History

Thursday, 4 January 2024

මහාවංසයෙන් නොකියැවෙන දේ ගැන කී නොකී දෑ බිඳක්

 

මහාවංසයෙන් නොකියැවෙන දේ ගැන කී නොකී දෑ බිඳක් 

 

ඊයේ (03) ශ්‍රී ලංකාවේ රාජකීය ආසියාතික සංගමයේ දේශනයක් තිබුණා. එහි මාතෘකාව වුණෙ මහාවංසයෙන් නොකියැවෙන දේ. ප්‍රශ්න රාශියක් ඇහුවා. සමහරු දේශන පැවැත්තුවා. ප්‍රශ්න අතර සිදුහත් කුමරු ලංකාවේ උපන්නේ යන ප්‍රශ්නයක් තිබුණා.

 

මට අවශ්‍ය වුණේ මහාවංස කතෘ ලෙස සැලකෙන මහානාම හිමියන් නොකියූ දේ කියන්න නො වෙයි. මහාවංසයෙන් නොකියැවෙන දේ කියන්නයි. නොකියූ දේ හා නොකියැවුණු දේ අතර විශාල වෙනසක් තියෙනවා. නොකියූ දේ කියන්නේ දැන සිට නොකී දේ. එසේ කීම හරි නොකීම හරි කතුවරයාගේ වැඩක්. අවශ්‍ය නම් පාඨකයාට ප්‍රශ්න කරන්න පුළුවන් එසේ නොකීවේ ඇයි කියා. එහෙත් එවැනි ප්‍රශ්නයකට පිළිතුරු දෙන්න කතුවරයා බැඳී නැහැ. මහානාම හිමියන් අපවත් වී ඇති බැවින් කොහොමටත් පිළිතුරු දෙන්නේ නැහැ.

 

මට තේරෙන විධියට මහාවංසය ලියා ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය මෙරට තහවුරු කිරීමට. ගැමුණු රජු එහි වීරයා වන්නේත් එබැවින්. මහානාම හිමියන් ධාතුසේන රජුගේ මව් පාර්ශ්වයේ මාමා කෙනකු බව කියනවා. මාත් කලක් හිතා හිටියේ උන්වහන්සේ රජුගේ පිය පාර්ශ්වයේ මාමා කෙනකු කියා. රජුගේ පියා නම් භාරතයෙන් පැමිණි මෞර්ය වාංශිකයෙක්. ධාතුසේන රජු මෙරට පළමු මෞර්ය  වාංශික රජු වන්නේ එබැවින්. ධාතුසේන රජුගේ මව සංඝා කුමරිය. රජුගේ මවු පාර්ශ්වය සිංහල බෞද්ධ. එකල සිංහල බෞද්ධ යන යෙදුම තිබුණා නැද්ද යන්න මෙහි දී වැදගත් වන්නේ නැහැ.

 

කෙසේ වෙතත් මහානාම හිමියන්ට අවශ්‍ය වී ඇත්තේ මෙරට ථෙරවාද සම්ප්‍රදාය තහවුරු කරන්නයි. එමෙන් මෙරට සිදු වූ ආර්ය සංක්‍රමණය සමග බිහි වූ උත්තර භාරතීය ආර්ය සංස්කෘතිය ආරක්‍ෂා කිරීමටයි. උන්වහන්සේට අවශ්‍ය වී තිබුණේ අප වංගයටත් කාලිංගයටත් මගධයටත් සංස්කෘතික එක් කිරීමට. උන්වහන්සේ මහාවංසය ලියා ඇත්තේ උත්තර භාරතීය ආර්ය සංස්කෘතික පදනමක සිට.

 

ප්‍රශ්නයක් පැන නැගුණා මා එම සංස්කෘතිය ආර්ය සංස්කෘතියක් ලෙස හඳුන්වන්නේ ඈයි කියා. එයට හේතුව සංස්කෘතිය භාරතයේ ආර්ය සංස්කෘතිය ලෙස හඳුන්වා තිබීමයි. ආර්යයන් භාරතයේ වයඹ දෙසට පැමිණ ඇත්තේ ඉරානය පැත්තේ සිට. එසේ පැමිණි ආර්යයන් භාරතයේ වයඹ දෙස ආවාහ විවාහවලින් හා සංස්කෘතික අවශෝෂණයෙන් ආර්ය සංස්කෘතියක් ඇති කර තියෙනවා. ආරය සංස්කෘතිය වංගයට (බෙංගාලයට) කාලිංගයට (ඔඩෙස්සා) පැතිර ගියේ සංස්කෘතික අවශෝෂණයෙන්. වංගයන්ගේ ස්වරූපය ඉරාන වැසියන්ට සමාන නැහැ. ආර්ය සංස්කෘතිය භාරතයේ නැගෙනහිරට ප්‍රචලිත වීමේ දී ආවාහ විවාහ බලපෑමක් කර ඇත්නම් ආන්තිකවයි.

