History

Friday, 23 February 2024

අපට ඉන්දියාව මෙන් බැරි ඇයි?

 

අපට ඉන්දියාව මෙන් බැරි ඇයි?

 

එක් අයකු අහල තිබුණ ඉන්දියාවට ජාතික මාවතේ ඉදිරියට යන්න පුළුවන් වුණා නම් ලංකාවට බැරි වුණේ මොකද කියලා. හොඳ ප්‍රශ්නයක්. ඒකට හේතු ගණනාවක් තියෙනවා. ඉන්දියාව ජාතිකත්වයට ගරු කරන රටක්. ඔවුන්ගෙ නායකයන් කොටස් දෙකකට බෙදන්න පුළුවන්. එක් කොටසක් නේරු අනුගමනය කළා. අනෙක් කොටස සුභාස් චන්ද්‍ර බෝස් අනුගමනය කළා. පළමු කොටස බටහිර අනුගමනය කළ අය. දෙවැනි කොටස පූර්ණ නිදහසක් අවශ්‍ය වූ අය. ඔවුන් ජපානය එක් හරි පූර්ණ නිදහස ලබා ගත යුතු යැයි අදහස් කළා.

 

එහෙත් කොටස් දෙක ඇතැම් කරුණුවල දී එකඟ වුණා. රට නගා සිටුවීමට මුල දි අල්පේච්ඡ ජීවිත ගත කළා.අපට මතකයි කලක් ඇම්බෙසඩර් වාහන තමයි ඉන්දියාවෙ බලවතුන් යොදා ගත්තෙ. පසුව තමයි තරමක් සුඛෝපභොගී වාහන මිළ දී ගත්තෙ. ඔවුන් රට තුළ භාණ්ඩ නිෂ්පාදනය කිරීමට පියවර ගත්තා. නේරුලා බටහිර අනුගමනය කළත් රුසියාව සමග මිත්‍රත්වයක් පැවැත්වුවා. ඔවුන් සමග වෙළෙඳ ගණු දෙනු කිරීමට පසුබට වුණේ නැහැ. එහෙත් ඔවුන් බටහිර සමග මිත්‍රත්වයක් පැවැත්වුවා.

 

ඔවුන් සියල්ලන් බටහිර ක්‍රමයේ අධ්‍යාපනයක් ලැබූ අය. එහි ඩෙහෙරා ඩුන් පාසල වගේ වැදගතුන් අධ්‍යාපනය ලැබු පාසල් තිබුණා. පාසල් බටහිර ක්‍රමයේ ඉංගිරිසි ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලබා දුන්නෙ. ඔවුනුත් එකල උසස් අධ්‍යාපනය සඳහා ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ්  යන්න මග බලන් හිටියා. ඉංගිරිසින් එරට විශ්වවිද්‍යාල පිහිටෙවුවෙ බොහෝ කලින්. කල්කටා  (කොල්කතා) මදුරාසි (චෙන්නායි) බොම්බායි (මුම්බායි) විශ්වවිද්‍යාල පිහිටුවනු ලැබුයේ 1857 තරම් ඈතක.

 

ඉන්දියානුවන් බටහිර අධ්‍යාපනයක් ලැබූ නමුත් ඉංගිරිසින් අනුකරණය කිරීමට පෙළඹුණේ නැහැ. ඔවුන් ඔක්ස්බ්‍රිජ් උච්චාරණයට ඉංගිරිසි කතා කරන්න උත්සාහ ගත්තෙ නැහැ. ඔවුන් තම ජාතිය පහත හෙලා කටයුතු කෙළේ නැහැ. ජාතික අනන්‍යතාව ප්‍රාන්තවල වෙනස් වූ නමුත් රැක ගැනීමට ඉංගිරිසි උගතුන් කටයුතු කළා. ඔවුන්ට අභිමානයක් තිබුණා. තම සංස්කෘතිය ගැන වැදගත් තක්සේරුවක් තිබුණා. එය අතීතයට අයත් වූවක් පමණක් නො වෙයි. වර්තමානයට අයත් වූවක්.

