History

Monday, 9 October 2023

හමාස් හරහා හමන සුළඟ

 

හමාස් හරහා හමන සුළඟ

 

හමාස් ප්‍රහාරයෙන් ඊශ්‍රයලය පමණක් නොව මුළු බටහිර කැළඹිලා. මා  දන්නේ නැහැ එහි මහා මොළකරූ කවුද කියා. ඊශ්‍රායලයේ නායක රාබිතුමා දන්නවා දන්නෙ නැහැ. ප්‍රහාරය ඊශ්‍රායලයේ වත්මන් අගමැති නෙතන්යාහුගේ ආණ්ඩුව වැට්ටවීම සඳහාත් විරුද්ධ පක්‍ෂවල ලපිඩ් හා බෙනට් මාරුවෙන් මාරුවට අගමැතිවරුන් කිරීම සඳහාත් කරන ලද ප්‍රහාරයක් ? නෙතන්යාහු අවුරුදු 12ක් පමණ විටින් විට ඊශ්‍රායලයේ අගමැති වෙලා තියෙනවා. ඔහුගේ කාලය අවසන් ? ඔහු පසුව පරගලයක් මගින් බලයට පත් වේවි ?

 

මෙරට බුද්ධිමත් දේශපාලන විචාරකයන් මේ ප්‍රශ්නවලට හිනා වේවි. ඒත් ඔවුන් ලංකාව සම්බන්ධයෙන් නම් එවැනි ප්‍රශ්න ඉතා බැරෑරුම් ලෙස සලකනවා. මට අමතක වෙන්න ගියේ. කාදිනල්තුමාත් එතුමාගේ අගසවු දෙනමත් ඊශ්‍රයාලය ගැන කිසිවක් කියපු බවට ආරංචියක් නැහැ.

 

හමාස් ප්‍රහාරය ත්‍රස්තවාදී. ගැන විවාදයක් නැහැ. බටහිර විවිධ සංවිධාන හමාස් ප්‍රහාරය හෙලා දැකලා. ඒකත් හොඳයි. ඒත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙරට කොටි ත්‍රස්තවාදී ප්‍රහාරවලට එරෙහිව බටහිර විවිධ මානව අයිතිවාසිකම් අයිතිකරුවන් ප්‍රකාශ නිකුත් කෙළේ නැහැ. ඔවුන් කියා සිටියේ කොටි සමග සාම සාකච්ඡා අරඹන්න. නරකද හමාස් සංවිධානය සමග සාකච්ඡා කළොත්. ස්විට්සර්ලන්තයේ ඇති මෙරට පාස්කු ප්‍රහාරය ගැන විවිධ කතා කියා සරණාගත තත්වයට උසස්වීම් ලැබූ අය. ඔවුන් යොදා ගන්න පුළුවන් සාම දූතයන් ලෙස. ස්විට්සර්ලන්තයට යන එන අය ගැන අප විමසිල්ලෙන් ඉන්න ඕන.

 

හමාස් ප්‍රහාරය ත්‍රස්තවාදී වුණත් වටා මුස්ලිම් රටවල් ඉන්නවා. ඇතැම් මුස්ලිම් රටවල් ප්‍රහාරය ගැන ආඩම්බර වෙනවා. මෙය පිටුපස ලෙබනනය හා ප්‍රධාන වශයෙන් ඉරානය ඉන්න බව කියනවා. කෙසේ වෙතත් හමාස් ඊශ්‍රායල ගැටුම අවුරූදු දහස් ගණනක අතීතයට යනවා. ඉන් කියැවෙන්නේ හමාස් සංවිධානය අවුරුදු දහස් ගණනක් පැවතුනා කියන එක නො වෙයි. මෙය එක දෙවියන් වහන්සේගේ දරුවන් දෙපිරිසක් අතර කෙරෙන සටනක්. එය සංස්කෘතික සටනක්. අප හා ඉන්දියාව ( නමින් නොතිබුණත්) අතර සටනත් අවුරුදු දහස් ගණනක් පැරණියි.

 

ලෝකයේ හැමදාමත් සිදු වී ඇත්තේ මූලික වශයෙන් සංස්කෘතික සටන්. සටන්වල පෞද්ගලික සාධකත් නොතිබුණා නො වෙයි. පුද්ගල සාධකත් අවසාන වශයෙන් ගත්ත තම සංස්කෘතිය වෙනුවෙන් වඩාත් සාර්ථක සටන මෙහෙයවිය හැක්කේ කාට යන්න තීරණය කිරීම සඳහා වූ අරගල ලෙස සලකන්න පුළුවන්.

 

කලකට පෙර සැමුවෙල් හන්ටින්ග්ටන් පොතක් ලිවුව සභ්‍යත්ව ගැටුම (Clash of Civilizations) කියලා. ඔහු ඉන් කියා සිටියේ සෝවියට් දෙශයේ වැටීමෙන් පසු ඇතිවන්නේ සභ්‍යත්ව අතර අරගල කියා. බටහිරයන් ථෙරවාද සභ්‍යත්වයක් ඇති බව කියන්නේ නැහැ. ඔවුන්ගේ අර්ථයෙන් ථෙරවාද සභ්‍යත්වයක් ඇත්තෙත් නැහැ. ලෝකයේ ථෙරවාදී රටවල් පහ අපේ යන හැඟීමකින් බැඳී නැහැ. මියන්මා දේශයට  කරන පහරදීම් අපට කරන පහරදීම් ලෙස අපට හැඟෙන්නේ නැහැ. එහෙත් මුස්ලිම් සභ්‍යත්වයක් තියෙනවා. හමාස් වටේ ඔවුන් බොහෝ දෙනා එකතු වෙනවා.