 

මහානාම හිමියන්ගේ සමයේ (ඊට පෙර මෙන් පසු ) මෙරට උත්තර භාරතීය සංස්කෘතික බලපෑම්වලට හසු වී ඇති බව පැහැදිලියි. මහාවිහාරය ථෙරවාදයට පමණක් විවෘත වී ඇති අතර අභයගිරිය විවිධ බෞද්ධ නිකායවලට විවෘත වී තිබෙනවා. ශාස්ත්‍රීය වශයෙන් ගත් කළ මහාවිහාරයවත් අභයගිරියවත් නව දැනුමක් අභිසංස්කරණය කිරීමට යොමු වී නැහැ. මෙරට නව දැනුම අභිසංස්කරණය කිරීමේ බුද්ධිමය සම්ප්‍රදායක් අඩු තරමෙන් සියවස් දහඅටකට පමණ තිබී නැහැ. අපේ අද වැටීමටත් ප්‍රධාන හේතුව එයයි.  මෙරටින් වසුබංධුලා අසංගලා නාගර්ජුනලා එදා බිහි වී නැහැ. අද බටහිර පන්නයේ විද්‍යාඥයන් දාර්ශනිකයන් බුද්ධිමතුන් බිහිවන්නේ නැහැ. මෙරටින් බිහිවන්නේ දීප්තිමත් (බ්‍රිලියන්ට්) සිසුන් සිසුවියන් පමණයි. එතැනින් එහාට යෑමක් නැහැ. එහෙත් භාරතයේ බ්‍රාහ්මණ බුද්ධිමය සම්ප්‍රදායක් එදා තිබුණා. අදත් තියෙනවා.

 

මහානාම හිමියන් වෙනත් සමහර භාරතීය උගතුන් මෙන් යක්‍ෂ නාග දේව ආදීන් අමනුෂ්‍යයන් ලෙස සලකා තියෙනවා. ථෙරවාදී නොවන නිකාය බැහැර කර තියෙනවා. මා සංස්කෘත බෞද්ධ සම්ප්‍රදාය පිළි ගන්නේ නැහැ. එහෙත් එයට දොර වැසිය යුතු නැහැ. කෙසේ නමුත් මහාවංසයේ කාලිංග වංග දේශවලින් බාහිර මෙරටට සිදු වූ ආර්ය සංක්‍රමණ ගැන කියැවෙන්නේ නැහැ. මා එවැනි සංක්‍රමණ දෙක තුනක් ගැන සඳහන් කළා.

 

අර සිදුහත් කුමරු ලංකාවේ ඉපදුනේ යන ප්‍රශ්නයට යම් පිළිතුරක් ලබා දුන්නා. ඇතැමකු කියා සිටියේ සිදුහත් වැනි නම් සිංහල කියා. එබැවින් සිදුහත් කුමරු ලංකාවේ ඉපිද ඇති බවට එය සාධකයක් කියා. ඔය නම් සිංහලකරණයට ලක් වූ  භාරතීය නම්. සිදුහත් යන්නට ඇති සිංහල නිරුක්ති මොනවා ? සිද්ධාර්ථ යන්නට නම් යහපතක් සිදු කරන්නේ වැනි අරථ දෙන්න පුළුවන්. රාහුල් රෝහිත් ආදී නම්වල සිංහලකරණ රාහුල රෝහිත ආදිය. රෝහිත් ජාතකයක්  තියෙනවා. ඨකුර් ලංකාවේ දී ථකුර වෙනවා. අදත් රාහුල් රෝහිත් ඨකුර්ලා ඉන්දියාවේ ක්‍රිකට් කණ්ඩායමේත් දේශපාලනයේත් ඉන්නවා.

 

මෙරට සිදුහත් කුමරු උපන්නේ නම් අඩු තරමෙන් ගැන යම් ජනප්‍රවාදයක්වත් ලංකාවේ තියෙන්න ඕන. එහෙම කිසිවක් නැහැ. සියල්ලට වඩා සිදුහත් කුමරුට බල පෑ ගැකි බුද්ධිමය සම්ප්‍රදායක් මෙරට තියෙන්න ඕන. ආළාර කාළාමලා පස්වග තවුසන් මෙරටින් බිහිවන්න ඕන. පස් වර්ගයක තබා එක් වර්ගයකවත් බුද්ධිමතුන් මෙරට හිටි බවට සාක්‍ෂි නැහැ. අද ඉන්න උගතුන් පඬි නැට්ටන් දිහා බැලුව එය තහවුරු වන බවක් පේනවා.