History

Friday, 19 January 2024

පාරම්පරික වෙදකම සමග උණවටුනට යෑම

 

පාරම්පරික වෙදකම සමග උණවටුනට යෑම

 

මා ඊයේ (ජනවාරි 18) දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ දකුණට ගියා. නැහැ මාළු ඇඹුල් තියල් ගේන්න නො වෙයි. අධිවේගය හැදුවෙ මාළු ඇඹුල් තියල් ගේන්න කිවුව අයත් පාරෙ එහෙ මෙහෙ යනවා මහින්ද හොරා කිය කියා. ඉස්සර නම් බස්නාහිර ගාළු පාර අවට ජීවත් වූවකු ලෙස මාත් ඇඹුල් තියල්වලට කැමති වුණා. නාථ දේව මණ්ඩලය මුණ ගැසුණට පස්සෙ මා මස් මාළු කෑම නතර කළා. අවුරුදු විස්සකට පමණ පෙර.  පාරේ වෙන දා තරම් වාහන තිබුණේ නැහැ.

 

නන්දා මාලිනී හත්දෙයියන්ට කරන කන්නලව්වේ රථවාහන අඩු වීම ගැන කියා තිබුණේ නැහැ. ඇය තිස්තුන් කෝටියක් දෙවියන් ගැන සඳහන් කර තිබුණා. ඇය දෙවියන් ගැන විශ්වාස කරනවාද යන්න මා දන්නේ නැහැ. කලකට ඉහත ඇය දෙවිවරුන්ට දඬුවම් දෙන්න කතා කළා. ඇගේ නවතම ගීතය දෙවියන්ට කියන කන්නලව්වක් දෙවියන් කෝ කියා ඇසීමක් කියන්න මට බැහැ. කුමක් වුවත් ඇය පරගලයට ගිය බව නම් මා දන්නවා. රනිල් පත්කෙරුවේ පරගලයන් නොවූවත් පරගලයන් එහි දී ඉත්තන් වුණා. මා දන්නේ නැහැ හත්දෙයයියන් හා තිස්තුන් කෝටියක් දෙවියන් දැන් බලරහිත කෙරී කියා.

 

දැන් තෙල් තියෙනවා. ඒත් වාහන දුවනවා අඩුයි. මොකද කියල දැන ගන්න හර්ෂ සිල්වා වැනි ආර්ථික විද්‍යා විශේෂඥයන් හමුවෙන්න ඕන නැහැ. ඉස්සර කාන්තා විද්‍යාලෙ අසළ තිබුණ පෙම්බ්‍රෝක් ඇකඩමිය කියා ආයතනයක්. ඒකෙ බොහෝ විට ඉගෙන ගත්තෙ සාමාන්‍ය පෙළ අසමත් අය. කාගෙන් ඇහුවත් කියයි.

 

මා අධිවේගයේ ගියෙ උණවටුනට. අපොයි නැහැ නාන්න නොවෙයි. එහි අරලිය හෝටලය අසළ කෝට්ටෙයාවත්තෙ වෙද පරපුරේ සඳුන් වෙද මහතාගෙ සායනයක් විවෘත කිරීමේ උත්සවයට සහභාගි වෙන්න. පරපුර පාරම්පරික වෙද පරපුරක්. කියන්නෙ ආයුර්වේද නො වෙයි. ආයුර්වේදය හා පාරම්පරික වෙදකම අතර වෙනස්කම් තියෙනවා. ඇතැම් අය පාරම්පරික වෙදකම ආයුර්වේදයෙ කොටසක් ලෙස සලකනවා. එය වැරදියි.

 

මා කිසිම වෙදකමක් දන්නේ නැහැ. එහෙත් දැනුම් පද්ධති ගැන හදාරනවා. මෙරට දැනුම් සම්ප්‍රදාය භාරතීය දැනුම් සම්ප්‍රදායෙන් වෙනස්. භාරතයේ බ්‍රාහ්මණ සම්ප්‍රදායත් ශ්‍රමන සම්ප්‍රදායත් තිබුණා. කලකට පෙර භාරතයෙ තිබුණෙ ධ්‍යාන ක්‍රමය වෙන්න ඇති. කියන්නෙ ආධ්‍යාත්මික ක්‍රමයකට දැනුම ලබා ගැනීම. එහෙත් බ්‍රාහ්මණයන් කලක දී ශ්‍රමණ ධ්‍යාන සම්ප්‍රදාය අත්හැර අධ්‍යයන සම්ප්‍රදායක් ඇති කරගන්න ඇති. එහෙත් ශ්‍රමනයන් දිගට තම සම්ප්‍රදාය රැක ගෙන තියෙනවා.

