History

Wednesday, 14 February 2024

ජාතිකත්වය හා නායකයෝ

 

ජාතිකත්වය හා නායකයෝ

 

මේ පොහොට්ටුව හා මා ලිපියේ දෙවැනි කොටසයි. පොහොට්ටුවට ඡන්දය දුන් පිරිසගෙන් බහුතරය ජාතිකවාදීන්. මෙරට ජාතිකවාදීන් හා ජාතිකවාදී යැයි කියැවෙන දේශපාලනඥයන් අතර ඇත්තේ යම් පිරිසක් හා ඔවුන්ගේ නියෝජිතයන් අතර ඇති සම්බන්ධය වැන්නක් නො වේ. ජාතිකවාදී යැයි  කියැවෙන  දේශපාලනඥයන් ජාතිකවාදී නොවිය හැකියි.

 

ජාතිකවාදය එක්තරා ආකාරයකට යටත්විජිතවාදී හා වෙනත් ආක්‍රමණ නිසා පැන නගින්නකි. මෙරට ඉතිහාසය අනුව විජය රජුටත් විරුද්ධ ජාතිකවාදයක් තිබුණා. විජය රජු අද සිංහල නමින් හැඳින්වෙන ජතියේ මුතුන්මිත්තා නොවෙයි. මෙරටට භාරතයේ විවිධ ප්‍රදේශවලින් වෙළෙන්දන් සෙනෙවියන් රජවරුන් පැමිණි බවට සාක්‍ෂි තියෙනවා. ඉන්දියාවෙන් පමණක් නොව අද පකිස්ථානය පන්ජාබය ආදී වශයෙන් හැඳින්වෙන ප්‍රදේශවලින් ජනයා මෙරටට සංක්‍රමණය වී තියෙනවා. ඔවුන් හා මෙරට විසු ස්වදේශික පිරිස් අතර මිශ්‍රණයකින් සිංහල ජාතිය නිර්මාණය වී තියෙනවා. දහතුන්වැනි සියවසේ පමණ වත්මන් කේරළ තමිල්නාඩු කර්නාටක  දේශසීමාවෙන් පැමිණි පිරිස් සිංහල ජාතියට අවශෝෂණය වී ඇති බව පැහැදිලියි.

 

විජයට විරුද්ධ යම් ජාතිකත්ව මතධාරීන් ක්‍රියාත්මක වී ඇති බව පැහැදිලියි. සටන් පණ්ඩුකාභය කාලයේ යම් සම්මුතියකින් පසු නැවතී ඇතැයි සිතන්නට පුළුවන්. පසුව එළාරටත් විරුද්ධ ගැමුණු කුමරුගේ හා විහාර මහා දේවියගේ ප්‍රධානත්වයෙන් මෙරට ජාතිකවදීන් සටන් කර තියෙනවා. එපමණක් නොව ජාතිකවදීන් එළාර පරාජය කළා. එදත් අද වගේ ඇතැමුන් එළාර පරාජය කළ ගැමුණු කුමරු දුටුගැමුණු ලෙස හැඳින්නුවා. එදා දුෂ්ඨයා කිවුවා අද හොරා කියනවා. පසුගිය සියවස මුල ධර්මපාලතුමාට මුට්ටිකාසි කාරයා කිවුවා. සිංහල ජාතියේ විජාතික බලපෑමක් හැමදාමත් තිබී තියෙනවා. සිංහල ජාතියට එක් නොවුණු පිරිස වැදි ජනතාව ලෙස නම් කෙරුණා. ඔවුන් පමණක් ආදී වාසීන් යැයි කීම වැරදියි. සිංහලයන් ආදී වාසීන්.

 

ඈත අතීතයෙන් අපි මෑත අතීතයට එමු. දොන් ජුවන් ධර්මපාල පෘතුගීසීන් සමග එක් වුණා. සීතාවක රාජසිංහ පෘතුගීසීන්ට විරුද්ධ සටන් කළා. රාජසිංහ පීතෘ ඝාතකයකු කෙරුණා. අප ඩොයිලිගේ සැලසුම්වලට හසු වුණා. ජාතික වීරයන් කවුද යන්න ගැන අදත් නිශ්චිත බවක් නැහැ. අපට සංකල්ප ප්‍රවාද ආදිය ගැන නිරවුල් අවබෝධයක් නැහැ. නිවුටන් කිවුව විධියට නූණත් ඇපල් පොල් වැටෙනවා. මාක්ස් කී විධියට ධනවාදය වැටෙන්නේ නැහැ. අපි නිවුටන්ටයි මාක්ස්ටයි එක විධියට සලකනවා.

