History

Tuesday 26 December 2023

හිමාලය ප්‍රමාණයේ දෙමළ හිමාලයන් බොරුව හා දිසාගේ නික්ම යෑම

 

හිමාලය ප්‍රමාණයේ දෙමළ හිමාලයන් බොරුව හා දිසාගේ නික්ම යෑම

 

තවත් හිමාලය ප්‍රමාණයේ බොරුවක් එළි දක්වලා. එයට හිමාලයන් ප්‍රකාශය (Himalayan Declaration) කියා කියනවා. ප්‍රකාශය නිකුත් කිරීමට පෙර දෙමළ ගෝලීය සංසදය හා යහපත් ශ්‍රී ලංකාවක් සඳහා වූ භික්‍ෂූන් වහන්සේ නමින් වූ සංවිධානයක් හිමාලය අඩවියේ නේපාලයේ එකතු වී සාකච්ඡාවක් පවත්වා ඇති බව සඳහන් වෙනවා. මේ හිමාල ප්‍රමාණයේ බොරුව රනිල් නම් ජනාධිපතිට පිළිගන්වා ඇතැයි වාර්තා වෙනවා.

 

මා ලිපි ලිවීම නවත්වන්නත් කල්පනා කළා. ඊයේ (දෙසැම්බර් 25) පැවති රැස්වීමක දී මා ලියන ලිපි ඉතා දීර්ඝ බව කියැවුනේ ලිපි තරුණයන් නොකියවන්නේ යන්න ව්‍යංගයෙන් ප්‍රකාශ කරමින්. මා එතරම් වැදගත් දෙයක් ලියන්නේවත් කියන්නේවත් නැති බව මා දන්නවා. මා කියන කිසි දෙයක් ජඩමාධ්‍යයේ වාර්තා වන්නේ නැහැ. ජඩමාධ්‍යයට අවශ්‍ය වන්නේ මගේ වැරදි අඩුපාඩු සෙවීමයි. එඩ්මන්ඩ් රණසිංහ මහතා නික්ම යෑමෙන් පසුව දිවයිනෙන් මට ලැබෙන්නේත් කුඩම්මාගේ සැලකිල්ල.

 

දෙරණට මුල සිට අවශ්‍ය වුණේ මා කියන දේ නොකරන බොරු කාරයකු කුහකයකු බව කීම. අරුණේ ප්‍රධාන කතෘ මා මෙන් නොව ඉතා ඉහළ ගණයේ බුද්ධිමතෙක්. ඔහු සමහර විට විද්‍යාඥයකු වෙන්න ඇති. ඔහු අපේ දැනුමට හිනහවෙන අයෙක්. මාධ්‍ය ජාලය අපේ දේ රැක ගන්න කරන දෙයක් මට හිතා ගන්න බැහැ. ලිපි ලිවීම නැවැත්තුවොත් මනසේ ක්‍රියාකාරීත්වය අඩු වෙන්න පුළුවන්. නිසා මා ලියනවා මිස මෙරට ජාතිකවාදීන්වත් මේ දීර්ඝ ලිපි කියවන නිසා ලියනවා නො වෙයි. 

 

කෙසේ වෙතත් දැන් දැන් පරගලයේ ප්‍රතිඵල  ක්‍රියාත්මක වෙනවා. ඔය ඊනියා යහපත් අනාගතයක් සඳහා වූ භික්‍ෂූන් වහන්සේ අතර පරගලයේ ඉදිරියෙන් සිටි ගල්කන්දේ පඬි රුවන වැඩ ඉන්නවා. අනෙක් භික්‍ෂූන් ගැන මා දන්නේ නැහැ. උන්වහන්සේ සමහර විට භික්‍ෂූන් වහන්සේ කියනවට වැඳුම් පිදුම් කරනවාට අකමැති වෙන්නත් පුළුවන්. පරගලය මුළුමනින් බටහිරයන්ගේ වැඩක්. එයට ඉන්දියානුන්ගේ සහාය ලැබුනා. හිටපු ඉන්දීය මහා කොමසාරිස් එහි දී විශාල කාර්යභාරයක් ඉටු කළා. ඉන්දියාවට රනිල් පත් කර ගැනීමට අවශ්‍යතාවක් තිබුණේ නැහැ. එහෙත් ඔවුන්ට රනිල්ට විකල්පයක් තිබුනේ නැහැ.

