්න බලන් සඳ ලිපියට ප්‍රතිචාරයක් දැක් වූ ඇමරිකාවේ වෛද්‍ය භෞතික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයකු වූ මගේ මිතුරකු අසා තිබුණා හඳ බලන විට හඳ තියෙනවා කියා. අර අයින්ස්ටයින්ගේ සුප්‍රසිද්ධ කියමන හඳ බලන්නෙ නැති වෙලාවට හඳ තියෙනවා යන්නට ප්‍රතිචාරයක් ලෙස. අයින්ස්ටයින්ගේ ප්‍රතිචාරය ක්වොන්ටම් භෞතික විද්‍යාවේ කෝපන්හේගන් විවරණය පිළිබඳ . ක්වොන්ටම්  භෞතික විද්‍යාවේ දී කෙරෙන්නේ ඉන්ද්‍රිය ගෝචර නොවන සංසිද්ධි ගැන හැදෑරීම. සම්භාව්‍ය භෞතික විද්‍යාවේ දී ඉන්ද්‍රිය ගෝචර සංසිද්ධි හදාරනවා.

 

මතයක් තියෙනවා සම්භාව්‍ය භෞතික විද්‍යාවේ දී හදාරන්නේත් ඉන්ද්‍රිය ගෝචර නොවන අංශු (ක්‍ෂෙත්‍ර) එකතුවකින් සෑදෙන වස්තු බැවින් ක්වොන්ටම් කතා සම්භාව්‍ය කතාවලටත් අදාළ වෙන්න ඕන කියා. ඒත් ගැන විවිධ කතා කියනවා හැරෙන්න බටහිර විද්‍යාඥයන්ට නිශ්චිත කතාවක් නැහැ. සමහර විට මෙරට මොටාවෙ හා මෙටාවෙ අයට හොඳ පිළිතුරක් ඇති. ඒත් මා ප්‍රතිචාරවලට ලිපිය විවෘත කරන්නේ නැහැ. ඔවුන්ගේ බුද්ධිමත් ප්‍රතිචාර මට තේරෙන්නේ නැහැ. ඔවුන් කාට හරි මෙවර නොබෙල් තැගි හම්බ වෙලා ?

 

හඳ කියන්නෙ ක්වොන්ටම් අංශුවක් නො වෙයි. ක්වොන්ටම් නොවෙයි සම්භාව්‍ය සංසිද්ධිවලත් තියෙන්නෙ සංකල්ප කතන්දර (ප්‍රවාද) ආදිය. සංකල්ප කතා සියල්ල අපේ අභිසංස්කරණ. අපි හඳ කියල යම් සංජානන රාශියක එකතුව හඳුන්වනවා. සළායතන ඵස්ස වේදනා තමයි සංජානන ලබා දෙන්නෙ.  පොඩි කාලෙ දෙමවුපියො හා වැඩිහිටියො සංජානන අපට හඳ කියල කියනවා. අපි අම්බිලි මාමා කියලත් කියනවා. මා අහල තියෙන විධියට අම්බිලි කියන්නෙ හඳට කියන දෙමළ වචනය. ඒත් පොදුවෙ ගත්තත් සිංහල බෞද්ධයන්ගෙ හඳ හා දෙමළ අම්බිලි එකක් ? සිංහල බෞද්ධයන්ට හඳ එක්ක පුන් පොහොය ආදී කතා රාශියක් තියෙනවා. අර හඳේ හාවා සිංහලයන්ට හැරුණු කොට ඉන්නෙ කාට කියා මා දන්නේ නැහැ.  ඇතැම් සංස්කෘතිවල හඳේ වෙනත් රූප තියෙනවා. කවුරු ඇන්ද දන්නෙ නැහැ. සමහර චිත්‍ර නම් අඳින්නෙ බටහිර විද්‍යාඥයන්. ඉන්දියානු චන්ද්‍රයානයත් තව චිත්‍ර අඳීවි.

 

අපට විඤ්ඤාණය ඇති විට නාම රූපත් නාම රූප ඇති විට විඤ්ඤාණයත් ඇති වෙනවා. නාම රූප කියන්නේ විඤ්ඤාණය හා භෞතිකය නො වෙයි. අප නාම එහෙමත් නැත්නම් සංකල්ප එක්ක තමයි රූප දකින්නෙ. හඳ දකින්නෙ හඳ කියන සංකල්පයත් එක්ක. හඳ කියන එක අහල නැති වුණත් අපි අර මොකක්දෝ එක වගේ සංකල්පයක් ඇති කර ගන්නවා. සංකල්ප අපේ අභිසංස්කරණ. අවශ්‍ය නම් සංස්කරණ. නාම රූප, සළායතන, ස්පර්ශ වේදනා කතාව.

 

හඳ තියෙන්නෙ අපට. අප නැත්නම් හඳත් නැහැ. අපට තියෙන්නෙ සිංහල හඳ. හාවයි පුන් පොහොයයි වෙසක් සඳයි මැණිකෙගෙ මුහුණයි ආදිය සමග බැඳුණු හඳක්. අප බලන්නෙ නැති වෙලාවට හඳ තියෙනවා කියන ප්‍රශ්නයට අයින්ස්ටයින්ට දෙන්න පුළුවන් පිළිතුර තමයි අප නැත්තන් හඳත් නැහැ කියන එක.

 

හඳ පවතිනවා කියන ප්‍රශ්නයට පිළිතුර නැහැ යන්නයි. කියන්නෙ ඊනියා වාස්තවික හඳක් නැහැ කියන එක. හඳ පවතින්නෙ නැත් කියන ප්‍රශ්නයටත් පිළිතුර නැහැ යන්නයි. සාපේක්‍ෂ හඳ නැහැ කියන එක වැරදියි. ලෝකය පවතින්නෙත් නැත, නොපවතින්නෙත් නැත. ඉදින් අවිද්‍යාව ඇත්නම් සංස්කාර ඇත. ඉදින් අවිද්‍යාව නැත්නම් සංස්කාර නැත. මට අවිද්‍යාව ඇත. මට සංස්කාර ඇත. ඒ කියන්නෙ අවිද්‍යාව අප නැතුව ඇත යන්න නොවෙයි. භව ජාති ජරා මරණ ඇත්නම් අවිද්‍යාව ඇත. මෙය චක්‍රයක්. චක්‍රය ඇති තාක් හඳ තියෙනවා. ජාති ජරා මරණ නැත්නම් හඳ නැහැ.

 

මා දන්නවා පඬි නැට්ටන් මේවට හිනහ වෙන බව. ඔවුන්ට අනුව මා කියන්නෙ මෝඩ කතා විහිළු කතා. මොනව කරන්න ? බටහිර පඬියන් මෝඩ කතා කියන්නෙ නෑ.