 

අධ්‍යයන ක්‍රමය නිසා තමයි අධ්‍යාපනය ඇවිත් තියෙන්නෙ. එහි ධ්‍යාන නැහැ. මා කියන දේ ඇතැම් සංස්කෘත මහාචාර්යවරුන් පිළිගන්නෙ නැහැ. වෛදිකයන් අධ්‍යයන ක්‍රමය අනුගමනය කළ බ්‍රාහ්මණයන්. ඇතැම් බ්‍රාහ්මණයන් ශ්‍රමන සම්ප්‍රදාය අනුගමනය කරන්න ඇති. එහෙත් අධ්‍යාපනය තිබුණෙ බ්‍රාහ්මණයන් අත. අප බෞද්ධ සාහිත්‍යයෙහි තවුසන් කියන අය ශ්‍රමන සම්ප්‍රදායෙ.

 

අපේ රටෙත් තිබිල තියෙන්නෙ ශ්‍රමන සම්ප්‍රදායක්. ඉස්සර සමන කියන්නෙ ශ්‍රමන සම්ප්‍රදාය අනුගමනය කළ අය වෙන්න ඕන. අය ඉසුරුමුනියෙ ඉන්න ඇති කියල හිතන්න පුළුවන්. කෙසේ වෙතත් අපත් දැනුම ලබාගෙන තියෙන්නෙ අධ්‍යාපන ක්‍රමයකට නොව ආධ්‍යාත්මික ක්‍රමයකට.

 

අධ්‍යාපන ක්‍රමයෙ තමයි යමක් වෙන්නෙ ඇයි කොහොමද වගේ ප්‍රශ්න අහන්නෙ. ආධ්‍යාත්මක ක්‍රමයෙ දී ප්‍රත්‍යක්‍ෂයෙන් දැනුම ලබා ගන්නවා. මේ හැම දැනුමක් බොරු. ඒත් අධ්‍යාපන ක්‍රමයෙ දී අපි කතන්දර හදනවා. එහෙම නැත්නම් ප්‍රවාද (theory) හදනවා. බ්‍රාහ්මණයන්ට කතා හැදීමේ හුරුවක් පරිචයක් තිබුණා. අපට එදත් නැහැ අදත් නැහැ. අද අප අතර ඉන්නෙ බොරු ශාස්ත්‍රීය කරුවන් පිරිසක්. ඔවුන්ට ශාස්ත්‍ර බැහැ. මටත් බැහැ. මට විද්‍යඥයකු වීමට නොහැකි වුණේ නිසයි.

 

කොහොම වෙතත් පරම්පරික වෙදකමේ ගැඹුරු කතන්දර නැහැ. තිබෙන්නෙ ඉතා සරල කතන්දර. නිසා අප බෙහෙත් දෙන්නෙ ලෙඩේට නොව ලෙඩාට. බෙහෙත නැත්නම් ප්‍රතිකාරය ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස් වෙන්න පුළුවන්. බටහිර වෛද්‍ය ක්‍රමයත් අධ්‍යාපනික ක්‍රමයක්. එහි කතන්දර තියෙනවා. කතන්දර කියන්නෙ වැඩ කරන හිතළු. පාරම්පරික වෙදකම ධ්‍යානයෙන් දැනුම ප්‍රත්‍යක්‍ෂ කර ගත් ක්‍රමයක්. බුදුදහමෙහිත් ගැඹුරු කතන්දර නැහැ. බ්‍ර්හ්මණයන්ට වඩා අනෙක් අය බුදුදහම තේරුම් ගත්තා. 

 

අවාසනාවකට අද පාරම්පරික වෙදකමට ලැබෙන්නෙ බමුණු කුඩම්මගෙ සැලකිල්ල. ආණ්ඩුව බටහිරටත් බයයි. ඉනදියාවටත් බයයි. මෙරට උගතුන් කියා ගන්නවුන් එහෙමයි. ඇතැම් විට පාරම්පරික වෙදකම ආයුර්වේදයට සමාන කියල හිතන්න පුළුවන්. එහෙත් දැනුම් ක්‍රම දෙකක් මත තියෙන්නෙ. උණවටුනට ගියොත් පාරම්පරික වෙදකම ගැන දැන ගන්න පුළුවන්. පාරම්පරික වෙදකම තියෙන්නෙ උණවටුනෙ විතරක් නො වෙයි. පාරම්පරික වෙදමහත්තුරු දිවයින පුරා විසිර ඉන්නවා.