 

පරගලයන් කියනවා නම් ගෝඨාභය එලෙවුවේ තමන් කියා ඔවුන් දැන් රනිල් එලවන්නේ නැත්තේ ඔවුන් රනිල්ට කැමති නිසා වෙන්න ඕන. සමහර විට රනිල්ගේ ලයිට් හවුස් බෞද්ධ ප්‍රතිපත්තියට ඔවුන් කැමති ඇති. බටහිරයන් රනිල් පත් කර ගත්තේ සිංහල බෞද්ධ ජාතිකත්වය නැති කර  දෙමළ විසුරුණු ජනයාට (ඊනියා ඩයස්පෝරාවට) ඊළමක් ඇති කිරීමට රට බෙදීමට මගක් පෑදීම සඳහා මිස ඊනියා ආර්ථික අර්බුදයක් විසඳන්න නො වෙයි. ඔහුට විසඳන්න පුළුවන් දෙයක් නැහැ. ඔහු අදක්‍ෂයෙක්.  රනිල්ට තව තවත් ණය ගෙන අප ජාමුල අඬුවට හසු කරන්න නම් පුළුවන්. හැකි ඉක්මනින් රනිල් ඉවත් කිරීම නම් රටට යහපතක් උදා කරනවා ඇති. නව ක්‍රිස්තු වර්ෂය උදාවීමත් සමග වැට් සමග මිනිසුන් තවත් වැටේවි.

 

හිමාලය ප්‍රකාශය හා සම්බන්ධ වන්නේ මහානායක හිමිපාණන් වහන්සේගේ අනුමෑතිය ලත් භික්‍ෂූන් වහන්සේ නොවෙයි. මා දන්නා තරමින් මහානායක හිමිපාණන් වහන්සේ දෙමළ ගෝලීය සංසදය සමග සාකච්ඡා කිරීමට නේපාලයට වැඩම කිරීමට කිසිම භික්‍ෂූන් වහන්සේ නමකට දන්වා නැහැ. මේ ඊනියා රටේ යහපතට ක්‍රියා කරන භික්‍ෂූන් වහන්සේ දෙමළ ගෝලීය සංසදයේ අනුමැතිය ලත් භික්‍ෂූන් වහන්සේ පමණයි.

 

හිමාලයන් බොරුවේ කියන්නේ මෙරට ඊනියා බහු සංස්කෘතික බහු ආගමික රටක් බවයි. තරම් බහුබූතයක් තවත් නැහැ. සම්මුති අර්ථයෙන් ලෝකයේ හැම රටක් බහු සංස්කෘතිකයි බහු ආගමිකයි. එහෙත් රටවල ප්‍රධාන සංස්කෘතියක් තියෙනවා. ප්‍රධාන ආගමක් තියෙනවා. ලංකාවේ පමණක් එහෙම නැහැ. ලංකාවේ සියල්ල සමානයි. ප්‍රශ්නය ඇත්තේ එතැනයි. එංගලන්තයට හරි ඇමරිකාවට හරි ගිහින් එරට සෑම සංස්කෘතියක් සෑම ආගමක් ඇංග්ලිකන් ක්‍රිස්තියානියට සමාන කියා කියන්න. අද සිංහල බෞද්ධයන් කෙතරම් මෝඩයන් බවට පත් කර ඇත්නම් ඔවුන්  තරම් ඊනියා සරාවාගමික කටයුතු කරන්නන් ලෝකයේ නොව ලංකාවේවත් නැහැ. මුස්ලිමුන් තම වැඩ පටන් ගැනීමේ දී සර්වාගමික පූජා තියනවා ?

 

හිමාලයන් මහා බොරුවට අවශ්‍ය මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියට හිමි තැන අහිමි කිරීම මිස අනෙකක් නො වෙයි. රනිල් ජනාධිපති වූ දිනයේ සිට කතා කරන්නේ ඊනියා දෙමළ ඩයස්පෝරාව සමග එකතු වීමයි. රනිල් පත් කර ගැනීමෙහි ලා ඉත්තන් වූ අය දෙමළ ගෝලීය සංසදය විසින් මෙහෙයවීම පුදුමයක් නො වෙයි.

 

ලිපිය අවසන් කිරීමට පෙර අභාවප්‍රාප්ත කොළඹ මොටාවේ හිටපු භුගෝලවිද්‍යා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය දිසානායක ගැන වචනයක් කියන්න ඕන. මා අද ඔහුට අවසන් ගෞරවය දැක්වූවා. ඔහු මගේ මිතුරකු වුනා. ඔහු ජාතිකවාදියකු කියා මා දන්නේ  නැහැ. දැන ගන්න වුවමනාවක් තිබුනෙත් නැහැ. එහෙත් ඔහු අව්‍යාජ මිතුරෙක්. මොටාවේ ඉන්න සියයට අනුපහක් පමණ වු සත පහකට වැඩක් නැති බොරු ප්‍රබුද්ධයන් අතර ඊනියා මහාචාර්යවරුන් අතර ඔහු මහා ආචාර්යවරයෙක් වුනා. මෙයින් කියන්නේ දේශපාලනඥයන්ගේ ලිපිවල බල මහිමයෙන්වත් මොටා ගුරුවරුන් වීමට නොහැකි වූ අය සත පහක් වටින බව නොවන බව අවධාරණය කරන්න ඕන.

 

බුලත් විටකින් මුව සරසා ගෙන සිටි අව්‍යාජ ගැමියා දිසාගේ සසර ගමන ඉක්මණින් කෙළවර වේවා!