 

හමාස් ප්‍රහාරය ගැන මුස්ලිම් ලෝකය  ආඩම්බර වෙනවා. ලන්ඩනයේ වෙසෙන මුස්ලිමුන් ප්‍රීතිඝෝෂා නගමින් වීදි සංචාරය කරල තියෙනවා. අද ලෝකයේ මුස්ලිම් ක්‍රිස්තියානි සභ්‍යත්ව ගැටුමක් තියෙනවා. මෙරට පාස්කු ප්‍රහාරයත් එහි එක් කොටසක් පමණයි. මා දන්නේ නැහැ පාස්කු ප්‍රහාරය ත්‍රස්තවාදී ප්‍රහාරයක් ලෙස බටහිර හඳුනා ගෙන තියෙනවා කියා.

 

හන්ටින්ග්ටන් එක් වාක්‍යයකින් මෙරට ජාතික චින්තනය ගැන කියනවා. එහෙත් ඔහු එය සඳහන් කරන්නේ පාටික (Patika) චින්තනය කියා. එහි එතරම් වැදගත්කමක් නැහැ. එය පාද සටනක් වගේ. කුමක් වුණත් හන්ටින්ග්ටන් නොදන්න කරුණක් තියෙනවා. එනම් ලෝකයේ හැමදාමත් ඇති වී තියෙන්නේ මුලික වශයෙන් සංස්කෘතික ගැටුම් කියන එක. ඇතැම් විට සභ්‍යත්ව ගැටුම් වෙන්න ඇති. එහෙත් මූලික වශයෙන් ඇති වී තිබෙන්නේ සංස්කෘතික ගැටුම්,

 

සංස්කෘතික ගැටුම් සෝවියට් දේශය වැටීමෙන් පසු ඇති වෙන්නක් නො වෙයි. ඉන් පෙරත් තිබුණෙ සංස්කෘතික ගැටුම්. සෝවියට් දේශය හා බටහිර අතර තිබුණෙත් මූලික වශයෙන් සභ්‍යත්ව ගැටුමක්. බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වය හා නැගෙනහිර ඔතොඩෙක්ස් සභ්‍යත්වය අතර ගැටුමක්. අදත් ගැටුම පවතිනවා ඊනියා සමාජවාදී රාජ්‍යයක් නොමැතිව. මෙරට ඉන්නා ඊනියා සමාජවාදීන් තවමත් රුසියාවට පක්‍ෂපාත වෙන්නේ බටහිරට විරුද්ධ මිස එහි ඇති සමාජවදයක් නිසා වෙන්න බැහැ.

 

බ්‍රික්ස් රටවල් සංවිධානය වන්නේ බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වයට එරෙහිව. එහෙත් බටහිර සභ්‍යත්වයට එරෙහිව  ආයුධ සන්නද්ධ සටන් කරන්නේ මුස්ලිම් සභ්‍යත්වයයි. මුස්ලිම් සභ්‍යත්වය හින්දු සභ්‍යත්වයට එරෙහිවත් සටන් කරනවා. අපේ කලාපයේ මුස්ලිම් රටවල් ඉන්දියාවට විරුද්ධයි. පසුගිය දා මාල දිවයිනේ පැවති මැතිවරණයෙන් ඉන්දියන් විරෝධී චීනයට පක්‍ෂපාත ආණ්ඩුවක් පත් කරගෙන.

 

ඉන්දියාව ථෙරවාද නොව සියළු බෞද්ධ සංස්කෘතීන්ට විරුද්ධයි. ඔවුන් තම හින්දු සභ්‍යත්වය වෙනුවෙන් අද මෙරට වෙල්ලාලයන් යොදා ගන්නවා සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ . බටහිර ක්‍රිස්තියානි සභ්‍යත්වය සිංහල බෞද්ධ සංස්කෘතියට විරුද්ධ දෙමළ ජාතිවාදය යොදා ගන්නවා. එවැනි පසුබිමක සභ්‍යත්වයක් නොවීත් සංස්කෘතියක් පමණක් වීත් වෙනත් රටක සහායක් නැතිව කොටි පරාද කිරීම ඉන්දියාවවත් බටහිරවත් ඉවසන්නේ නැහැ. මහින්ද හා ගෝඨාභය ගෙදර යැවුවේ නිසා මිස වෙනත් කරුණක් නිසා නො වෙයි.

 

සංස්කෘතික ගැටුම් ලෝකයේ කෙළවර වන්නේ නැහැ. සංස්කෘතික ගැටුම් ඇතැම් විට සභ්‍යත්ව ගැටුම් බවට පත්වෙනවා.  කුඩා රටකට සීමා වූ  සභ්‍යත්වයකට උරුමයක් නැති සිංහල බෞද්ධ සංස්කෘතියට කෙතරම් කල් වෙනත් සභ්‍යත්වයක් මගින් අතුගා නොදැමී  පැවතිය හැකි ? එසේ පවත්වා ගෙන යෑම සඳහා අප කළ යුත්තේ කුමක් ?  මා කියන දේට විරුද්ධ  අතැම්  ජාතිකවාදීන් අහන්න බැරි නැහැ සිංහල බෞද්ධයන්ට සභ්‍යත්වයක් නැද්ද කියා