 

ධර්මපාලතුමා ජාතිකවාදී සටනක නිරත වුණා. එහෙත් බටහිරින් පැමිණි ඕල්කට්තුමාට ධර්මපාලතුමා පරාජය වුණා. එතුමා ඉන්දියාවට ගියේ වීරයකු ලෙස නො වෙයි. ගැමුණු කුමරු අපේ වීරයා වූයේ මහාවංසයත් සමග ? දීපවංසය එතුමා ගැන වැඩි දෙයක් කියන්නේ නැහැ.   අපට වීරයන් හඳුනා ගැනීමට තරමක කාලයක් ගත වන්නේ ඇයි?

 

මෙරට සුළුතරයකට කෙසේ වෙතත් බහුතරයකට ජාතික හැඟීමක් තියෙනවා. විසිවැනි සියවසේ ධර්මපාලතුමාගේ පරාජයත් සමග ජාතිකවාදී නායකයන් නැති වී තියෙනවා. ඉංගිරිසින්ගෙන් ඉතා සීමිත බලතල ටිකක් ලබාගත් සේනානායකලා ජාතික වීරයන් බවට පත් වුණා. ඩී එස් සේනානායක අදත් ජාතියේ පියා ලෙස සැලකෙනවා. අපට සංඝයා වහන්සේගේ නායකත්වය අහිමි වුණා. ඕල්කට්තුමාගේ උපදෙස් යටතේ ගිහියන් බෞද්ධ නායකයන් වුණා. එය එක්තරා ආකාරයකට ඉංගිරිසි ක්‍රිස්තියානි අධ්‍යාපනය නිසා වූවක්. ඇංග්ලිකන් ක්‍රිස්තියානි සභාවේ නායකයා එංගලන්තයේ රජු. අද නම් තුන්වැනි චාල්ස්.

 

1917 දී අමද්‍යප ව්‍යාපාරයේ නායකත්වය ගිගියන් අතට පත්වීමෙන් පසු අපට ගොඩ ඒමට නොහැකි වී තියෙනවා. ධර්මපාලතුමා පන්නා ගැනීමෙන් පසු යටත්විජිතවාදයට විරුද්ධ සටන් කිරීම මාක්ස්වාදීන් අතට ගත්තා. නිසා ඇතැම් ජාතිකවාදී හාමුදුරුවරු සමසමාජ පක්‍ෂයට බැඳී වැඩ කළා. උන්වහනසේ මාක්ස්වාදීන් වූ නිසා නො වෙයි. සේනානායකලා බිරිතානීන් සමග පෑහෙද්දී මාක්ස්වාදීන්ට ජාතිකවාදයක් ආරොපණය වු නිසා. මේ පටලැවිල්ල නිසා අදත් ඇතැම් වාමවාදීන් (මාක්ස්වදීන් නොවූ) ජාතිකවාදීන් ලෙස හඳුනාගැනීමට මග පෑදී තියෙනවා.

 

ජාතිකවාදය හා වාමවාදය අතර පටලැවිල්ල වැඩියෙන් ඇත්තේ ශ්‍රී නි පක්‍ෂයේ හා ඉන් බිහි වු විවිධ සන්ධානවල. පොහොට්ටුවේ   මේ පටලැවිල්ල තියෙනවා. පනස්හයේ පටලැවිල්ල තිබුණා. ජාතිකවාදීන්ට නායකයකු සිටියේ නැහැ. පනස්දෙකේ දී ඔවුන් ශ්‍රී නි පක්‍ෂය ජාතිකත්වය දෙසට තල්ලු කර ගත්තා. ඉන් පසු පනස්හයේ දී  පෙරමුණ නම් සංධානය ජාතිකත්වය වෙතට තල්ලු කර ගත්තා. ජාතිකත්ව බලවේගයට නායකයකු නායකත්වය දීමට වඩා සිදු වී ඇත්තේ ජාතිකත්ව බලවේග නායකයන් ජාතිකත්වය දෙසට තල්ලු කිරීමයි. (මතු සම්බන්ධයි