 

අප මෙහි අනෙක් පැත්ත. ඉංගිරිසින් අපට විශ්වවිද්‍යාලයක් නොව විශ්වවිද්‍යාල ආයතනයක් (University College) ලබා දුන්නෙ 1921 දී. ඒ් එකල තර්ස්ටන් පාරේ තිබූ රාජකීය විදුහලේ ගොඩනැගිලිවල. අපට විශ්වවිද්‍යාලයක් ලැබුණේ 1942 දී. විශ්වවිද්‍යාල ආයතනයේ පෙරදිග අධ්‍යයනාංශය පිහිටා තිබුණේ රැජන මාවතේ ගොඩනැගිල්ක. එක්තරා ආකාරයකට සංකේතාත්මකව එය පිටින් තිබූ පීඨයක්. එයට කිවුවෙ ෆැක් (O Fac) කියලා. එහි හිටියෙ හරමනිස්ලා නැත්නම් හරාලා. කුල්ටන් ඉගෙන ගත්තෙ ශාස්ත්‍ර පීඨයෙ විෂය.

 

අපට පෙරදිග අධ්‍යයනය පිළිබඳ අභිමානයක් තිබුණෙ නැත්තෙ ඇයි. මේ නිදහස් අධ්‍යාපනයට පෙර. නිදහස් අධ්‍යාපනයට පසුව කියා එය ඇති වුණේ නැහැ. විද්‍යා අධ්‍යාපනයත් සමග ශාස්ත්‍ර පීඨයේත් තත්වය පහතට ගියා. අද ඔවුන් ආටර්ලා බවට පත්වෙලා. එහෙත් අප සයන්ටිස්ට්ලා බිහිකරලත් නැහැ. ඉන්දියාව නොබෙල් තෑගි ගත් කිහිප දෙනකු බිහිකරලා. දැන් පඬි නැට්ටකු කියන්න බැරි නැහැ බටහිර විද්‍යාව පට්ටපල් බොරු කිවුවට මට නොබෙල් තැග්ග ලොකු කියා. එහෙම නැත්නම් ඉන්දියාවෙ ජනගහනය හරි පහසුකම් හරි වැඩියි කියලා.

 

අපට තවමත් කොළඹ ඉංගිරිසියෙන් කලම්බු. අපේ විශ්වවිද්‍යාල තවමත් ඉංගිරිසියෙන් හැඳින්වෙන්නෙ ඉංගිරිසි නගර නම් වලින්. නැතත් අපට ගාල්ල ගෝල් කැගල්ල කේගෝල්. අපි ගෝල් කියල ඉංගිරිසියෙන් ලියන්නෙ (Galle) කියලා. අර ගුගල් කාරයා ඒක කියන්නෙ ගේල් කියලා.  

 

අපට අපේ සම්ප්‍රදාය ගැන විශ්වාසයක් තිබුණෙ නැහැ.  අප මුල ඉඳන් කටයුතු කළෙ ඔක්ස්ෆර්ඩ් කේම්බ්‍රිජ් යන්න පමණක් නො වෙයි. අනුකරණය කරන්න. එහි උච්චාරණය අනුකරණය කරන්න. මෙරට ඉහළ යැයි සලකන ලද පාසල් මේ සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දැක්වුවා. අපට අභිමානයක් නොතිබුණා නො වෙයි. අපි වැවයි දාගැබයි ගැන අභිමානයෙන් කතා කළා. සීගිරිය ගැනත් කිවුවා.

 

එහෙත් සියල්ල තාක්‍ෂණය හා සම්බන්ධයි. කෝ අපේ ශාස්ත්‍රීය සම්ප්‍රදාය. අපට කියන්න පුළුවන් අප ථෙරවාදී පොතපත ග්‍රන්ථාරුඪ කළ බවත් රැක ගත් බවත් පමණයි. අප අවුරූදු 1500කට පමණ ශාස්ත්‍රීය කටයුත්තක් කර නැහැ. අප පොත් ටිකක් ලියා තියෙනවා. එහෙත් නව දැනුමක් එකතු කර නැහැ. අපට ශාස්ත්‍රීය වශයෙන් අභිමානයක් නැහැ. අප දන්නේ බටහිර ශාස්ත්‍රීය දැනුමත්, අද වන විට තාක්‍ෂණයත් අනුකරණය කරන්න පමණයි. මෙරට උගතුන් අර කාරණය මේ කාරණය සිංහල පාඨකයන්ට හඳුන්වා දුන් අය පමණයි. සමහරු මා සම්බන්ධයෙනුත් එලෙස කියනවා. මට පොළොව පළාගෙන යන්න හිතෙනවා. අය කෙසේ කීවත් මා උගතකු නොවීම එක්තරා ආකාරයක සැනසීමක්.   (මතු සම්බන්ධයි)